Untitled 1

සිවිල් යුද්ධයේ කැළැල් ගැන පියවි කතාවක්  මුතෘපිල්ලෙයියා- එය නැවතුම් තිත වේද...?

සත්‍යය පැවසුවා නම් ශ්‍රී ලාංකේය ව්‍යූගතවීම තුළ තමන් මහත් ක්‍රෝධයකට ලක්වන බව ෂෙරීන් සේවියර් දැන සිටියාය. නමුත් යාපනය පදනම්කරගෙන ක්‍රියාත්මක වන මේ චිත්‍රපට නිර්මාණකාරිය කිසිවිටෙක පසුබට නොවූවාය.

''මුතෘපුල්ලෙයියා'' (එය නැවතුම් තිත වේද?) නමැති, විනාඩි 105 ක් පුරා දිවෙන සිය චිත්‍රපටය තිරගත කරන්නට පැමිණි බාධක ඇය මදින් මද ලිහාගත්තාය. පසුගියදා ඉන්දියාවේ ප්‍රසාද් ලාබ්හිදී ප්‍රථම වරට තිරගත වූ විට එයට හිමිවුණේ අති දැවැන්ත ප්‍රතිචාරයකි.

සත්‍ය සිද්ධි මත පදනම් වූ මේ චිත්‍රපටයේ කතා වස්තුව වන්නේ හිටපු දමිල එල්ටීටීඊ සාමාජිකාවක් 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වීමත් සමග සිය කුඩා දරුවන් තිදෙනා සොයාගැනීමට දරණ වෑයම සහ හමුදාව විසින් අල්ලාගෙන ගිය සිය සැමියා සොයාගැනීමට යෙදෙන නොනිමි අරගලයයි.

ප්‍රධාන කථානායිකාවගේ චිත්තපීඩාව පොදු අත්දැකීමක් ලෙසින් මැනවින් නිරූපණය කිරීම හරහා නිර්මාණකාරිය, යුද්ධ සමයේ අතුරුදන් වූ සැමියන්ට කුමක් සිදුවීදැයි සොයන සිය ගණන් ගැහැනුන්ගේ තත්වය මනා ලෙස පිළිබිඹු කරන්නීය. ඉංග්‍රීසි උපසිරැසි යෙදූ මෙම දමිල චිත්‍රපටය, යුද්ධයේ සත්‍ය රූපරාමු සහ ප්‍රතිනිර්මාණය කළ දර්ශන ගණනාවකින් ද යුක්ත වේ.
මෙම චිත්‍රපටයේ රූගතකිරීම් සිදුකර තිබෙන්නේ තමිල්නාඩුවේ සහ, ලංකාවේ උතුරු නැගෙනහිර, 2014 වසරේ ජූලි මස සිට ඔක්තෝබර් මාසය අතර කාලයේදී ය. 2015 ජූලි මස එහි පසු නිෂ්පාදන කටයුතු අවසන් කෙරිණි.

සාර්ථක ලෙස චිත්‍රපටය රූගත කිරීමෙන් පසුව ෂෙරීන්, සිය චිත්‍රපටය වාරණයට ලක්වීමේ අභියෝගයට මුහුණ දුන්නා ය. කෙසේ නමුත් මේ වන විට එම වාරණ සීමාවන් ඉවත්ව ගොස් ඇති අතර මේ වන විට එය තමිල්නාඩුවේ තිරගත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවතී.
''මේ දමිල ජනතාවගේ කථාන්දරයයි. ඒ නිසා මට මේ චිත්‍රපටය තමිල්නාඩුවේ පෙන්වන්නට අවශ්‍යයි. මේ චිත්‍රපටයේ සංස්කෘතික සුවිශේෂීභාවය වටහාගන්නට සමත් චිත්‍රපට බෙදාහරින්නෙක් ඒ සඳහා ඉදිරිපත් වේවි කියා මම බලාපොරොත්තු වෙනවා''යැයි, චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා තමිල්නාඩුව බලා පැමිණ සිටි ෂෙරීන් සේවියර් කියා සිටියාය.

සිය චිත්‍රපටය, තවමත් අභියෝග සහ උපද්‍රවයන්ට ලක්වෙමින් ජීවත් වන ජනාතවක් සිටින යුද්ධයෙන් බැට කෑ ප්‍රදේශ පිළිබඳ කථාන්දරයේ කැඩපතක් යැයි ෂෙරීන් පවසන්නීය.
''මට සත්‍යය පවසන්නට අවශ්‍ය වුණා. යුද්ධයේදී හටගත් සිදුවීම් පවසන්නට කෘත්‍රිම කෙටි මාර්ග කිසිම විටෙක යොදානොගන්නට මම විශේෂයෙන් සැලකිලිමත් වුණා. ඒ නිසා, මේ මිනිසුන් ලක්වී සිටින කම්පන ස්වභාවය ගැන කතා කරන්නට මම යොදාගත්තේ ප්‍රධාන වශයෙන්ම ස්වභාවික පසුතලයන්.'' යැයි ඇය පැවසුවේ සිවිල් යුද්ධයේ කැළැල් තවමත් සුව වී නැති බව බාහිර ලෝකයට පෙන්වා දෙන්නට තමන්ට අවශ්‍ය වූ බවද අවධාරණය කරමිනි.

 

මෙම ලිපිය මුල්වරට පළවූයේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) පුවත්පතේ ය.

චිත්‍රපටයේ කෙටි පූර්ව ප්‍රචාරක පටය (Teaser Trailer) මෙතැනින්.

''''

Top