1150 x 80 px

 

SPMC ඖෂධ ධාරිතාව බිලියන 4 දක්වා දෙගුණ කරයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 30 වන සංවත්සරය සැමරීම සඳහා වෙන් කර තිබු මුදලින් කොළඹ ජාතික රෝහලට රුපියල් ලක්ෂ 70 ක් පමණවටිනා ශල්‍ය උපකරණ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරී සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමතිවරයා මෙසේ පැවසීය.

‘‘සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලුම රාජ්‍යආයතන මේ වන විට ලාභ ලබන තත්වයට පත් කර තිබෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ද ලාභ ලබන අතර ඖෂධ නිෂ්පාදනය ද වැඩි කර තිබෙනවා. එම ලාභයෙන් කොටසක් සේවකයන්ට ලබාදීම ද සිදුකර තිබෙනවා. ඖෂධ නිෂ්පාදනය සඳහා ගිවිසුම් 38 ක් අත්සන් කිරීමටත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.“

එයින් බලාපොරොත්තු වන්නේ වසර 2019 වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ලංකාව තුළම නිෂ්පාදනය කිරීම බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය. සුව ඇමති රාජිත සේනාරත්න මහතා එහිදී තවදුරටත් සඳහන් කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ බිලියන 2 ක් නව ඖෂධ නිෂ්පාදනය බිලියන 4 ක් දක්වා ඉහළ දැමීමට, එනම් දෙගුණ කිරීමට තීරණය කර ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය නව නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ද මේ වන විට ඉදිවෙමින් තිබේ. මෙසේ නිෂ්පාදන ධාරිතාවය ඉහළ දැමීම මගින් සංස්ථාවේ ලාභය රුපියල් බිලියන 5 ක් දක්වා වැඩි කිරීමට අවස්ථාව සැලසෙන බව ද සුව ඇමතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා නව වසර තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන්වල මූලික අවධානය යොමු වී තිබෙන්නේ බෝ නොවෙන රෝග පාලනය කිරීම ය. ඇමති රාජිත විසින් පිළිකා රෝගීන්ට ලක්ෂ 15 දක්වා පමණක් ප්‍රතිකාර කිරීමේ රජයේ ප්‍රතිපත්තිය වෙනස් කරන ලද අතර මේ අනුව පිළිකා රෝගීන්ට ජීවිත කාලය තුළම ප්‍රතිකාර ලැබීමේ අවස්ථාව හිමි වේ. 2017 වසරේදී මේ සඳහා රුපියල් බිලියන 4.8 ක් වැය කර තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය සයුර සමරසුන්දර මහතා, කළමනාකාර අධ්‍යක්ෂ එම්. සුන්දරලිංගම්,කොළඹ ජාතික රෝහලේ වැඩ බලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍යකුමාර කුමාරසිංහ ඇතුළු වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක් ව සිටියහ.

- අමාලි ජයවීර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top