Untitled 1

කලා කිරින්ඥ සම්මාන දෙන්නේ කවදාද? - අනුර හෑගොඩ

ශ්‍රී ලංකාව තරම් සම්මානීය(සම්මාන දෙන) රටක් ලෝකයේ වෙන කොහේවත් ඇත්ද? එපා කියන සයිස් එකට සම්මාන පුදන කිවුවොත් ටිකක් හරි වගේ. චිත්‍රපට, ටෙලිනාට්‍ය, ජනමාධ්‍ය, ටෙලිවිෂන්, ව්‍යාපාරික, පාරිභෝගික, ජාතික. මෙකී නොකී සම්මාන කීයක් ලංකාවේ තියෙනවද? ටෙලිවිෂන් සම්මාන කාලෙට නිවුස් බලන්නත් ලැබෙන්නෙ නැහැ. භාගයක් පෙන්නන්නේ ඒ ඒ චැනල් එකට හම්බුවෙච්ච සම්මාන. හොඳම අරකට, හොඳම මේකට. ඉවරයක් නැහැ. ඉතින්

 

සම්මානනීය කිවුවහම නරකද?

මේ ළඟදී රාජ්‍ය ජාතික සම්මාන උළෙල වසර දහ තුනකට පස්සේ ඉතා උත්කර්ෂවත්ව පැවැත් වුණා. හරිම අගෙයි. අපි එය ඉහළින් අගය කරනව. එත් මට හිතුන ඒ සම්මාන දෙනකොට සමහර කොටස් මඟ හැරිලා කියලා. කොච්චර දෙනෙක් ඉන්නවාද රටක් ආණ්ඩුවක්දු වන්න උදව කරපු. පණ දීලා, පණ එපයි කියල. ඒ සමහරු ආණ්ඩුවටම වැඩ කරලා, සමහරු දේශපාලනඥයන්ට වැඩ කරලා වයසටත් ගිහිල්ලා. මම හිතන්නේ ඒ අයව හොයලා සම්මාන දෙන්න ඕනේ කියලා. මම මගේ දැනීමේ හැටියට සමාන කීපයක් නිර්දේශ කරන්න හිතුවා. කලා කීර්ති, කලා ශූරි එහෙම දීලා ඉවරනේ. ඉතින් රජයට මගේ නිර්දේශ.

කලා කිරින්ඥ සම්මානය: (Knuckleduster Award- නකල්ඩස්ටර් සම්මානය)රැයක් දවාලක් නැතිව, කුසට අහරක්, ඇඟට හරි ඇඳුමක් නැතිව, ආණ්ඩුවේ හෝ දේශපාලනඥයන්ගේ ඉල්ලීමට හෝ කීමට, විරුද්ධවාදීන්ගේ මෙන්ම ජනමාද්‍යවේදීන්ගේ බෙලි ගලවා අතට දුන්, ඇස් ගලවා වෙනත් දර්ශනයක් ලබාදුන්, හකු පාඩා විසුරුවා පාර දෙපස විචිත්‍ර කළ , පරණ ටයර් වලින් නිසි ප්‍රයෝජන ගත්, පරාළ ඇණ වලට නව අර්ථකතන සැපයූ, දැළි පිහි වලින් රටා මැවූ, විද්වතුන් සහ සාහිත්‍යවේදීන් කානු පල්ලේ දමා උපහාර කළ, විනිසුරුවරුන්ගේ නිවස්නයනට ගලින් මුලින්ත්කාර සම්මාන කළ, අන්ඩ වර්ල්ඩ් හෙවත් පාතාලයේයැයි ඉරිසියාවට සමහරුන් හඳුන්වාදෙන, එක්දහස් නවසිය හැත්තෑ හතේ සිට මෙතෙක් දක්වා ශ්‍රී ලංකාවට අපරිමිත සේවයක් ඉටුකළ මහඟු ශ්‍රී ලාංකිකයනට පුදන සම්මානය.

කලාබර සම්මානය (කාඩ් කුට්ටමේ) : රජයේ අනුග්‍රහයෙන් අස්සයෝ පදින, සුදූ කෙළින ශ්‍රී ලාංකිකයනට දියයුතු සම්මානය. රජයේ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල් වාෂ්ප කළ, තෙල් ගෙන්වීමට හෙජින් ගිවිසුමට එළඹී රුපියල්කෝටි ප්‍රකෝටි ගණනකින් ශ්‍රී ලංකාව ණය කාරයෙක් කළ, ග්‍රීසියේ ආර්ථිකයට හෙණ ගසා තිබියදී එය ගණනකට නොගෙන ග්‍රීක බොන්ඩ් මිලදීගෙන අපිට කියවාගන්නටත් නොහැකි ඉලක්කම් ප්‍රමාණයක ධනයක් රටට අහිමි කළ, මහා දවල් මංකොල්ලයක් ලෙස පෙනෙන මහා බැංකු බැඳුම්කර වංචාවට දෙවරක්ම ඉඩ සලසා දුන් සහ එය යටගැසීමට නොපසු බස්නා උත්සාහයක යෙදෙන, තවත් නොයෙක් ආකාරවලින් ශ්‍රී ලංකාවේ ධනය සූදුවට තබා නැති බංගස්තාන කරමින් කවදා හෝ ලංකාවට කෙළවමී යන අදහසින් ක්‍රියා කළ සත්ගුණවත් ශ්‍රී ලාංකිකයනට පුදන සම්මානය.

කලා නිදි සම්මානය: (කාලා නිදි) මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සමහර නියෝජිතයන්ට පමණක් පිදිය යුතු සම්මානයකි. දේශපාලන දිවිය අරඹන විට බයිසිකල් කට්ටක්වත් නොතිබූ, ගෙවල් කුළිය ගෙවීමටවත් නොහැකිව පොලුතබා තිබූ, එහෙත් දැන් කොඳු ඇට පෙළ දියනොවී යාමට ජනතාව විසින් මිලදී ගෙන සැපයූ අළුත් වාහනයේ වේගය දරාගත නොහැකිව එහි කොක්කේ එල්ලී නිදි කිරා වැටෙන, ජනතාවගේ මුදළින් ගොඩනැඟෙන දේ තමන්ගේ සංකල්පයක් යැයි තම නම් දමා පුවරු සදන, ලෝකේ වටේ ගොස් දියුණු රටවලින් පාඩම් ඉගෙන නොගත්, ජනතාව ගසාකන අයවැය විවාදයේදී වුවත් ඇහැරිලා ඉන්නට බැරි, කුණු එකතු කිරීමෙන් මෙන්ම බෑමෙන් ද කෝටි ගණන්ජ නතාවගේ මුදල් ගසා කන, ජනතාවගේ අයිතීන්, සෞඛ්‍යය තුට්ටුවකටවත් ගණන් නොගන්නා, එයින්ම මිනී මැරීමේ චෝදනාවට වරදකරුවන් විය හැකි, අඩු මිලට දෙන පාර්ලිමේන්තු භොජනාගාරයෙන් සප්පායම් වී ඉඳගෙන නිදි වදින, තවත් දහසකුත් දේ කීමට තිබෙන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීන්හ ට පිදෙන සම්මානය.

කලා භීෂණ සම්මානය: මෙම සම්මාන දීමේදී පුද්ගලයනට වඩා රජයේ ආයතන ගැන සලකා බැලිය යුතුවේ. සමහරවිට සංස්කෘතික අමාත්‍යාංශය, රැඟුම් පාලක මණ්ඩලය, කලා මණ්ඩලය, මෙයට සුදුසුකම් ලැබීමට ඉඩ ඇත.

Top