Untitled 1

කාලත්‍රයම දකින සුනිල් ආරියරත්නයන් සහ අර්පිත් චෞද්රි

"බිම්බාදේවි හෙවත් යශෝධරා " නම් වූ තම නවතම චිත්‍රපටයට චරිතවත් නළු නිළි යුවළක් ලංකාවෙන් සොයා ගැනීමට නොහැකි වූ නිසා ඉන්දියානු නළු- නිළි යුවළක් සොයාගත් බව පවසන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නය.
ඉරිදා ලක්බිම , රිද්ම අතිරේකයට සම්මුඛ සාකච්ඡාවක් සපයන හෙතෙම මේ බව පවසා සිටියි. ඒ ලංකාවේ හැටිමය. මේ සුනිල් ට පෙර ඔය දේ හිතුවේ වෙන සුනිල් කෙනෙකි. 2001 වසරේ දී "හායි බේබි හායි" චිත්‍රපටය
නිර්මාණය කළ සුනිල් සෝම පීරිස් ලංකාවේ නළු නිළියන් ගේ චරිතවත් බව විශ්වාස නොකළ නිසාදෝ ඔහු තම චිත්‍රපටයේ රඟපෑමට දකුණු ඉන්දියානු බල්ලන් සහ රිලවුන් යොදා ඒ අඩුව පිරවීය.

"බිම්බාදේවි හෙවත් යශෝධරා ". චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත්වූයේ ප්‍රධාන නළු - නිළි යුවළ නොමැතිවය. ඒ වන විට මේ ඉන්දියානු චරිතවත් නළු නිළි යුවල හමු වී නොතිබුණු අතර මහාචාර්යතුමන් පවසා සිටියේ
තෝරාගන්නා අයගේ අතීතය - වර්තමානය සහ අනාගතය යන කාලාත්‍රය ගැනම සලකා බලන බවයි. එමෙන්ම එම මුහුරත් උළෙල , ලාංකේය සිනමාවේ ප්‍රධාන නළු - නිළි යුවළ නොමැති පළමු චිත්‍රපටය විය හැකි බව ද
පවසන්නට එතුමා අමතක නොකළේය. බාගදා එය අංජනම් බලා නළු නිළියන් තෝරන ලොව මුල්ම චිත්‍රපටය ද විය හැකිය. වාර්තාවක් නිසා කුමක් වුවත් අපට සතුටුය.

" මේ දෙදෙනා මීට පෙර රඟපා තිබෙන චරිතවල ස්වභාවය මොන වගේද යන වග අපි හොඳින් අධ්‍යනය කළා. ඔවුන් ගැන වැඩිදුර සොයා බලද්දී ඔවුන් තුළ තිබෙන ආගමික නැඹුරුතාව සහ විනීත බව අපට තහවුරු වූ නිසා
තමයි ඔවුන්ව මේ චරිත සඳහා තෝරාගත්තේ " (2017 ජූලි 03 | රිද්ම )

1981 වසරේ දී "සතර පෙර නිමිති" නම් වූ ආන්දෝලනාත්මක සිනමා නිර්මාණයක් තනා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් ප්‍රථම වරට තහනම් කරන ලද චිත්‍රපටය ලෙස ඉතිහාසගත වූ තරුණ සිනමාකරුවා සුනිල්
ආරියරත්නයන් ය. එදා සුදත්ත නම් භික්ෂුවක් අරභයා නිර්භයව සිනමාව හැසිරවූ ඔහු අද වන විට නළු නිළියන්ගේ කන්‍යා පටල පරීක්ෂාවේද යෙදී ඇතැයි ඔබ සිතනවාද ?

නැත !! ඒ කැරළිකාර කලාකරුවා අදටත් එසේමය.

ලංකාවේ චරිතවත් නළුවන් නැති නිසා ඔහු දඹදිව ගොස් සොයාගන්නා "සිද්ධාර්ථ ගෞතම" ගේ කාලාත්‍රයම ආගමික පසුබිමෙන් යුතු නිර්මාණ වලට වෙන්වෙතැයි උපකල්පනය කිරීම ඔබේ වරදකි. මේ සිටින්නේ " සකුරා මල්
පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල්වන පියසේ " වැනි අග්‍රගණ්‍ය උත්ප්‍රාසාත්මක ගී සහ "බෝ මැඩ වගුරන කිරි කළ දහසින්" වැනි විරෝධාකල්ප ගී රැසක් ලියූ තැනැත්තාය.

"බිම්බාදේවි හෙවත් යශෝධරා " හි සිද්ධාර්ථ චරිතය නිරූපණය කරන්නේ A චෞද්රි නම් වූ නවක නළුවා බව පුවත්පතට පවසන්නේ අධ්‍යක්ෂ තුමන්ය. ලංකාවේදී G S B රාණි වර්ගයේ නමකින් හැඳින්වූවද ඔහු දඹදිවදී
හඳුන්වන්නේ අර්පිත් චෞද්රි (Arpit Chaudhary) ලෙසිනි.

2018 වසරේදී තිරගත වීමට නියමිත Evening Shadows නම් ඉන්දියානු සිනමා නිර්මාණයේ දී ඔහු, එනම් අර්පිත් චෞද්රි රඟදක්වන්නේ "අමන්" නම් වූ සමකාමී තරුණයාගේ චරිතය ය.

සමකාමී පෙම්වතෙක් ලෙස රඟ පෑ නළුවෙක් වුව ද චරිතවත් රංගනයක යෙදෙන්නෙක් සේ සැලකීමටත් "සිද්ධාර්ථ ගෞතම" චරිතය ලබා දීමටත් නිර්භීත වීම පිළිබඳව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හට අපගේ ප්‍රණාමය !
ලංකාවෙන් සොයා ගත නොහැකි චරිතවත් නළු - නිළි රත්නයන් සොයා දඹදිව කරක් ගසනා , එහිදී කාලාත්‍රයම චරිතවත් නළු නිළියන් සොයාගන්න ඔබගේ ලිබරල් මෙහෙවරට අපගේ තුති !

ප. ලි
පවන කැසට් පටයට ඔබ ලියූ ගීත අපි තවමත් අසන්නෙමු .

- සහන් කසීර වික්‍රමසිංහ

Top