1150 x 80 px

කලා කෘති නිසා මලානික වෙන සිනිඳු ආගමික මල්පෙති

මැතිව් පීරිස් යනු කෑමට දියවැඩියාව සඳහා ලබාදෙන බෙහෙත් කළවම් කොට සිය බිරිඳ සහ රසල් ඉන්ග්‍රම් හෙවත් තම පෙම්වතියගේ සැමියා සූක්ෂම ලෙස ඝාතනය කිරීම නිසා ඊට වරදකරු වී පහළොස් වසරක් සිරදඬුවම් විඳී ඇන්ග්ලිකානු පූජකවරයා ය. අසූ ගණන්වල මුල භාගයේ අධිකරණ පද්ධතිය සහ මාධ්‍ය මෙන්ම රට ම කැළඹ වූ මෙම සිද්ධියෙහි විශේෂත්වය වන්නේ වෛද්‍ය සාක්ෂිවල ප්‍රබලත්වය පෙන්වීමට එම නඩුව හොඳ උදාහරණයක් වීමයි. ලංකාවේ අධිකරණ ඉතිහාසයේ පුද්ගලයෙකුගේ වරදකාරීත්වය තීරණය කිරීමට වෛද්‍ය සාක්ෂි පදනම් කරගත් අවස්ථා ඒ වන විට තිබුණේ කිහිපයකි. මැතිව් පීරිස් එක්දහස් නවසිය අනූහතේ දී සිය යහපත් හැසිරීම නිසා ජනාධිපති සමාව ලැබ නිදහස් වෙයි.

ඔහු නිදහස් වීමෙනුත් දශක දෙකකට පසු ඉතා සංකීර්ණ නඩු විභාගයක් මෙන්ම සංකීර්ණ පුද්ගල ස්වභාවයන් විදහා දක්වන මේ සිද්ධිය චන්ද්‍රන් රත්නම් සිනමාවේදියා විසින් සිනමාවට නැගීමට සැරසීමත් සමග සිනමාපටයේ රූගත කිරීම් කෙරෙද්දීම එම චිත්‍රපටය තහනම් කළ යුතු බවට අගරදගුරු මැල්කම් රංජිත් ආඥා පනවන්නට පටන් ගෙන තිබේ. මෙය මැල්කම් රංජිත්ගේ තනි පිස්සුවකට සීමා වන ගැටළුවක් නො වන්නේ කතෝලික පල්ලිය අනෙකුත් සියලු මිනිස් ක්‍රියාකාරකම්වල දිග පළල නීර්ණය කරන අතරතුර කලාව වාරණය කිරීමට දක්වන අසීමිත උනන්දුව නවසිය තිස් ගණන් දක්වා දිවෙන හෙයිනි. සිනමාව හා සාහිත්‍ය වාරණය තුළින් ස්වර්ග රාජ්‍යය රැකගැනීමේ අප්‍රතිහත උත්සාහයක යෙදෙන වතිකානුව මෙන්ම කින්සි පාරේ රද ගුරු මැදුර ද ලෝක පූජිත වික්ටර් හියුගෝ , වෝල්ටෙයා ,ඩැනියෙල් ඩෙෆෝ නැතහොත් ඩූමා ගේ සිට මංජුල වෙඩිවර්ධන දක්වා ලේඛකයින්ගේ ග්‍රන්ථ පරිහරණය වාරණය කර තිබේ. (මෙහි නිල ලැයිස්තුව Index librorum prohibitorum වෙතින් කියවා ගත හැක). නීතිමය වශයෙන් කෙසේ වුවද ලංකාවේ සෙමනේරි තුළ The Gad Fly හෙවත් ඇටමැස්සා කෘතිය පරිහරණය තහනම් බව ද මිතුරෙකු මගින් දැනගත් කරුණකි. The Passion of Christ මෙන්ම Da Vinci Code සිනමා පට නිසාද සියුමැලි කතෝලික දේව භක්තියේ සිහින් හුය බිඳී යතැයි බිය වූ පල්ලිය ලොව පුරා මැවූ භීතිය අමතක වීමට තරම් කාලයක් ගතවී නොමැත.

දේව භක්තිය සහ ඇදහිල්ල යනු චලන සිතුවම් පෙළකින් සිඳ බිඳ ලිය හැකි ඉසියුම් මල් පෙත්තක් බැවින් මැල්කම් රංජිත් කතෝලික පල්ලියේ බෙල් එක යළිත් නාද කර තිබේ. (වතිකානුවෙන් නාසා බිෂප් පැලස් එක චිත්‍රපටි තහනම් කරනවා තියා පාස්කු නාට්ටියක්වත් පෙන්නන්නේ නැත.) උපතේ සිට මරණය දක්වා කතෝලිකයාගේ ජීවිතය බ්ලැක්මේල් කොට පාලනය කරන අතර සෙමනේරිවල සිට මීසම් නිවාසය දක්වා සිදුවෙන ළමා අපචාර අත යටින් සහ දම්පාට සළුව යටින් තබා වසා ගන්නා පල්ලිය, එළිපිට ම අහවර වී ඇති පන්සලට සාපේක්ෂව යහපත් බවක් පෙන්වමින් අපට විටින් විට සදාචාර සීමා ඇඳ දීමට ඉදිරිපත් වෙයි.
මේ සැදැහැවත් දිව්‍යමය මැදිහත්වීමේ ඊළඟ පියවර වනු ඇත්තේ චිත්‍රපටියට එරෙහි සර්වාගමික විරෝධයක් වගේ එකක් නම් පුදුම විය යුතු නැත. සිරිසේන ජනාධිපතිවරයාට ජනතාව කුණු ප්‍රශ්නය ගැන කතා කිරීම ආසාත්මික වන්නා සේම ඊටත් එහා තලයකින් දැනටත් උපක්‍රමශීලිව එකතු වුන පල්ලිය සහ පන්සල මෙන්ම අනෙකත් ආගමික ආයතනවලට ද ‘ආගමට අත නොතබනු‘ කියමින් කලාව වාරණය කිරීමට ඉතා පහසුවෙන් සහජීවනය ගොඩ නගා ගැනීමට හැකි වනු ඇත.

මේ විරෝධය ද මැල්කම් රංජිත් ගේ හුදෙකලා එකක් නො වන්නේ ඒ නිසාය.

සීනායි කන්දේ දී ස්වර්ගය විවර වූවේ මෝසෙස් ට පමණක් වුවද දස පණත ලැබුණේ හැමෝට ම ය.

~ කල්පනා ඇම්බ්‍රෝස්

Top