1150 x 80 px

අපට "අප" මුණගස්‌වන බන්ධුලගේ "මට මා හමුවුණා"

අපේ රටේ තරුණ පරපුර රස විඳින "නූතන ගීතය" අද පවතින්නේ අපට අත පෙවිය නොහැකි භාවිතයක යෑයි මට සිතෙයි. අපට නොතේරෙන, අපට නොදැනෙන, අපට ඉන්ද්‍රිය ගෝචර නොවන ඉසව්වක පවතින එම ගීතයෙන් ඈත්ව නිහඬව කලක්‌ බලා සිටින්නට අපට පෙළඹ වූ කාරණය එයයි.

සුභාවිත ගීත කලාවේ රසිකයෝ නූතන ගීතයෙන් ඈත්ව එසේ නිෂ්ක්‍රීය වී බලා සිටියදී ඔහු නැවත කරළිය වෙත පැමිණ සිටී. ගීතය වෙත නැවත එන්නැයි ඔහු අපට අමතයි. ගීතය වෙත තිබූ අපේ රසිකත්වය කල්ඉකුත් වී නැතැයි ඔහු අපට දක්‌වයි. ගීතය පිළිබඳ වූ අපේ හැඟීම් සමුදාය තවමත් තරුණ බව ඔහු අපට මතක්‌ කරදෙයි. "මට මා හමුවන්නේ" ඔහු පැමිණ මෙතෙක්‌ නිද්‍රdශීලීව උන් අපව යළි පුබුදු කළ ඒ සෞන්දර්යාත්මක ආමන්ත්‍රණය තුළය.

බන්ධුල නානායක්‌කාරවසම් නම් වූ අප සුමිතුරු අසහාය ගේය පද රචකයා පුරා දශක 4 ක කාල පරාසයක්‌ තුළ ගීත රචකයකු ලෙස නිර්මාණය කළ ගීත පරිමාව 1500 කට අධික බව අසා මා මවිත වීමි. එය සත්‍යයකි. අපේ රසික ජන විඥනය අමන්දානන්දයෙන් පෝෂණය කළ "සිනා තොටක්‌, විසිරුණු මල්පෙති, රෑ වැඩමුරය, සුදු ඇත් පැටවෙක්‌, රන් ගිර මා, හඬන්න ළංව සිටි ඔබේ, අහසයි ඔබ මට, සත්මහලින් බැස එන්නම්, එපා තවත් ඔබ, කටු අකුලේ මල් ඇහැරේ, අකීකරුද ඔබේ සිතත්, ගඟක්‌ සේ ඔබ ගලා යානම්, මගේ කඳුළුවැල්, හඳපානක්‌ සේ ඇවිදින්, නිම්තෙරක්‌ නොදුටු, වියෝවූ පසුවයි දැනෙන්නේ, ගංගාව දකින්නට, බිසරුලියන්, නෙළන්න බැරි දුරින් වැනි ඉතාම ජනප්‍රිය හොඳ ගීත හත්අට සියයක්‌වත් මේ අතර තිබෙන බව බොහෝ දෙනෙකු දනිති. එහෙත් ඔහුගේ එකම ගීයක්‌ වත් සැලකිල්ලට නොගෙන අන් අයගේ ගීතවල තිබෙන විශිෂ්ටතා හා සෞන්දර්යාත්මක වටිනාකම් අගය කරමින් ඉතා නිර්ලෝභීව සමාජයේ විචාරකයකු ලෙසත්, රසිකයකු ලෙසත් පෙනී සිටින්නට බන්ධුල සමත්ය. ඒ අපි කෙනකු තුළ කලාතුරකින් පමණක්‌ දකින විශේෂ ලක්‍ෂණයක්‌ය.

බන්ධුල හුදු ගීත රචකයෙකු පමණක්‌ නොවීය. ඔහු අප මිතුරු සමාජයේ ප්‍රකටව ඇත්තේ හොඳ "කතා කියන්නෙකු" ද ලෙසය. ඔහුගේ මෙම කතා කීමේ ගුණය ඉතා ශාස්‌ත්‍රීය ලෙස ඉස්‌මතු වූ අවස්‌ථාවකි "රෑ ඉරපාන" ගුවන්විදුලි සඟරාමය වැඩසටහන. නිලේන්ද්‍ර දේශප්‍රිය සමඟ එක්‌ව නූතන රේඩියෝ සඟරාවක්‌ ලෙස බන්දුල රෑ ඉරපාන සංවිධානය කළේ මගේ මතකයේ හැටියට දෙරණ ගුවන් විදුලියටය. එය මුල පටන් අවුරුද්දකට වැඩි කාලයක්‌ රසික ජනයා අතර අතිශයින් ජනප්‍රිය වූයේ බන්ධුල ගීත, කවි, නාට්‍යය, සිනමාව හා සාහිත්‍ය කෘති ඒ ඔස්‌සේ විමසමින් එකිනෙක යා කරමින් අපූර්ව කතා කීමේ කලාව ඒ තුළ අත්හදා බැලූ නිසාය. ඔහු ඉන් අපේ රටේ සාහිත්‍ය ජාත්‍යන්තරය හා මුසු කළේය. ජාත්‍යන්තර කෘති අපේ සාහිත්‍යය හා මුසු කළේය. ඉන් රසිකයා ලද ආශ්වාදය හා දැනුම අප්‍රමාණ බව කිව යුතුය.

බන්ධුලට ගීතයක්‌ ගැන කියන්නට හරි ලස්‌සන කතා තිබේ. සමහර දේ ඔහු උකහා ගත්තේ විදෙස්‌ පත පොත කියෑවීමෙන් ලත් දැනුම් සම්භාරයෙනි. සමහර දේ ඔහු ගන්නේ අන්තර්ජාලයෙනි. ගීත ගැන පමණක්‌ නොවේ. ඔහුට විෂය වන කවර හෝ සාහිත්‍යාංගයක්‌ ගැන වුවත් අලගිය තැන් මුලගිය තැන් සෙවීම ඔහුගේ සිරිතය.

බන්දුලට අනුන්ගේ ගීත ගැන තිබෙන කතාන්දරවලට වඩා ළගන්නා සුළු විස්‌තර තිබෙන්නේ ඔහුගේ ගීත ඇතුළාන්තයෙනි. සාමාන්‍යයෙන් ඔහුගේ ගීතවල තිබෙන මා දකින විශේෂත්වය වන්නේ සෑම ගීතයක්‌ තුළම ඔහුගේ ජීවිතයේ පරිච්ඡේදයක්‌ හෝ නිමේෂයක්‌ ගැන කියෑවෙන සංවේදී යෙදුමක්‌ තිබීමයි. ඒ යෙදුම පිළිබඳව විස්‌තර ඉතා සංවේදීව අන්‍යයන්ගේ සිත්ගන්නා අයුරින් විස්‌තර කරන්නට බන්දුල තුළ ඇත්තේ අප්‍රමාණ දක්‍ෂතාවයකි. එහෙත් ඔහු කිසි විටෙකත් ඔහුගේ එකම එක ගීත නිර්මාණයක්‌වත් "රෑ ඉරපාන" වැඩසටහන සඳහා යොදා ගත්තේ නැත. එවන් හික්‌මීමක්‌ බන්ධුල සතුව තිබිණි. "රෑ ඉරපාන" ජනප්‍රිය වූයේ ඔහුගේ මේ අදීන ලක්‍ෂණය නිසාය.

බන්ධුල අනුන්ගේ ගීත ගැන කතා කළත්, තමන්ගේම ගීත සිය ගණනක්‌ තිබියදීත් ඒ ගැන කතා නොකරන්නේ මන්දැයි සමහරු ඔහුගෙන් විමසූ අවස්‌ථාද තිබිණි. බන්ධුල ඒ හැම විටම ඊට නිසි අවස්‌ථාවක්‌ ඒ යෑයි කිවේය.

මීට වසර 15 කට ඉහතදී බන්ධුල එක්‌තරා ප්‍රසංගයක්‌ කළේය. කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති එම ප්‍රසංගය "සිනා තොටක්‌" නමින් අතිශයින් ජනප්‍රිය විය. ඔහුගේ එවකට ජනප්‍රිය ගීත 40 ක්‌ මේ ප්‍රසංගයේදී ගායනා කරනු ලැබූ අතර ප්‍රසංගය මුළුමණින්ම සංගීත සංදර්ශනයකට වඩා වෙනස්‌ නාට්‍යමය ජවනිකාවන්ගෙන් විචිත්‍රවත් විය. මා දන්නා පරිදි අදටත් ගීත රචකයකු විසින් පවත්වන ලද අපේ රටේ විශිෂ්ටතම ප්‍රසංගය වන්නේ "සිනා තොටක්‌" ය. ඔහු එහිදී මදී නොකියන්නට ඔහුගේ නිර්මාණ ගැන කතා කළා අපට මතකය.

එම පළමු ප්‍රසංගයේ හා සංයුක්‌ත තැටි නිකුතුවෙන් වසර 15 කට පසු බන්ධුල දැන් නැවතත් අප අමතන්නේ ඔහුගේ නිර්මාණ දිවියේ අයෝමය කෘත්‍යයක්‌ ඉටු කරන්නටය. ඔහුගේ ගීත සහිත සංගත තැටි 8 ක්‌ අපේ රටේ ගීත කලාවට එකතු කරමින් පවත්වන මේ ප්‍රසංගයේ දී බන්ධුල ලියූ තීරු රචනා ඇතුළත් ග්‍රන්ථයක්‌ නිකුත් වීමටද නියමිතය. එහි හැඳින්වීම "එනු කොහි සිට" නම්ය. මේ ප්‍රස්‌තුත දෙක පෙරටු කොටගනිමින් ලබන 10 වැනිදා සවස 6.30 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වෙන මේ වර්ණවත් ප්‍රසංගය "මට මා හමුවුණා" ලෙස ජනගත වනු ඇත.

බන්ධුල සිය 40 වසරක කලා දිවිය තුළ අපට සමීප වන්නේ කුසලතා පූර්ණ හා අත්දැකීම් බහුල ගීත රචකයකු ලෙස පමණක්‌ නොවේ. සංවේදී සන්දර්ශන පසුබිම් කථකයකු ලෙසත් බන්ධුල ලබා ඇති පරිචය සුළුපටු නැත. ඔහුට අනන්‍ය කටහඬක්‌ තිබේ. "රෑ ඉරපාන" තුළ ඒ කටහඬ කැපී පෙනෙන පෞරුෂයක්‌ ප්‍රකට කළේය. ඒ හැරුණු විට වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස විවිධ සෞන්දර්යාත්මක සංදර්ශනවල ප්‍රසංග නාමාවලිය පෙළ ගස්‌වන සංවේදී ප්‍රසංග පිටපත සකස්‌ වන්නේද බොහෝ විට ඔහු අතිනි. බන්ධුලගේ කෞෂල්‍යය එපමණකින් ලඝූ නොවන බව මේ කලා ක්‌ෂේත්‍රයේ බොහෝ දෙනා දැන සිටී.

බන්ධුලගේ සිතුවිලි දහරාව අද කලා ක්‌ෂේත්‍රයේ තිබෙන නව යෞවනයේ පිරිපුන්ම තරුණයාට වඩා තරුණ යෑයි මම සිතමි. ඔහු ඉන් ක්‌ෂේත්‍රයේ පානා විස්‌කම් අප්‍රමාණය. මහා ගාන්ධර්ව අමරදේවයන්ගේ පටන් ගාන්ධර්ව පරපුරේ පහළම විශිෂ්ටයා දක්‌වාත් රූකාන්තයන්ගේ පටන් නූතන ගායක පරපුරේ දුහුනුම ගායකයා දක්‌වාත් නිර්මාණකරුවන්ට ගී ලියන්නට බන්ධුලගේ නිර්මාණශීලී පරිකල්පන අනුභූතීන් පිරිපුන්ය. තරුණය. නූතනය. ඔහුගේ විශේෂත්වය අතර එය අනල්පව කැපී පෙනේ.

බන්ධුල ගැන ලියන්නට බොහෝ දේ තිබේ. වියපත් නොවී තරුණ පරපුර මතම රැඳෙමින් සිය නිර්මාණ කෞෂල්‍යය ඔහු යාවත්කාලීන කරන්නේ අතීත මතක සටහන් හා පුරුෂාර්ථයන්හි වටිනාකම්ද නූතනයට කැන්දාගෙන එමිනි. නූතන පරපුර හා අපේ වියපත් පැරැණි ගාන්ධර්ව පරපුර ඔහු සෞන්දර්යාත්මකව අපූරුවට යා කර තබයි. සියල්ල ඉටුකර පසෙකට වී ඒ කිසිවක්‌ තමන්ගේ නෑකමකින් සිදු නොවුණැයි පිටට පෙනෙන්නට හැර බලා සිටියි.

නිර්මාණශීලී ගේය පද රචක බන්ධුල නානායක්‌කාරවසම් මෑතකදී කළ ගී නිර්මාණ බොහෝ විට අපේ රසික සමූහයා රස විඳ නැති තරම්ය. එහෙත් ඔහු සරල ගීතයේම රැඳී සිටියේ නැත. චිත්‍රපට පසුබිම් ගීතය, ටෙලි නාට්‍ය පසුබිම් ගීත, විවිධ වැඩසටහන් සඳහා ලියූ තේමා ගීත බඳු විෂය ක්‌ෂේත්‍රයන් ඔස්‌සේ ඔහු නිර්මාණ කළේය. ඒ අතර සරල ගීතයද අමතක නොකළේය. මෙවර ලබන 10 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ දී ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත අධ්‍යක්‍ෂණයෙන් බන්ධුලගේ හා ඔහුගේ මිතුරු කැළගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අපූර්ව ප්‍රසංගයකට මෙතෙක්‌ අප ඇසූ නොවූ විරූ අත්දැකීමක්‌ ලබන්නට හැකි වෙනවා නිසැකය. ඒ සඳහා අපිදු ඔහුට සුබ පතමු.

- දිවයින

Top