Untitled 1

ඔස්කාර් උළෙලේ වස වැරැද්දක් - හොඳම චිත්‍රපටය වැරදිලා
මෙයට පැය කිහිපයකට පෙර අවසන් වූ 89 වැනි ඔස්කා හෙවත් ඇකඩමි උළෙලේදී හොඳම චිත්‍රපටය කියා නිවේදනය වූයේ වැරදි චිත්‍රපටයකි. 
එය සිදුවූයේ මෙසේ ය. රයන් ගොස්ලින් සහ එමා ස්ටෝන් රඟන අතිසුන්දර සංගීතමය ප්‍රේමකතාව වූ ලා ලා ලෑන්ඞ් හොඳම චිත්‍රපටය ඇතුලු නාමයෝජනා 14 ක් දිනාගනිමින් මෙවර ඉහළම නාමයෝජනා ගණනට හිමිකම් කියමින් සිටියේය. බොහෝ දෙනා සිතා සිටියේ හොඳම චිත්‍රපටය බවට නොවැරදීම පත්වන්නේ ද ලා ලා ලෑන්ඞ් බවයි. අනතුරුව හොඳම චිත්‍රපටය නිවේදනය කරන විටි වේදිකාව මත සිටියේ වොරන් බීටි සහ ෆායේ ඩනවේ ය. වොරන් බීටිි ජයග්‍රාහකයාගේ නම සඳහන් කාඞ්පත දෙස බලමින් මහත් තිගැස්මකට පත්වූ ආකාරයක් පළ කරද්දී අසල සිටි ෆායේ ඔහුට විහිලු කරමින් ඔහු ව දිරිගන්වන අතර, වොරන් ඇයට ජයග්‍රාහකයාගේ නම නිවේදනය කිරීමට ඉඩ දෙයි. එවිට ෆායේ මහත් උද්දාමයෙන් යුතුව ලා ලා ලෑන්ඞ් යනුවෙන් නිවේදනය කරයි. ඩොල්බි චිත්‍රාගාරය එකම අත්පොළසන් හඬකින් නින්නාද වන්නට පටන් ගන්නා අතර, ලා ලා ලෑන්ඞ් සාමාජිකයන් වේදිකාව මතට පැමිණ සම්මාන පවා අතට ගනිය. පසුව ඔවුන් දෙදෙනාට දැනගන්නට ලැබෙන්නේ තමන් කියවා තිබෙන්නේ වැරදි ලියුම්කවරයේ තිබූ නම බව ය. එසේ වන්නේ ආරක්ෂක නිලධාරියෙක් පැමිණ නිවැරදි රතුපාට ලියුම් කවරය ඔවුන් අතට පත්කිරීමත් සමගිනි. අවසානයේ සිදුවූයේ ලා ලා ලෑන්ඞ් චිත්‍රපටයේ සාමාජිකයන් ට, ලෝක ලැජ්ජාවකට පත්වෙමින් සහ නළලේ අත් ගසා ගනිමින් වේදිකාව මතදීම මූන්ලයිට් චිත්‍රපටයේ නලු නිළි නිෂ්පාදන කැළ වෙත සිය සම්මාන ලබාදෙන්නට ය. බැරී ජෙන්කින්ස් විසින් අධ්‍යක්ෂණය කළ මූන්ලයිට් චිත්‍රපටය, කලු ඇමරිකානුවෙකුගේ ජීවිත කතාව පිළිබඳ කදිම අන්දරයකි.     
 
පසුව හෙළි වූ අන්දමට මෙහිදී සිදුවී තිබෙන්නේ, හොඳම චිත්‍රපටය නිවේදන කරන අවස්ථාවේදී වොරන් අත තිබූ රතුපැහැති ඔස්කා ලියුම් කවරයේ තිබුණේ හොඳම චිත්‍රපටයේ ජයග්‍රාහකයා නොව හොඳම නිළියගේ නම සඳහන් කාඞ්පතයි. එනම් හොඳම චිත්‍රපටය නිවේදනය කරන්නැයි කියමින් ඔහු අතට දී තිබෙන කාඞ්පතෙහි තිබී ඇත්තේ ලා ලා ලෑන්ඞ්-එමා ස්ටෝන් යන වැකියයි. සැබවින්ම වොරන් මුලින් මදක් උකටලී වෙමින් ෆායේ දෙස බලමින් සිට ඇත්තේ ඔහුගේ සිතට ක්ෂණිකව යම් අවුලක සේයාවක් දැනී තිබූ නිසා ය. නමුත් මේ උත්සවකාරී සහ කලබලකාරී අවස්ථාවේදී කාඞ්පතේ මේ අවුල දැකීමට අසමත් වන ෆායේ, ඉදිරියට පැන චිත්‍රපටයේ නම කියන්නීය. ඇය ද මේ අවස්ථාවේ සද්භාවයෙන් විශ්වාස කරන්නේ ලා ලා ලෑන්ඞ් යනු හොඳම චිත්‍රපටයේ නම බවයි. ඇසෝසියේටඞ් ප්‍රෙස් වැනි ලෝකයේ පිළිගත් පුවත්සේවාවන් පවා මේ සිද්ධිය වාර්තා කළේ ''ඇකඩමි සම්මාන රාත්‍රියේදී සිදුවූ විනාසය'' යනුවෙනි. පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් උළෙලේ සංවිධායකයන් ලා ලා ලෑන්ඞ් චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමෙන් සමාව ඉල්ලා ඇත. 
 
වොරන් බීටි සහ ෆායේ සිනමා ලෝකයේ ජනප්‍රියව සිටින්නේ සුප්‍රසිද්ධ අපරාධ ජෝඩුව වන බොනී ඇන්ඞ් ක්ලයිඞ් චිත්‍රපටය (1967) ට පණ පෙවූ යුවළ වශයෙනි. ඉතින් ඔවුන් අහම්බෙන් හෝ ඔස්කාර් වේදිකාව මතදී ද මෙදා කළේ බොනී ඇන්ඞ් ක්ලයිඩ්ටම ගැළපෙන වැඩකි.!!
 
මෙවර ඔස්කා/ඇකඩමි උළෙලේ ප්‍රධාන පෙළේ ජයග්‍රාහකයන්ගේ මෙසේ ය.
හොඳම චිත්‍රපටය-මූන්ලයිට් (අධ්‍යක්ෂණය බෙරී ජෙන්කින්ස්)
හොඳම අධ්‍යක්ෂණය-ලා ලා ලෑන්ඞ් චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් ඬේමියන් කාසේල්
හොඳම නලුවා-මැන්චෙස්ට්ර් බයි ද සී චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කේසි ඇෆ්ලෙක්
හොඳම නිළිය- ලා ලා ලෑන්ඞ් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් එමා ස්ටෝන්
හොඳම සහාය නලුවා-මූන්ලයිට් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මහර්ෂලා අලි
හොඳම සහාය නිළිය-ෆෙන්සස් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් වියෝලා ඬේවිස්
හොඳම සජීවීකරණ චිත්‍රපටය -සූටෝපියා
හොඳම සිනමාකරණය-ලාලා ලෑන්ඞ් චිත්‍රපටය වෙනුවෙන් ලීනස් සෑන්ඞ්ග්‍රන්
හොඳම ඇඳුම් නිර්මාණය- ෆැන්ටෑස්ටික් බීස්ට්ස් ඇන්ඞ් වෙයා ටු ෆයින්ඞ් දෙම
හොඳම වාර්තා චිත්‍රපටය-ද වයිට් හෙල්මට්ස්
හොඳම සංස්කරණය -හැක්ෂෝ රිජ්
හොඳම විදෙස් චිත්‍රපටය-ද සේල්ස්මන්-ඉරානය
හොඳම වේෂ නිරූපණය සහ කොණ්ඩා සැකසුම - සුයිසයිඞ් ස්කොඞ්
හොඳම ශබ්ද සංස්කරණය-අරයිවල්
හොඳම ශබ්ද සංකලනය-හැක්ෂෝ රිජ්
හොඳම දෘෂ්‍ය ප්‍රයෝග-ද ජංගල් බුක්
 
 
oscar 01
Top