1150 x 80 px

රෙජීමයක රිදුම්" - නිහඬ අරගලයක හෘද සාක්ෂිය

ගීතයට, සංගීතයට ආදරය නොකරන්නෙක් නොමැති තරම්ය. ඒ තරමටම ගීතය, සංගීතය මානව හදවත් සසල කරවන්නකි. සාහිත්‍ය ධාරාව තුළ ගීතයට හිමිවෙන්නේ ද සුවිශේෂී තැනකි.

සංගීතය විසින් එය තව තවත් ඔපවත් කරයි. වින්දනය මෙන්ම බොහෝ ප්‍රබල පණිවිඩ ගීතය හරහා නිර්මාණාත්මකව සමාජ ගත කළ හැකි බව ඔබ දන්නා කරුණකි. එදා මෙන්ම අදත් අපි "පවනට" ආශක්ත වන්නේ ලේ, ඇට, මස්, නහර කිඳා බැසයන ඒ ගීතයන්හි ප්‍රකම්පනය හේතුවෙනැයි සිතේ. කලින් කලට පවත්නා සමාජ වෙනස් වීම්, වෙනස් කරවා ගැනීම්, හමුවේද ගීතය හිදින්නේ ඉදිරි පෙළෙනි.

ගීත සාහිත්‍යයේ දේශපාලනික කියවීම් රැගත් නිර්මාණ විශේෂ සලකුණක් ලෙස සනිටුහන් වන්නේ ඒ නිර්මාණාත්මක ස්වභාවය නිසාමය. අරගලකාරී අදහස් සමාජ ගත කරන නිර්මාණ මනස පුබුදුවාලන්නකි. පවන ශ්‍රවණය කර ඇති ඕනෑම කෙනෙකුට එම අත්දැකීම් වෙයි. මේ ගමන් මඟ තුළ අපට තවත් චරිතයක් මුණ ගැසිණි. ඔහු මාධ්‍යයට අමුත්තෙක් නොවන මාධ්‍යවේදී තමීර මංජුය. "රෙජීමයක රිදුම්" ගීතාවලිය හරහා විකල්ප දේශපාලන ධාරාවට නිහඬ අරගලයක සාක්ෂිකරුවෙකු වෙමින් හෙතෙම සමාජය ආමන්ත්‍රණය කරන්නට වෙහෙසෙයි.

"අපි හැමෝම දේශපාලන සත්ත්වයන්. දේශපාලනයෙන් තොරව අපිට ජිවිතයක් නැහැ. අපේ ජිවිත වෙනස් කරන්නේ දේශපාලනය. ඉතින් අපිට අපි ගැන වගවීමක් තියෙනවා."

මෑත කාලයේ දේශපාලන ව්‍යවහාරයේ ජනප්‍රිය වූ යෙදුමකි රෙජීමය. මර්දනය, ප්‍රචණ්ඩත්වය, බලහත්කාරය මහින් ප්‍රජාතන්ත්‍රවාය වලදමා පැවති මෑත යුගය සිහිමද ගතියක් නොමැති ඕනෑම අයෙකුගේ සිහියේ වෙයි. 2010 වසරෙන් පසු යුගය සෘජු ලෙසම ආමන්ත්‍රණය කළේ රාජපක්ෂ රෙජීමය යනුවෙනි. හමුදාහරණය වෙනුවට හමුදාකරණය, සුදු වෑන් සංස්කෘතිය, ගස් බැඳීමේ ප්‍රචණ්ඩත්වය, අතිරසාර සංවර්ධනය ආදී අයහපත් රාජ්‍ය පාලනයක ලක්ෂණ ඒ රෙජීමය තුළ සොයා ගැනීම පහසු කටයුත්තකි. තමීරගේ "රෙජීමයක රිදුම්" ගීත නිර්මාණ සඳහා පාදක වන්නේ මෙම සමාජ තත්ත්වයන්. හම්බන්තොට උපන් බිමේ ඔහු සතු වුණු අමිහිරි අත්දැකීම් "රෙජීමයක රිදුම්" පෝෂණය කරන්නට දායකවීමත් මෙහිදී බැහැර කළ නොහැකිය.

"වෙලා සුදු රෙදි කිනිස්සක අග
රැකසිටින්නේ නුඹ දකින්නට
අහස ගුගුරයි මුහුද දරුණුයි
හම්බෝ ආ තොට අපට අහිමියි
අපේ දරුවන් ඉන්නේ කොතනද ………"

තමීර පවසන පරිදි රාජපක්ෂ රෙජීමය පරාජය වුවත් එහි අඳුරු සෙවනැළි තවමත් සරිසරන්නේය. එම සෙවනැළි පවා පරාජය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්ව පවතී. ඒ අනුව යහපාලනය සුරක්ෂිත කර ගැනීමටත් අරගලයක් කරන්නට සිදුව තිබේ. සමාජයක් ලෙස කොතරම් දියුණු වුවත් දේශපාලනික අසාධාරණකම් අපේ සමාජයෙන් බැහැර වී නැත. ඉතින් මේ සියලු සමාජ අසාධාරණයන් වෙනුවෙන් අරගල කිරීමට සිදුව ඇති අතර ඒ සඳහා යොදා ගත යුතු වන්නේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදය බව තමීරගේ අදහසයි. ඔහු ආදර්ශ කොට පෙන්වන්නේ මහත්මා ගාන්ධි අනුගමනය කළ සහය නොදැක්වීමේ ක්‍රමෝපායයි.

"මහත්මා ගාන්ධි - චේ ගෙවේරා
එවන් උතුමෝ අපේ රටෙත්
කරවූ නිහඬ අරගලයක්
ලේ නොදකින වික්‍රමයක් ................."

"මේ රට සංවර්ධනය කරන්න හරි මාවතට ගන්න අපිට ඉතිහාසයේ අවස්ථා කිහිපයක් ලැබුණා. පණ්ඩුකාභය යුගය, දුටුගැමුණු යුගය, 48 නිදහස සහ යුද්ධය අවසන් වීම. නමුත් අපි සාර්ථක වෙලා නැහැ. ඇයි අපි අවස්ථාවන් මගහැරගන්නේ නැත්නම් අහිමි කරගන්නේ. මෙන්න මේ දේශපාලන හැසිරීම තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. අපි පුළුවන් තරම් දැක්කේ මිනිස් ඛේදවාචකයන්. පහුගිය සමයේ අපව පාලනය කළේ පවුලක් නෙවෙයි පවුල් ගසක්. රටේ තීරණ ගන්න රාජපක්ෂවරු හත්දෙනෙක් සෘජුවම මැදිහත් වුණා. සියලු තීරණ ගත්තේ ඔවුන්. යුද්ධය අවසන් වීම නිසා මහින්ද රාජපක්ෂ ජනප්‍රිය නායකයෙක් වුණා. නමුත් ඔහු යහපත් නායකයෙක් වුණේ නැහැ. ඒ අවස්ථාව නැති කරගත්තේ ඔහුමයි. ඒ තුළ ශේෂ වුණේ මිනිස් ඛේදවාචක."

අපි දැන් එළඹ සිටින මොහොත තීරණාත්මකය. එක අතකින් ජනතාවද සමාජ වෙනස සඳහා සුදානම් වියයුතුයි. ජනතාව වහල් බැවින් මිදීමට සිතන තෙක් එය ඉතා කර්කශ කාර්යයක්. වැදගත් වනුයේ සිතුවිලි වෙනස් කර ගැනීමය. ඓතිහාසික සන්දර්භය තුළ ඒ සිතුවිලි වෙනස් කරගන්න "රෙජීමයක රිදුම්" ගීතාවලිය යම් පෙළඹුමක් ඇතිකරනු ඇතැයි තමීර අපේක්ෂා කරයි.

"මිනිස්සු වෙනස් නොවන තාක් කල් අපිට රටක් වෙනස් කරන්න බැහැ."

මාධ්‍යවේදී තමීර මංජු විසින් රචනා කර විශාරද කපිල මැද්දේගොඩ සංගීතවත් කළ 'රෙජීමයක රිදුම්" ගීතාවලිය ජනගත කිරීමේ කලා ප්‍රසංගය එළඹෙන 03 වැනිදා සවස 6.00ට කොළඹ නව නගර ශාලාවේ පැවැත්වෙන අතර තමීරගේ නිහඬ අරගලයට පණ දෙන්න ඔබටත් පුළුවන් එදාට ඔහු සමඟ අත්වැල් බැඳගන්න.

ආශිකා බ්‍රාහ්මණ

Top