Untitled 1

එනු කොහි සිට............. (බන්ධුල නානායක්කාරවසම්ගේ චරිතාපදානය කියවු පසු..)

මම බලා සිටිමි. නිරුත්තර වී සිටිමි. කුමක් කල යුතු දැයි නොදනිමි. මා සහෘද බන්ධුල නානායක්කාරවසම් ගේ , එනු කොහි සිට- කියවා අවසන් වූවා පමණි. මේ රෑ මැදියමයි. මා නිදාගත යුතුය. හෙට උදැහැනේ රූප සත්කාරයක් වෙනුවෙන් මා වෙසෙන කැළණි නිවසින් බැහැර විය යුතුය. එහෙත් නිදා ගන්නේ කෙසේද? බන්ධුලයෝ මට නිදාගන්නට ඉඩ නොදෙති. මට මගේ බාලවිය මතක් වෙයි. මා එය නිහඩව විද දරා ගත යුතුය.

රත්මලාන නම් වූ කටොර කම්හල් දනව්වේ ඉපදී වලව්වත්ත බිමේ හැදුනු වැඩුනු මගේ බාලවිය පිළිබදව කාලයාගේ ඇවෑමෙන් මාතුල වූවේ කිව නොහැකි තරම් වූ ශෝකයකි. එයට හේතු වූවේ රත්මලාන යනු ගෙන්දගම් නගරයක් වූ අතර නිල්වන් කුඹුරු යායෙන් සපිරි කුරුළු නදින් පිරී ගිය දනව්වක් නම් නොවීමයි. ගැමි නිවස්නයක ඉපිද ඇලේ දොලේ පැන කමත හරහා දිවගොස් බඩවැටියකට වැද ගඩා ගෙඩි කෑ ළමා ලපටියකු වන්නට මා කොපමණ නම් පෙරුම් පුරන්නට ඇතිදැයි දන්නේ රත්මලානේ වලව්වත්තේ අතරින් පතර විහිදුනු අපට සෙවන දුන් බඩවැටි පමණකි. පීත්ත පටියක් සේ දිවෙන ගාලු මාතර පාරක් අප අද්දර නොවුවද බාලවියේ අප දුව පැන ඇවිද්දේ කොළඹ මාතර හරහා එක පිම්මේ දුවන රේල්ලුවට හයිය දුන් රේල් පාර සමීපයේමය. සැබැවින්ම එම වටපිටාව කලක් යත්ම මට අති සමීප නොවන බව දැනෙන්නට වූ අතර මම දකුණට ආදරය කරන්නකු වීමි. එකල ඊට හේතු කාරණා කුමක්දැයි මා නොදැන සිටියද පසුව මා පියා මාතර කඹුරුදෙණියේ උපත ලද්දකු වීම විය හැකි යැයි සිතා මම හිත හදා ගතිමි.

එහෙත් ගැටවර වියට එත්ම දකුණු දනව්වේ ගංතුලාන පිළිබදව වගතුග දැන ගැනීමේ පිපාසය මට දැඩිවන්නට විය. මපියා මාතර වුවද අවුරුද්දටවත් ගම්රට බලා යන්නට නොලැබුනු අතර ඒ අනුව මම තවත් නාගරිකයකු පමණක්ම වීමි. පිය පාර්ශවයේ සියල්ලෝ කොළඹ බලා පැමිණ තම තමන්ට හැකි ලෙස නිවස්න තනා ගත් අතර අවුරුදු බලා යන ගමේ මහගෙදරද ළපටියන් වු අපට අහිමි වීය. බාලවියේ සුන්දර ගැමි දිවිය අහිමිවීමේ පිපාසයෙන් පෙලුනු මම ඉනික්බිති හෙලයේ මහා ගත්කරුවාණන් වු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත්වලට ලොල් වීමි. උපන් දා සිට- අපේ ගම- මඩොල්දූව ආදී කෘතින්ට පෙම් බැදි මම ඉන් අමන්දානන්දයට පත්වීමි.

එහෙත් එකී අනගි කෘති කියවීමෙන් මට සිදුවුවේ කබලින් ලිපට වැටීමකි. දකුණු කරයට ගැමි නිවස්නයට- ගුරු ගෙදර වැලි පිල්ලට පෙම් බැද එය නොලැබීමේ මනස් රෝගයෙන් පීඩා විදි මා තීරණය කලේ ඉනික්බිති එකී පොත්වල පිටුවක්වත් යළි නොපෙරලන්නටය.. එහෙත් සිදුවුවේ අනෙකෙකි.

රූපවාහිනියට අවතීර්ණ වීමත් සමගම අඹ යහළුවෝ ටෙලි නාට්‍යය නිමවීමෙන් පසු මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය තුලින් මා ගුරු වූ ආචාර්ය තිස්ස අබේසේකරයන් මට ඇරයුම් කලේ වික්‍රමසිංහයන්ගේ මඩොල් දූව පුංචි තිරයට නගන්නටය. බාලවියේ නොලද දකුණේ ලපටියකු වීමේ සිහිනය ගැටවරවියේදී කිසිවකුටත් ලබා ගත නොහැක්කකි. මා මඩොල් දූව රූපවාහිනියට නිර්මාණය කලේ හැඩු කදුළිනි. උපාලි ගිනිවැල්ලේ -ජින්නා සමග දින 60ක් පුරා කොග්ගල මලලගම- මඩොල් දූව අවට රෑ ගත කරන විට මෙකී ගංතුලානයන්හි පැවති සොබා සිරිය මසිතට දරා ගත නොහැකි තරම් වී. එහිදි මම තවත් රූප අදියුරෙක් නම් නොමවීමි.ලද කෙටි විවේකය තුල කොග්ගල ඔයේ ඔරු පදිමින් බඩවැටි පුරා දුවමින් කිරල තුවක්කු හදමින් ගඩා ගෙඩි බුදිමින් මා ලද සතුට කිව නොහැකි තරම් වුවද දකුණුකරේ ළපටියකු වීමට නොහැකි වීමේ දුක නම් මට කිසිදා දරා ගත නොහැකි වෙයි..

දැන් මම සහෘද බන්ධුලයන්ගේ එනු කොහි සිට පොත වෙතට හැරෙමි. මා කුමක් නම් කියන්නද? බන්ධුලයෝ මා හඩවා මගේ හදවත ගලවා සිය ගංදොර වු බොපේ හීන්පැන්දල බිමේ හිටවා ඇ ත.මට හුස්ම ගැනීමට අපහසුය. මට මෙසේ මිය යා නොහැක. සහෘද බන්ධුල.මට මගේ හදවත දෙනු මැනව..

සුදත් දේවප්‍රිය.

Top