LOLC ක්ෂුද්‍ර මූල්‍ය ආකෘතිය පාකිස්ථානයට පිවිසෙයි

LOLC හි විශේෂිත, ගෝලීය පිළිගැනීමට ලක්වූ ක්ෂුද්‍ර මූල්‍ය ආකෘතිය පාකිස්ථාන ජනතාවට හඳුන්වාදීම උදෙසා LOLC සමූහය Pak Oman මයික්‍රො ෆිනෑන්ස් බෑන්ක් ලිමිටඩ් සමඟ ඓතිහාසික හවුල් ව්‍යාපාර ගිවිසුමකට එළඹුණි.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

LOLC හි සුවිශේෂී ක්‍රියාකාරිත්වයක් සහිත ක්ෂුද්‍ර මූල්‍ය ආකෘතිය මෙන්ම ශ්‍රී ලංකාව, මියන්මාරය සහ කාම්බෝජයේ එහි සාර්ථකත්වය නිරීක්ෂණය කල පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ සහ ඕමාන සුල්තාන් රාජ්‍යයේ ඒකාබද්ධ ව්‍යාපාරයක් වන Pak Oman මයික්‍රො ෆිනෑන්ස් බෑන්ක් ලිමිටඩ්, සිය ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යාපාරයේ බහුතර කොටස් ලබාගන්නා ලෙස LOLC වෙත ඇරයුම් කළේය.

Pak Oman මයික්‍රො ෆිනෑන්ස් බෑන්ක් 2006 වසරේ මැයි මාසයේ ස්ථාපිත කලදා පටන් ක්ෂුද ණය සහ ක්ෂුද්‍ර තැන්පතු නිෂ්පාදන සහ සේවාවන් රැසක් පාකිස්ථාන ජනතාව වෙත පිරිනමයි. නව සම්බන්ධය තුලින් නිරන්තරයෙන් පරිවර්තනය වෙමින් ක්ෂුද්‍ර ව්‍යාපාර තිරසාර කර්මාන්තකරණය ඔස්සේ කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත බවට පත්වීමට අවස්ථාව සලසන LOLC විශිෂ්ට ක්ෂුද්‍ර මුල්‍ය ආකෘතියේ සුවිශේෂියත්වයේ ඵල ලැබීමට Pak Oman මයික්‍රො ෆිනෑන්ස් බෑන්ක් අපේක්ෂා කරයි.

LOLC ක්ෂුද්‍ර මුල්‍ය ආකෘතිය කෙටි කාලයක් තුල ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගත් අතර, LOLC සමූහයේ සමාගම් 4 ක් වන LOLC මයික්‍රො ක්‍රෙඩිට් ලිමිටඩ්, LOLC ෆිනෑන්ස් පී.එල්.සී., BRAC ලංකා ෆිනෑන්ස් පී.එල්.සී. සහ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. මඟින් සාර්ථකව මෙහෙයවනු ලබයි. මෙම ආයතන මඟින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය බඳු වූ බිම් මට්ටමේ ව්‍යවසායකයන්ගේ ජීවිකා වෘත්තීන් සවිමත් කරමින් තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කරයි. ආදායම් විෂමතාවයන් ජයගැනීම උදෙසා නැඟී එන ව්යවසායකයන් සවිබල ගැන්වීම තුළින් LOLC සාර්ථක ලෙස ජනප්‍රජාවන් සවිබල ගන්වා ඇති අතර, විවිධ ක්ෂේත්‍රයන් සහ ගම්මාන රැසක් පණගැන්වීමට වසර ගණනාවක් කටයුතු කර තිබේ.

LOLC හි සමාරම්භක විදේශීය ආයෝජනය වන PRASAC ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය දැන් කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මුල්‍ය ආයතනය වන අතර, එරට ග්‍රාමීය ජනකොටස් වලට මුල්‍ය සේවා ප්‍රවේශය ලබාදෙයි. PRASAC, සමාජ සහ පාරිසරික ආරක්ෂණය සමඟ මුල්‍ය ප්‍රතිලාභ සහතික කරමින් කාම්බෝජ ජනතාවගේ ආර්ථික තත්වය ඉහල නැංවීමේ ඉලක්කය පෙරදැරිව ක්රියාත්මක වේ. මෙහෙයුම් ආරම්භ කර වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල LOLC මියන්මාර් මයික්රො ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් (LMML), එරට බලපත්රලාභී ක්ෂුද්‍ර මුල්‍ය ආයතන 168 ක් අතුරින් 8 වැනි විශාලතම ක්ෂුද්‍ර මුල්‍ය සැපයුම්කරු බවට පත්ව තිබේ. LMML සිය සුවිශේෂී, නවමු ක්ෂුද්‍ර මුල්‍ය ප්‍රවේශය තුලින්, අතිශය තරඟකාරී මියන්මාර වෙළෙඳපොළ තුල සිය තත්වය තහවුරු කර ගැනීමට සමත් ව ඇත.

ස්වාධින පුද්ගලයන් සහ ආයතන දහස් ගණනකට සහය වීම සහ කුඩාම ව්‍යාපාරයේ සිට බිලියන සංඛ්‍යාත ව්‍යාපාරික අවස්ථාවන් බිහිකිරීම, ආර්ථිකයක වර්ධනයේ දිරිගැන්මක් සලකුණු කරන බව උත්සව අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කල LOLC සමූහ කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා පැවසීය. “නව ආරම්භයන් සහ කුඩා ව්‍යාපෘති සඳහා සරල සහ සුවිශේෂී මුල්‍ය ආකෘතියක් ඔස්සේ සහය වීම තුලින් ඕනෑම කර්මාන්ත ක්ෂේත්‍රයක ප්‍රගතියක් ලැබීම සඳහා ඔවුන් තුල දැවැන්ත විශ්වාසයක් ගොඩනැගෙයි. පාකිස්ථාන මධ්‍යම රජයේ සහ ඕමාන සුල්තාන් රාජ්‍යයේ 100 % ක කොටස් හිමි Pak Oman මයික්‍රො ෆිනෑන්ස් බෑන්ක් ලිමිටඩ් මෙහෙයුම් විශිෂ්ටත්වයෙන් යුත් සිය ආකෘතිය ක්‍රියාත්මක කරලීම සඳහා හවුල් ව්‍යාපාරයේ බහුතර කොටස් ලබාගන්නා ලෙස LOLC වෙත ඇරයුම් කිරීම එහි පරිපුර්ණ වෙනසක් අපේක්ෂාවෙන් සිදුකර ඇති අතර, එමඟින් කලාපයේ මුල්ය සහ සමාජ ක්‍රියාකාරිත්වය ඉහල යනු ඇත. මෙම ගණුදෙනුව තුලින් LOLC හි ගෝලීය පියසටහන් තවදුරටත් විහිදෙන අතර, මෙහෙයුම් නම්‍යශීලතාවයෙන් යුත්, කෙටිකාලීන හා දිගුකාලීන වර්ධනයන් සාක්ෂාත් කරගැනීමේ ආයෝජන අවස්ථාවන් කරා පෙළඹවීමක් ඇති කරයි. මෙම වටිනා ආයෝජකයන් දෙපොළ සමඟ එක්ව කටයුතු කරමින් LOLC හි විශිෂ්ට ක්ෂුද්‍ර මුල්‍ය ආකෘතිය කලාපය පුරා රැගෙන යාමට අපි අපේක්ෂා කරමු.”

ඓතිහාසික සමෘද්ධියෙන් සහ ස්වභාවික සම්පතින් පොහොසත් පාකිස්ථානය, මිලියන 200 ක ජනගහනයකින් සමන්විත ලොව සයවැනි ජනාකීර්ණතම රාජ්‍යයයි. රටේ නිෂ්පාදනයෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් මෙන්ම, රැකියා නියුක්තියෙන් පහෙන් දෙකක් පමණ කෘෂිකර්මාන්තයෙන් සැපයෙන අතර, අපනයන ආදායමෙන් බහුතරයක් හිමිවන්නේ රෙදිපිළි සහ ඇඟළුම් අපනයනයෙනි.

බැංකුමය නොවන මුල්ය ආයතනයක් ලෙස ආරම්භ වූ LOLC, සීග්‍රයෙන් එහෙත් තිරසාරව ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විවිධාංගිකරණය වූ සමාගම් පවුරක් වර්ධනය වී තිබේ. අද LOLC ආයෝජන කලඹ මුල්‍ය සේවාවන් හි සිට සංචාරක හෝටල්, වතු වැවිලි මෙන්ම පුනර්ජනනීය බලශක්ති සහ අනෙකුත් ක්‍රමෝපාය ආයෝජන දක්වා පුළුල් පරාසයක විහිදේ. Pak Oman මයික්‍රො ෆිනෑන්ස් බෑන්ක් සමඟ මෙම සහයෝගීතාව සමාගමේ වර්ධන ගමන් මඟට සවියක් වන අතර, ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බට දහස් ගණන් ජනතාවගේ ජීවිත කෙරෙහි සුභවාදී බලපෑමක් ඇති කරයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top