1150 x 80 px

2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල සහ ලංකා ජන මාධ්‍යයේ හැසිරීම - මේජර් වී.බී. කරුණාරත්න

සංස්කෘතික අමාත්‍යංශය මෙහෙයවූ 2017 ශ්‍රී ලංකා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පසුගිය 8 වෙනි සිකුරාදා ජනාධිපති මෛත්‍රී සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. ඉතා අලංකාර සංස්කෘතික අංගවලින් සමන්විත අති ගාම්භීරවූ මෙම සම්මාන උළෙලේදී 2016 වසරේ ප්‍රකාශයට පත් විවිධ ක්‍ෂේත්‍ර 19 ක් යටතේ සිංහළ, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනටම අයත් සාහිත්‍ය කෘති සඳහා රාජ්‍ය සම්මාන පිරිනැමීම සිදුවිය. 

මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රීලාංකිකයින්ට මෙවර සුභ ආරංචියක් මෙම සම්මාන උළෙලේදී දැකගන්නට ලැබුණේය. එනම්, මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන පෝල් පීරිස් විසින් ලියන ලද, එංගලන්තයේ සුප්‍රකට පෙගාසස් ප්‍රකාශක සමාගම මගින් පළකරන ලද Ironwood Tree නම් ඉංග්‍රීසි නවකථාව මෙහිම වෙසෙන ප්‍රවීණ ලේඛක දයා ආනන්ද රණසිංහ විසින් සිංහලට අයස්තුර යන නමින් පරිවර්තනය කරන ලදුව එය මෙවර සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශ වී තිබීමයි. අවසන, දයා ආනන්දට අයස්තුර සඳහා කුසලතා සම්මාන සහතිකයක් හිමිවිය. 


විදේශයක සිංහළ භාෂාවෙන් පළකරන ලද ප්‍රථම පුවත්පත වන ලංකාවිත්ති පත්‍රයෙහි කතුවර දයා ආනන්ද ප්‍රකට ලේඛකයෙකි, කවියෙකි, සිනමාවේදියෙකි, සාහිත්‍යකරුවෙකි. ඔහුගේ ප්‍රථම පරිවර්තනයට මෙවර රාජ්‍ය මට්ටමෙන් අගැයීමක් ලැබීම වැදගත්ය. එසේම දයා ආනන්ද, ඔහු විසින් 1982 දී ප්‍රථම වරට ලියන ලද තිරරචනය වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ අධිෂ්ඨානය චිත්‍රපටිය සඳහා හොඳම නිර්මාණාත්මක තිරරචනයට හිමිවන OCICසම්මානයෙන් 1983 දී පිදුම් ලැබීය.

පෝල් පීරිස්ගේ Ironwood Tree ඉංග්‍රීසි නවකථාවට පසුබිම්ව ඇත්තේ 1939-1944 දෙවන ලෝක මහා යුද සමයේ ශ්‍රී ලංකාවේ නාගරික සමාජය මුහුණ දුන් දුෂ්කර සමාජ රටාවයි. ජපනුන් කොළඹට බෝම්බ හෙළීම එදා කොළඹ නාගරික සමාජය මුහුණ දුන් අයුරුද, බොහෝ නාගරිකයින් ආරක්‍ෂාව පතා ගමට සංක්‍රමණය වීමද එමගින් පැනනැගි සමාජ සහ ආර්ථික ගැටළු මෙන්ම ඒ ඒ චරිත එකිනෙක බැඳ තබන දෛනික සිදුවීම් මාලාවන්ද නවකථාව කදිමට ප්‍රතිරූපණය කරයි. දයා ආනන්ද සිය පරිවර්තනය සඳහා යොදාගන්නා සුමට බස්වහර සහ අපූර්ව රචනා ශෛලිය නිසාම අයස්තුර කියවන පාඨකයාට එම කථාන්තරය පරිවර්තනයක් ලෙස නොව ස්වතන්ත්‍ර නිර්මාණයක් ලෙස හැඟේ නම් මම ඊට පුදුම නොවෙමි.

පරිවර්තන කෘතියක් යයි කී විට ශ්‍රී ලංකාවේ කාගේත් මනසෙහි මැවෙන්නේ විදේශීය ලේඛකයෙකු විසින්, වෙනත් දේශයක, අපට ආගන්තුක සමාජයක ජීවත්වෙමින් වෙනත් භාෂාවක් කතාකරන වෙනස් සිතුම් පැතුම් සහ හැසිරීම් රටාවන් සහිත ගැහැණුන් මිනිසුන්ගේ අනේක විධ ගැටුම් හැලහැප්පිලි සහ අනුවේදනය දනවන කතාවක ඉදිරිපත් කරනු ලැබීමකි. මෙතෙක් අප දැක ඇති රුසියානු කතා, චීන කතා, ජපන් කතා, වංග කතා, අරාබි නිසොල්ලාසයේ කතා, ලතින් ඇමරිකානු කතා ආදී ලංකාවේ පළව ඇති අනේකවිධ පරිවර්තන කෘතීන් ගැන කල්පනාකරන විට ඒබව අපට වැටහී යයි.

එහෙත් Ironwood Tree නවකතාව එංගලන්තයේදී ඉංග්‍රීසි බසින් ලියූ නමුදු එහි කර්තෘ පෝල් පීරිස් සිංහලයෙකි. කතාවට පසුබිම්වී ඇත්තේද ලංකාවේ ගැමි සහ නාගරික සිංහල සමාජයයි. නිරූපණය වන චරිත සියල්ල සිංහල මිනිසුන් වටාය. බටහිර සමාජීය ගතියක් එහි බිඳක් හෝ ඇත්තේ නැත. මේ නිසා එම කතාන්තරය පරිවර්තනයක් යයි කියවන කෙනෙකුට නොහැඟේ. අයස්තුර හොඳම පරිවර්තනය ලෙස තෝරන්නට යන කල ඉහතකී කාරණා හේතුවෙන් ඊට අවාසියක් වන්නට ඇතැයි ද අපට සිතෙයි.

මෙකල ලෝකයේත් ලංකාවේත් සාහිත්‍යය පිළිබඳව ඇති උනන්දුව හීන වෙමින් පවතින බව පෙනේ. සාහිත්‍ය උත්සවවලට සහභාගී වන්නේ සාහිත්‍යයෙහි නියැළි ඉතා සුළු පිරිසක් පමණි. අවශේෂ ජනතාවගේ ප්‍රතිචාරය ඉතා අඩුය. එම නිසා සාහිත්‍ය සම්මාන උලෙළ රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන යාම අගය කළ යුතුය. එහෙත් ඒ හා සමාන පිටිවහලක් අනුබද්ධිත ආයතන හා ජනමාධ්‍යවලින් නොලැබීම අඩුපාඩුවකි. 8 වන සිකුරාදා පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය පිළිබඳව 7 වන බ්‍රහස්පතින්දාත්, 8 වන සිකුරාදාත්, 9 වන සෙනසුරාදා හෝ 10 ඉරිදාවත් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික පුවත්පතක විස්තරයක් නොදුටිමි. රාජ්‍ය සම්මාන ලබූ කෘති හා ඒ සම්මානලාභීන් කවුරුන්දැයි දැන ගැන්මට නොතිත් ආශාවෙන් පෙළෙන සාහිත්‍ය ලැදි සුළු පිරිසකට හෝ සාධාරණයක් ඉටුවූයේ නැත.

11 වන සඳුදා ලංකාදීප පත්‍රයෙහි සුළුවෙන් සම්මාන ලැයිස්තුව පළකොට තිබුණි. ද්‍රවිඩ භාෂා කෘති සඳහා සම්මාන ලබූ අයගේ විස්තරයක් පමණක් යාපනයේ උදයන් පත්‍රයේ පළවීය.

සංස්කෘතික වශයෙන්ද, දේශීය වශයෙන්ද වැදගත්වූ තම රටේ සාහිත්‍ය සම්මාන උලෙළක් තුට්ටුවකටවත් නොසැලකූ ලංකාවේ සියලුම මාධ්‍ය ආයතන ඉන්දියානු ගායකයෙකු වන සෝනු නිගම් ප්‍රසංගයක් සඳහා කොළඹට පැමිණීම වෙනුවෙන් ප්‍රචාරය දෙන්නට පටන්ගත්තේ ඔහු එන්නට සති කීපයකට පෙර සිටය. සාහිත්‍ය උත්සවය දින ඔහු ලංකාවට පැමිණියේ පසුදා ගී ප්‍රසංගයටය. සෝනු නිගම් කටුනායක ගුවන් තොටුපළේ සිට විශේෂ රථ පෙරහරකින් කොළඹට කැඳවාගෙන එන සැටි වාර්තාකරන්නට රුපවාහිනී, ගුවන්විදුලි නාලිකා සහ පුවත්පත් ඒ පසුපස මෙලෝ සිහියක් නැතිව හඹායමින් ගත් දැඩි උත්සාහය කවුරුත් දුටහ. එසේම පසුදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති ප්‍රසංගයද සියලු අංශවලට අයත් ලංකා ජනමාධ්‍ය විසින් අනේක අයුරින් විචිත්‍ර ලෙස ආවරණය කරනු ලැබ තිබිණ. නමුත් රටේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දේශයේ සාහිත්‍ය සම්මාන උලෙළ මේසෙ යට වැටුණු කෙහෙල්ගෙඩි ලෙල්ලක් තරමටවත් වටිනා බවක් ලංකා ජනමාධ්‍යවලට පෙනුණේ නැත.

ජනාධිපතිවරයාට මාධ්‍ය අධ්යක්ෂක ජෙනරාල් කෙනෙකු ඇතුළු විශාල මාධ්‍ය ඒකකයක් තිබේ. සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න ඇමතිතුමාට මාධ්‍ය ලේකම් කෙනෙකු යටතේ මාධ්‍ය ඒකකයක් ඇත. සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මැතිතුමාට මාධ්‍ය ලේකම් කෙනෙකු සිටී. සංස්කෘතික දෙපාර්තමේන්තුවටද වෙනම මාධ්‍ය ඒකකයකි. ඊට අමතරව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනිය, ITNආයතනය වැනි රජයේ ආයතනද පෞද්ගලික රුපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා 22 ක් පමණද තිබේ. 2016 වසරේ සම්මානයට පාත්‍ර වූ කෘති හා සාහිත්‍යවේදීන් පිළිබඳව රටේ ජනතාව තරුණ සමාජය හා ශිෂ්‍ය පරම්පරාව ආදී කොටස්හි අවධානයට ලක්වීමට ක්‍රමවේද සහ පහසුකම් ඇත. එය ඉටු නොවන්නේ මේවා මෙහෙයවන්නන්ගේ සාහිත්‍ය ප්‍රේමය අඩු නිසා බවට සැකයක් පවතී.

1957 සිට මේ දක්වා දේශපාලනඥයෝ පවා සාහිත්‍යකරණයේ යෙදී සම්මාන ලැබුහ. අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල, ටී.බී. ඉලංගරත්න, සාගර පලන්සූරිය, ජස්ටින් විජයවර්ධන, ඒ.වී. සුරවීර ආදීහු මෙවැනි කීප දෙනෙක් වෙති. වෛද්‍ය ගුණදාස අමරසේක, වෛද්‍ය කාලෝ ෆොන්සේකා වැනි වෙනත් වෘත්තීන්හි නියැලි වියතුන්ද සාහිත්‍ය සම්මාන ලබා ඇත. මෙවර සාහිත්ය උළෙලේදී ආචාර්ය සරත් අමුණුගම මහතා විශේෂ සම්මානයක් ලැබූ බව ඇසුවෙමි.

පාසැල් විෂය මාලාවට නිර්දේශ කළ සාහිත්‍ය කෘතිවල නියමිත පරිචඡේද හෝ කවි කීපයක් පමණක් විභාගවලට නියම කරන නිසා එම කොටස් කීපය පමණක් අධ්‍යයනය කරන ශිෂ්‍යයන්ට කෙසේ නම් සාහිත්‍ය අවබෝධයක් ලැබිය හැකි වේද ?

වෙනත් කිසිම රටකට නොදෙවෙනි අපගේ සාහිත්‍යය ඈත අතීතයේ සිට පැවත එන්නකි. දඹදෙණි, ගම්පොල, කෝට්ටේ, කොළඹ වැනි සාහිත්‍ය යුගයන් පවා නිර්මාණය වෙමින් සාහිත්‍යය පෝෂණය නිරන්තරයෙන් අප දේශයේ පැවති බව ඉතිහාසය පෙන්වා දෙයි. වත්මන් යුගයේ සාහිත්‍ය පෝෂණය වත්මන් පරපුරේ යුතුකම වන්නේය.

සම්මානලාභීන්ගේ තොරතුරු මෙන්ම ඔවුන්ගේ කෘතීන් පිළිබඳව අවබෝධයක් ලබාදීම ද වැදගත්ය. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ කුසලතා සහතික ලැබූවන්ට නිසි පිළිගැනීමක් ලැබිය යුතුව තිබුණි. එහෙත් එම සම්මානලාභීන්ට සිදුවුයේ උත්සව ශාලාවට ඇතුල්වන දොරටුවේ සිටි දොරටුපාලකයාගෙන් ලද සම්මාන සහතිකයද කිහිලිගන්නාගෙන උත්සවයේ දේශපාලන කතාවලට සවන්දීමටය. ඔවුන් ලද පිළිගැනීම එපමණය.

මෙවර උළෙලේදී සංස්කෘතික අධ්‍යක්ෂිකා අනූෂා ගේකුල මහත්මිය කළ ප්‍රකාශය ඉතා වැදගත් වෙයි. එනම්, සාහිත්‍යය පිළිබඳ අවබෝධයක් ඇති නිසා සමාජය යහපත් වන බවයි. අද සාකච්ඡා වන යහපාලනය, සහජීවනය, උතුම් පුරවැසිභාවය යහ සමාජය ආදී පරමාර්ථ සාක්ෂාත් කරගැන්මේ කෙටි මග වන්නේ සාහිත්‍ය අවබෝධයයි.

Top