1150 x 80 px

කවියත් එක්කම දෙමළ අරගලය හදාරන්න - මංජුල වෙඩිවර්ධන
ලංකාවේ දේශපාලන චලනයන් - මේ මොහොතේ - මංජුල වෙඩිවර්ධනට පෙනෙන්නේ කොහොමද?
 
මං මේ දවස්වල ලංකාවේ දේශපාලන චලනයන් පේන්නෑ.  කාටද ඒක පේන්නෙ කියලා මට තේරෙන්නෑ. මොකද මං විශාල පොතක් කියවන්න අතගහල තියෙන්නෙ. ටිකක් පරණ එකක්.  ඔනෝරේ ද බල්සාක්ගෙ හ්‍යුමන් කොමඩිය.  මං පැරිසියේ තියෙන පේර්-ලෂේස් කියන පුප්‍රකට කනත්තට විටින් විට යනවා. ඒක මං කැමති නිස්කලංකම තැනක්. මළවුන් අතර සැරිසන නිසා මානව බාධාවන් නෑ. දැන් මං විශේෂයෙන්ම බල්සාක්ගෙ සොහොන ළඟට යනවා. මට හැම තිස්සෙම පේනවා ඒ සොහොන මුදුනෙ මූර්තිමත් කරලා තියෙන බල්සාක්ගෙ මුහුණෙ - ඒ දෙතොලෙ මානව
ඇසට පෙනෙන නොපෙනෙන මඳහසක් තියෙනවා.  මට මේ හිනාව දරන්නම බැරුව මං ඒ ගැන කවියක් ලිව්වා. ඒ මගේ අලුත් පොතේ එනවා. මාතෘකාව ‘ඒ ගැඹුරු මඳහස’. මේක තමයි මේ ප්‍රශ්නෙට උත්තරය.  ඒ කවිය මෙහෙමයි. 
 
මානව ප්‍රහසනය
දෙතොල මත ඇඳ පෙන්වන
බල්සාක්මය මඳහස.....
 
පිටතට ඇරුණු ඇස් මත
ඇතුළත අඳුර පෙන්වන
බල්සාක්මය මඳහස......
 
වේදනාවේ පතුළත
කඳුළු නැති බව පෙන්වන
බල්සාක්මය මඳහස.....
 
කඳු ගැහුණු පොත් මැද
සැහැල්ලුව පෙන්වන
බල්සාක්මය මඳහස.....
 
මඳහසක අර්ථය
මඳහස නොවන බව පෙන්වන
බල්සාක්මය මඳහස....
 
ලංකාවේ සාහිත්‍යයික චලනයන් - මේ මොහොතේ - මංජුල වෙඩිවර්ධනට පෙනෙන්නේ කොහොමද?
 
ලංකාවෙ සාහිත්‍යයික චලයන් කිව්ව ගමන් පේන්නෙ මතුපිටින් සිද්ධවෙන ක්‍රියාකරකම් ටික විතරයි.  බුකියෙ ‘පොත් කියවන අය’ අතර රස්තියාදුවක් ගැහුවම හිතා ගන්න පුළුවන් අභ්‍යන්තර චලනයන් ගැන.  එහෙම දෙයක් වෙන්නෙ නැතුව සාහිත්‍යයික චලයන් ගැන කතා කරන එක අර්ථ විරහිතයි.  ලංකාවේ සාහිත්‍යය කිසියම් විශිෂ්ඨත්වයක් අත්පත් කරගත්ත නම් ඒවා පුද්ගල ප්‍රයත්නයන් විතරයි. රාජ්‍ය මැදිහත්වීමක් හෝ සමාජමය මැදිහත්වීමක් මත අත්පත්කරගත්ත ජයග්‍රහණ නෙවෙයි ඒවා. තව චිරාත් කාලයක් වරනගමින් කියවන්නට හැකි සයිමන්ගේ හෝ තිලකසේනගේ සාහිත්‍ය ගත්තත් ඒවා හුදු පුද්ගල සුවිශේෂතා. ලේඛකයාට ගෞරවනීය වෘත්තීය ජීවිතයක් අත්පත් කරදීමකින් තොරව බරපතල සාහිත්‍යක පෙරනිමිති පහළ වේයැයි මං හිතන්නෑ. ඒ වෙනුවට අද සිද්ධවෙන්නෙ බරපතල සාහිත්‍ය මැදිහත්වීමක් කිරීමේ ශක්‍යතා පෙන්වන ලේඛකයො වුණත් ජරාජීර්ණ දේශපාලන පක්ෂවල ප්‍රකාශකයන් බවට පත්වෙමින් ස්වයං කුණුවීමකට ලක්වීම. ඒවම තමයි අවසානයේ සාහිත්‍ය ගන්ධස්සාරයන් බවට පත්වෙන්නෙ. 
 
කවිය සම්බන්ධව තිබ්බ සංස්ථාපිත අදහස්වලට සයිබර් අවකාශය කළේ මොනවගේ බලපෑමක්ද ?
 
එහෙම විශාල දෙයක් සිද්ධ වෙලා නෑ. ඒකට හේතුවක් තියෙනවා. අන්තර්ජාලය හෝ මෙම නව සාක්ෂරතාවන් ගැන අපි කතා කළත් පොදුවේ ගත්තම සයිබරය පාවිච්චි කරන්නෙ නව දැනුම හොයන්න නෙවෙයි. යම් යම් මතවාදීමය සහ නිර්මාණාත්මක මැදිහත්වීමක් කරන බ්ලොග්කරුවන් කිහිපදෙනක් සහ කණ්ඩායම් කිහිපයක් තියෙනවා. නමුත් පොදුවේ ගත්තම අපේ අන්තර්ජාලය  කියන්නෙ අර මෙතෙක් පවත්වාගෙන ආ ගෝත්‍රිකකමේ මොඩර්න් වර්ෂන් එක.  එතන වෛරය පැසවන තැනක්.  තනිකරම ගේම්, ලෙඩ සහ විෂබීජ පිරුණු අවකාශයක්. සමාජ ඥානනයක් විශාල වශයෙන් එතන සිද්ධ වෙන්නෙ නෑ. 
 
කවියට අදාලව ගත්තම, ජගත් ජේ. එදිරිසිංහ සහෝදරයා ‘කැටපත්පවුර’ හරහා ගොඩනඟන්න උත්සහ කරපු සයිබර් කාව්‍ය අවකාශය ‘බූන්දිය’ හරහා කූඨප්‍රාප්තියට පත් වුණා. ගේම් වලින් මිදුණු, සද්සමාජ පරමාර්ථ මිස අන් කිසිවක් නොතිබුණු  ‘බූන්දිය’ නිශ්චිත සන්දර්භයක් තුළ සමාජ පීඩනය උසුලගෙන ඉන්න විශාල කාර්යභාරයක් කළ බව අප පිළිගත යුතු යි. ඒක ඉතිහාසයේ කිසියම් පිරිසක් කරපු නිර්භීත වැඩක්. ඉන් එහා උදාහණයක්මට නම් තාම හොයා ගන්න බෑ. 
 
බුකිය කියන්නෙ මට නම් විශාල ආශ්වාදයක් තියෙන තැනක් නෙවෙයි. සන්නිවේදනයේ පහසුව පිණිස සන්නිවේදන මාධ්‍යයක් විදිහට ඒක හොඳයි.  මට අනුව නම් කවිය සම්බන්ධව පොට පැටලිච්ච තැනක් තමයි මේක.  යතුරු පුවරුවේ යතුරු එබුවම එළියට විසිවෙන හැම බඩකඩිත්තුවක්ම කවියක් කියල හිතන අය දවසින් දවස බෝ වෙනවා.  මේක සංවාද කළ යුතු තත්වයක්. නිදසුනක් ලෙස රුවන් බන්දුජීව වගේ කවියෙක් ගත්තොත් බොහෝවිට මං දැකලා තියෙනවා ඔහු සයිබර් කවියෙක් කියන තැනට ඔහුගේ භාවිතාව ඌණනය කරන්න හදනවා. ඔහු කවියෙක් මිසක් සයිබර් කවියෙක් නෙවෙයි. ඔහු සයිබරය භාවිතා කරන්නෙ ඔහු ඉඳහිට ලියන කවි පළ කරන්න මිසක් කවි ලියන්න නෙමෙයි.  ඒ ආදර්ශය තමයි වැදගත්. 
 
මංජුල වෙඩිවර්ධන නමැති කවියාගේ කාව්‍යක්කාරකම, `ඉෂූස්` වලට `යූස්` වෙනවා කියල ඔබට හිතෙන්නේ නැද්ද ? 
 
ඉෂූස් වලට යූස් කරන්නැති කවිය මොකටද? ඒක මගේ දැනුවත් භාවිතයක්. මං කවිය අතට ගත් දවසෙ ඉඳන්ම තිබුණ දෙයක් ඒක.  ඒක ඉට්ටයිල් එකක් නෙවෙයි. ඒක අපේ ජීවිතය හරහා එන දෙයක්. ඒක අපේ ආත්මය පාරගෙන නැඟෙන දෙයක්. ප්‍රවනතාත්මක කවිය සහ සාහිත්‍ය කියන එක හැමදාම තිබුණු දෙයක්. මං කෝනේෂ්වරී කවිය, ඒ කියන්නෙ ‘මම ලිඟුමාල වෙමි’ කියන කවිය ලිව්වෙ මීට වසර විස්සකට කලින්. දෙමළ මිනිස්සුන්ගෙ ආත්මයත් එක්ක බට්ටා පයින් නැතුව අඛන්ඩව අවුරුදු විස්සක් අපිට අපේ මතය උහුලගන්න පුළුවන් වුණේ ඉට්ටයිල් එකට නෙවෙයි අපි ඒ තුළ දේශපාලනිකව හිටගෙන හිටපු නිසා. අපේ උහුලා ගැනීම විසින් තමයි තවත් පරම්පරාවක් වෙත මේ ප්‍රශ්නයේ දේශපාලනය ගෙනියන්න පුළුවන් වුණේ. ඒක කළේ කවි ලිවීමෙන් විතරක් නෙවෙයි ඇතැම් විට කවි ලියන එක අත්හැරීමෙන්. රෝහිත භාෂණ අබේවර්ධන කියන අපේ පරම්පරාවෙ හිටපු විශිෂ්ඨම කවියා මෙහිනියාමකත්වය වෙනුවෙන් කවි ලියන එක අතෑරියා.  අජිත් සී. හේරත් දේශපාලන කවිය දාර්ශනික තලයකට ඔසවා තැබුවා.  මහේෂ් මුණසිංහ දෙමලා ඉදිරියේ සිංහල හෘදය සාක්ෂිය වරනැගුවා.  මේක විශාල ශ්‍රමයක් සහ අවදානමක් දරපු මානව ව්‍යායාමයක්. කවිය කියන්නෙ මේ සියල්ලේ එක්තරා ප්‍රකාශනයක් මිසක් සමස්ථ ප්‍රකාශනය නෙවෙයි. දෙමළ ජීවිත ලක්ෂයක් විතර බාවනකන් නිදාගෙන ඉඳලා හදිසියෙ නින්දෙන් ඇහැරුණු විප්ලවවාදීන්ගෙ දෙමළ හිතවාදය වගේ නෙවෙයි අපේ භාවිතය. ‘සම අයිතිය‘ කියන දේ ඇතැමෙක්ට ඉෂූ එකක් වුණාට ඒක අපට ඉෂූ එකක් නොවෙන්නෙ අපි ඒක පදනමේ තබා සලකන නිසා. මේ ප්‍රවර්ග දෙකේ වෙනස ඔන්න ඕක.
 
`මගේ ආදරණීය යක්ෂණී` නිසා සම්මාන මුදලාලිලා එක්ක කොකු දාගන්න තැනට ඔබ පල්ලම් බැස්සේ ඇයි ? 
 
මං කොහොමත් කොකු දාගන්න කෙනෙක් තමයි. අතින් පයින් ගහගන්න ඕනි තැනවල මං කවි ලිය ලිය ඉන්නෑ. .........මේ සියල්ලේ ඓක්‍යය තමයි මගේ ජීවිතය. 
 
සිවරාම් මැරුව වෙලාවෙ ඒ සිද්ධියට අදාලව අදටත් ජයතිලක බණ්ඩාර සහෝදරයා ගයන ‘තරාකී’ කවිය ලිව්වෙ මම. ඒ වගේම මම, ඔහු මරපු වෙලාවෙ පොලිස් වැටවල් කඩාගෙන ගිය දැවැන්ත උද්ඝෝණයේ හඬනඟාගෙන ඉස්සරහින්ම ගිය කෙනෙක්.  ලසන්ත මරපු එක ගැන ‘කලු ජනේරුව’ කියන කවිය ලිව්වෙත් මම. ලසන්ත ඝාතනයට එරෙහිව කරපු පිකට්එකට සටන් පාඨ ලිව්වෙත් මම. මේ තමයි මම.  නමුත් මේ චෝදනාව නම් වැරදියි. පොඩි ළමයි එක්ක කොක්ක ඉල්ලන මිනිහෙක් නෙවෙයි මම.  බිස්නස්කාරයොත් එක්ක කොක්ක ඉල්ලන මිනිහෙක් නෙවෙයි මම. මොකටද?  
 
මං එකම එක ඊ ලියමනක් ලිව්වා මාත් එක්ක බොහෝ කාලයක් එකට වැඩකරපු සමාජ ක්‍රියාධරයො කණ්ඩායමකට. ඒකෙදි මං කිව්වෙ බොදු බල මරලතෝනිය සාහිත්‍යට මොකද්ද කරමින් ඉන්නෙ කියන එක. ඒක මං පුද්ගලිකව ලියපු එකක්. මං එකේදි විශේෂයෙන් අවධාරණය කළේ අපිත් එක්ක සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී හිටපු එක් ප්‍රවීනයෙක්ගෙ දෙබිඩිභාවය ගැන.  කොහොම නමුත් ඒ ගැන මාධ්‍යවල කතා කරන්න ගත්තා. ඒ වෙලාවෙ මං ඒකට උත්තර දුන්නා. එච්චරයි. නමුත් ‘යක්ෂණී’ මර්ධනය කරන්න භාෂා අවි අමෝරාගෙන ආපු අය කොහෙද අන්තිමට නතර වුණේ.  යක්ෂණී විරෝධයෙන් තමන්ගෙ දෙවැනි දේශපාලන ගමන අරඹපු තමන්ගෙ මුත්තා භාෂාවට හා සාහිත්‍යට කරපු සම්ප්‍රදානය වෙළෙදාම් කරන මුනුබුරා කොහෙද අන්තිමට නතර වුණේ. සුළුජන විරෝධී ජාතික ලැයිතුවක. අන්තිම කාලෙ වෙද්දි මෙන්න දාන දාන චැනල් එකේ මේ මුනුබුරා. මෙන්න මේ අනාගත ව්‍යසනය කලින්ම කියන්නයි මං මැදිහත් වෙන්න උත්සාහ කළේ. ඒක කොක්කක් නෙවෙයි. ප්‍රායෝගිකවම ඔප්පු වුණු ඇත්තක්. 
 
ඔබේ පිටුවහල් ජීවිතයේ සනීපදායක පැත්ත ගැන ලංකාවේ සිටින ඔබේම සමකාලීනයන් ඇතැම් විට අප්‍රසිද්ධියේ විවේචනය කරන බව ඔබ දන්නවාද? ඔවුන්ට අනුව දෙමළ අරගලයට මුවාවෙලා ඔබ සැපක් ගන්නවා 
 
මේවා උත්තර දිය යුතු කාරණා නෙවෙයි. මෙහෙම කියන ඕනෑම කෙනෙක්ගෙ පූර්ව හා පශ්චාත් වෙල්ලමුල්ලිවෛක්කාල් දේශපාලනය භාවිතය ඔබ වෙන වෙනම කියවලා බලන්න.  මේ අතරින් මට එකම එක පරමාදර්ශ දේශපාලන ජීවියෙක් තෝරලා කියන්න ‘වෙඩ්ඩා මෙන්න එකෙක් අහුවුණා, ආයෙ ඉතින් ගහේ බඩු තමයි,  දැන් උත්තර දීපං කියලා.’ මං අන්න ඒ මොහොතෙ උත්තර දෙන්නම්. 
 
ඊළඟ ප්‍රශ්නය ඒකටම සම්බන්ධයි - පිටුවහල් ජීවිතය නිමා කරලා, මාතෘකාවක් නැති මාතෘභූමියට නොඑන්නේ ඇයි ?
 
මාතෘකාවක් නැති මාතෘභූමිය කියන්නෙම අහිමි වීම ගැන සංඛේතයක්. ඔබ එහි අර්ථය දන්නවා. ඒ අර්ථයෙන් ඔබ මේ ප්‍රශ්නය නඟන එකම වැරැදියි. මට අනුව ඔබත් පිටුවහලෙක්. ඔබේ මෑතකාලීන දේශපාලන ජීවිතය තුළම ඔබට කී වතාවක් පිටුවහලෙක් වෙන්න සිද්ධ වුණාද?  ඔබ සුමතිපාල මානවඩු සහෝදරයගෙ මළගෙදර ගියාම මොකද්ද සිද්ධවුණේ? ඒ ඔබ ජීවිතය ලන්සුවට තිබ්බ අතීතය. දැන් ඒ තත්වෙ වෙනස් වෙලාද? ඔබ සත්හඬ පත්තරේ විශේෂාංග සංස්කාරක වෙන්නද දේශපාලනය කළේ? මේක ඔබේ කැමැත්තද? අන්න ඒක තමයි සහෝදරයා පිටුවහල කියන්නෙ. 
 
බත්තලංගුණ්ඩුවෙ ඇන්ටනී වගේම යක්‍ෂණී තුළ වේගා කියන දෙන්නම පිටුවහල්ලු. සිංහල ජාතික මතවාදය අධිනිෂ්චය වුණු  සමාජයක උඹත් මමත් හැමදාම පිටුවහල්ලු. භෞතිකව පංචස්කන්දයත් එක්ක ඔතැන ඉන්නවද මෙතන ඉන්නවද කියන එක මත නෙවෙයි පිටුවහල තීන්දු වෙන්නෙ. ඒ වගේමයි භෞතිකව ඔතැන ඉන්නවද මෙතන ඉන්නවද කියන එකත් එක්ක නෙවෙයි දේශපාලනය හෝ කාර්යභාරය තීන්දු වෙන්නෙ. නමුත් මේ පිටුවහල්ලු නිර්මාණය කරපු උන්ගෙ වහල්ලු වෙච්ච එවුන් තමයි දැන් බුලත් අත් දිගුකරගෙන එන්නෙ. අපේ සමාජයෙ වෙනස්වීම් සඳහා අපි ඉතිහාසය පුරා වැඩ කෙරුවා. දැන් ඔය ගොඩක් අය බල්ටි ගහන්නෙ අපි හදපු මෙට්ට්‍රස් උඩ බව ඒ අයට අමතක වෙලා. නසූර්දීන්ගෙ රසකැවිලි වෙළෙන්දොත් එක්ක අපිට සංවාදයක් නෑ. ලිබරල් මනසේ ඇතිවන ආතතිය තුරන් කරගැනීම වෙනුවෙන් සිද්ධවෙච්ච වෙනස්කම් මිස බුද්ධිමය සංවාදයක් මේ සමාජය තුළ සිද්ධ නොවුණු බව ඔබ දන්නවා.  බුද්ධිමතුන් විදිහට සමාජයේ සැළකුම් ලබපු අය දරපු ස්ථාවරයන් ඔබ දන්නවා. දෙමළගෙ ඔලුව උඩට බැරල් බෝම්බ දාන්න රතුහමුදාවන් හදපු අය සමඟ එක පෙළට හිටගෙන හෘද සාක්ෂිය අතට ගත්ත අයත්, අතීත රතු හමුදාව කඳු ගහපු අය සමඟ එක පෙළට හිටගත් අතීත රතු හමුදා භටයනුත් කවුද කියන එක දැන් සමාජය දන්නවා. ඔය අතරෙ ම මේ දොගොල්ලොමත් කියනවා මොන දේ කළත් රට බේරගත්ත නායකයා මහින්ද රාජපක්ෂ කියලා. දැන් තියෙන්නෙ මෙන්න මේ අලුත් සමාජ සන්දර්භය. කලින්ටත් වඩා මෙහි විකෘතින් ගහණයි. ඒක ඔබ දන්නවා. ඔබ වගේ සහෘදකම වෙනුවෙන් ආදරය වෙනුවෙන් මේ ප්‍රශ්නය අහන අය දන්නවා ඇත්තටම අපි එන්න ඕනි වෙලාව වගේම එන වෙලාව. මං හිතන්නෙ ‍ඔබත් මේ දෙකම දන්නවා. 
 
අන්තිම ප්‍රශ්නය - නැහැ ! මේක ප්‍රශ්නයක්ම නොවෙයි, පොඩි ඉල්ලීමක් !! අකුරු එක්ක ක්‍රීඩා කරන අලුත් පරම්පරාවේ එකියකට - එකෙකුට, වචනයකින් දෙකකින් තරු එළියක් දල්වන්න !
 
අකුරු එක්ක ක්‍රිඩා කරන්න අකුරු දැනගෙන ඉන්න ඕනි.  ඕන ක්‍රිඩාවක් එහෙමයි. ටෙස්ට් ගහනවා වගේ නෙවෙයි විස්සයි විස්ස. විස්සයි විස්සයි ඩාං ගාලා ඉවර වෙනවා. ෆන් එක වැඩියි. ත්‍රිල් එක වැඩියි. ටෙස්ට් විඳ ගන්න අමාරුයි. නමුත් බ්‍රැඩ්මන් සමුගත්තෙ ටෙස්ට් මැච් එකකින්. සෝබර්ස් සමුගත්තෙ ටෙස්ට් මැච් එකකින්. සංගා සමුගත්තෙ ටෙස්ට් මැච් එකකින්. ඒක තමයි විශිෂ්ඨත්වයේ ලකුණ. 
 
ඒ වගේමයි සොෆ්ට් බෝල් ගහනවා වගේ ලෙදර් ගහන්න බෑ. සමහරුන්ට හිතෙනවා අන්ඩර් ෆිෆ්ටීන් සිලෙක්ට් වෙච්ච හැටියෙම මට නැෂනල් ගහන්න පුළුවන් කියලා. සමහර නැෂනල් ගහන අයගෙ වැඩ අන්ඩර් තර්ටීන් වගේ. හොඳ ග්‍රවුන්ඩ්ස් තිබුණට වැඩක් නෑ ක්‍රිකට් ගහන්න පුළුවන් උන් නැත්තං.  ඒ වගේම තමයි අපි එංගලන්ත, ඔස්ට්‍රේලියා, නවසීලන්ත ක්‍රිඩකයන්ට නැතුව වෙස්ට් ඉන්ඩීස් ක්‍රිඩකයන්ට ආදරේ කළේ ඇයි කියන එක හිතන්න වෙනවා. එහෙම ආදරේ කරපු අපි අල්ලපු වත්තෙ හිටපු දෙමළට වෛර කරන්නෙ ඇයිද කියලා හිතන්න වෙනවා.  අන්න ප්‍රශ්නෙ වෙන පැත්තක් පේන්න ගන්නවා. 
 
ලංකාව යම් ප්‍රමාණයකට හරි ලෝකයට අරන් ගියේ ක්‍රිකට් මිසක් කවිය නෙවෙයි. ඒ හින්දා කවිය එක්කම ක්‍රිකට් හදාරන්න. ලංකාව යම් ප්‍රමාණයකට හරි ලෝකෙට අරන් ගියේ දෙමළ අරගලය. ඒ හින්දා කවියත් එක්කම ඒ අරගලය හදාරන්න. සමස්ථ සමාජ විඥානයේ කේන්ද්‍රයෙ තාමත් තියෙන්නෙ මේ දෙක. සමාජ ආතතිය එකෙල මෙකෙල වෙන්නෙ මේ සාධක දෙක මත.  සමාජයේ හෘද ස්පන්ධනය හඳුනගන්නැතුව කවි ලියන්න බෑ. ඒ හින්දා මං කියන්නෙ මේකයි.  මේ තත්වය හදාරන්නැතුව කවිය අරන් යන්න පුළුවන් බුකියට විතරයි. 
 
අකුරුත් එක්ක කරන ක්‍රිඩාව ඇතුළෙ අපි හදන්න ඕනි කවි. ඒවා මොන අර්ථයෙන් ගත්තත් කවි වෙන්න ඕනි. මොන මාධ්‍යක පළ වුණත් කවි වෙන්න ඕනි.  කවි කියන්නෙ බොරු සද්ද දාන චීන පටස් නෙවෙයි. බර දාලා පොළොවෙ ගහන අලිඩොං නෙවෙයි. කවි කියන්නෙ නිවැරදි ඉල්ලකය හොයාගෙන ගිහිල්ල හදවතටම කිඳා බහින බුලට්වලට.
Top