Untitled 1

එන්න ඇවිත් බලන්න The Viceroy Special !
ශ්‍රී ලාංකේය භූමිය සංචාරකයන්ගේ පාරාදීසයකි. විශේෂයෙන් විදෙස් සංචාරකයන් "සිලෝන්" වෙත සිය ආදරය, ගෞරවය පිරිනමන්නේ මේ භූමියේ පවත්නා ආකර්ෂණය නිසාමය. එහෙයින් කර්මාන්තයක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට එදා මෙදා පාලකයන් විවිධ සැලසුම් ගෙන එයි. මේ අතර පෞද්ගලික අංශයද සංචාරක කර්මාන්තය නැංවීම සඳහා මැදිහත්ව සිටියි.
ඒ අතරින් JF TOURS ආයතනය සුවිශේෂී වන්නේ රාජ්‍ය ආයතනයක් සමඟ මෙකී ව්‍යාපෘතිය ඉතා සාර්ථකව කරගෙන යාමය. The Viceroy Special සංචාරක දුම්රිය හඳුන්වා දෙමින් මරට සංචාරක කර්මාන්තයට හයියක් වීමට  JF TOURS ආයතනය සිය දායකත්වය සපයා තිබුණි. 1986 පෙබරවාරී 02 වැනිදා සිට ගමන් ආරම්භ කළ Viceroy සුඛෝපභෝගී සංචාරක දුම්රිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කතා බහක් ඇති වන්නේ පසුගිය සමයේය. ඒ, JF TOURS අයතනය පවසන පරිදි මෙම සංචාරක දුම්රිය ධාවනය ආරම්භ වී වසර 30 ක් ගතවූ පසුය. දුම්රිය දෙපාර්තමේන්තුව හා JF TOURS ආයතනය ගිවිසුම්ගතව ගෙන යන මෙම ධාවන ක්‍රියාවලිය හා හුවමාරුවන මුදල් ගණුදෙනු අතර පරහක් පවතින බවට දුම්රිය  වෘත්තීය සමිති කිහිපයක් ප්‍රශ්න මතුකර තිබුණි. එම චෝදනාවට JF TOURS ආයතනය පමණක් නොව එක්ස්පෝ ලංකා හා රාජධානී එක්ස්ප්‍රස් යන සංචාරක දුම්රිය සේවාවන්ද ඉලක්ක විය. වෘත්තීය සමිති මතු කළ කාරණය වූයේ මෙම සංචාරක දුම්රිය ධාවන ආදායමෙන් දෙපාර්තමේන්තුවට අයවිය යුතු මුදල්  නොලැබී ඇති බවයි. එය රු. කෝටි 47 ක් පමණ වන බවද ඔවුහු පැවසූහ.
 
ඒ අනුව viceroy සංචාරක දුම්රියේ හිමිකරු වන JF TOURS ආයතනය මෙම දුම්රිය පිළිබඳවත් ඊට දැන් එල්ලවෙමින් පවතින ගෙවීම් පැහැර  හැරීම පිළිබඳවත් යන කාරණා පිළිබඳව මාධ්‍යයට කරුණු කාරණා සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම වෙනුවෙන් පසුගිය 22 වැනිදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා සංචාරයක් සුදානම් කර තිබුණි. ඊට රටේ ප්‍රධාන මාධ්‍ය ආයතනයන්හි මාධ්‍යවේදීන් සහභාගී වී සිටියහ. JF TOURS ආයතනය වෙනුවෙන් කළමනාකරණ අධ්‍යක්ෂ පවිත්‍ර ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ශිලා ප්‍රනාන්දු ඇතුළු නියෝජිතයන් හා දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) නාලක බණ්ඩාර මහතාද viceroy සංචාරක දුම්රිය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කළේය.
 
jf tour 4 
 
VICEROY උපත
 
1983 දී මෙරටට පැමිණෙන එංගලන්තයේ සංචාරක මාධ්‍යවේදී ක්ලිෆඩ් ජෝන් හා දුම්රියට මහත් ලැදියාවක් ඇති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ හමුවීම viceroy බිහිවීමේ අඩිතාලම විය. මෙරටට සංචාරකයන්ගේ පැමිණීම පහළ මට්ටමක පැවති  යුගයක ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය ලොව පුරා සිටින සංචාරක මාධ්‍යවේදීන් මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබුණි. ඒ, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් නව අදහස්, යෝජනා ලබා ගැනීම සඳහාය. මාධ්‍යවේදී ක්ලිෆඩ් ජෝන් පැමිණෙන්නේද ඒ ආරාධනය මතය. ඔහු මෙරට සෑම දුම්රිය ස්ථානයක්ම පාහේ නිරීක්ෂණය කර ඇති අතර මේ අතරතුර හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවී තිබේ. මේ දෙදෙනාම දුම්රියට මහත් සේ ඇළුම්කරන්නන් වීම නිසාම ක්ලිෆඩ් ජෝන්, හේමසිරි ප්‍රනාන්දු මහතාට කදිම යෝජනාවක් කර තිබේ. එනම් නව සංකල්පයකට අනුව නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමය.
 
මේ කාලය වන විට දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය එන්ජින් කිහිපයක් හා මැදිරි කිහිපයක් තෝරා ගෙන JF TOURS ආයතනය 1984 වන විට ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ඒ අනුව ක්ලිෆඩ් ජෝන්ගේ සංකල්පයට හේමසිරි ප්‍රනාන්දු මහතා ජීවය ලබා දී තිබුණි. මෙම විශේෂ සංචාරක දුම්රියේ සියලු වැඩ නිම කිරීම සඳහා එකල (1984) රු. මිලියන දෙකක් පමණ වැය වී තිබේ. මේ සියලු වියදම් JF TOURS ආයතනයෙන් දරා ඇත. විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් viceroy දුම්රිය මෙරට සංචාරක කර්මාන්තයට සවියක් විය. කෙසේ නමුත් මුල් වසර 10ක් පමණ  කාලයක් පාඩු පිට පාඩු ලබන්නට සිදු වූයේ සංචාරකයන්ගේ හිඟකම හේතුවෙනි. එහෙත් සියලු බාධක මැද දුම්රියට පෙම් බැඳි හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ආයතනයේ මුදල් යොදවමින් viceroy පවත්වාගෙන ගොස් තිබේ. පසුගිය දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයද ඔවුන්ට ගෙන ආවේ අමිහිරි අත්දැකීම්ය. කෙසේ වෙතත් මේ සියලු බාධක හමුවේ viceroy සංචාරක දුම්රියේ ආකර්ෂණීයභාවය නිසාම මේ වන විට මෙරටට සචාරකයන් 30,000 ක් පමණ පැමිණ තිබේ.
 
සුඛෝපභෝගී සේවාව
 
විශේෂයෙන් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ඇරඹි මෙම viceroy සංචාරක දුම්රියේ පහසුකම් හා සේවාව අතිවිශිෂ්ට බව අපි අත්දැකීමෙන්ම දැන ගත්තෙමු, දැකගත්තෙමු. සුහදශීලී හා ආචාරශීලී පිළිගැනීමේ පටන් ගමනාන්තය තෙක් JF TOURS සියල්ල මනා ලෙස කළමනාකරණය කර ඇති අයුරු දැක ගන්නට හැකි විය. වාෂ්ප එන්ජිම හා ආකර්ශනීය ලෙස සකස් කර ඇති මැදිරි තුන එක අතකින් දුම්රිය දෙපාර්තමේන්තුවටද ආඩම්බරයකි. අවශ්‍යතාව මත සංචාරකයන්ට "සැරබීම" වලින්ද සප්පායම් වීමට හැකිය. ඒ වෙනුවෙන් මැදිරියක් වෙන් කර ඇත්තේ සියලු පහසුකම්ද සපයමිනි. ඒ සඳහා JF TOURS වෙත බලපත්‍රයක්ද තිබේ. කෙටියෙන් සඳහන් කළොත් ඉහළ පෙළේ සත්කාරයන් සමඟින් ඉහළ පෙළේ සේවාවකි. JF TOURS ආයතනය viceroy දුම්රියට අදාළව සියලු ප්‍රවර්ධන කටයුතු සිදු කරන්නේ විදෙස් රටවලය. එසේ සිදුව ඇත්තේ දේශීය සංචාරකයන්ට එම වියදම දරා ගැනීම අතිශය දුෂ්කර කාරණයක් වන හෙයිනි. සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් ඇරඹි මෙම සංචාරක දුම්රිය සේවාව යුරෝපයේ බොහෝ සෙයින් ප්‍රචලිතය.
 
jf tour 9
 
viceroy වෙත චෝදනා එල්ලවීම
 
පසුගිය දිනවල දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කියා සිටියේ viceroy දුම්රිය අයත් සමාගමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අයවිය යුතු මුදල් ගෙවීම පැහැර හරිමින් සිටින බවයි. ඒ බව "විගණන වර්තාවකින්ද" අනාවරණ වී ඇති බව ඔවුහු ප්‍රකාශ කළහ. මේ වන විට එම මූල්‍ය ගැටළුව FCIDය වෙතද ගොස් තිබේ.
 
කෙසේ වෙතත් JF TOURS ආයතනය පවසන පරිදි ගෙවුණු 32 වසර තුළ ඔවුන් කිසිම අකාරයකින් ගෙවීම් පැහැර හැර නැත. දුම්රිය දෙපාර්තමේන්තුවද එය තහවුරු කරයි. ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇත්තේ බිල් දෙකකය. එය දුම්රිය දෙපාර්තමේන්තුවේ අතපසුවීමකින් සිදුවූ දෙයක් බව දැන් අනාවරණය වී තිබේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීම්වලට අනුව දුම්රිය දෙපාර්තමේන්තුව බිල් සකස් කර නැත. නමුත් එම වෙනස් වීමට අදාළවද ගෙවීම් සිදු කිරීමට JF TOURS එකඟතාව පළකර ඇති මොහොතක වෘත්තීය සමිති කිහිපයක් විගණන වාර්තාවක් ගැන කතාව කියන්නට විය. මේ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණ වූයේ සමාජගත වී ඇත්තේ විගණන වාර්තාවක් නොව විගණන විමසුමක් බවයි. විගණන විමසුම කිසිදිනෙක අවසන් වාර්තාව නොවන අතර සිදුව ඇති අඩුපාඩු, දෝස සහිත කාරණා පිළිබඳව දෙපාර්තමේන්තුවෙන් විමසීම විගණන විමසුම හරහා සිදු වෙයි. මෙම කාරණයට අදාළවද දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති විගණන විමසුමට පිළිතුරු දී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාම සඳහන් කරයි.
 
ඕනෑම අවස්ථාවක ගැටළු මතුවිය හැකිය. ගිවිසුම්ගත ක්‍රියාවලියකට යන්නේ එම දුෂ්කරතා වළක්වා ගැනීම සඳහාය. viceroy සංචාරක දුම්රිය සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතුවූයේ දුම්රියේ හිමිකාරීත්වය සතු සමාගම පාර්ශවයෙන් නොව ධාවන හිමිකාරීත්වය පවතින දෙපාර්තමේන්තුව පාර්ශවයෙනි. එය ඔවුනොවුන් දැන් විසදාගෙන තිබේ. දැන් කළයුතු වන්නේ මෙවන් සේවාවන් තව තවත් ශක්තිමත්ව පවත්වා ගෙන යාමය. විශේෂයෙන් සංචාරක කර්මාන්තය නැංවීම පිළිබඳ කයිවාරු ගසන රටකට මෙවන් ව්‍යාපෘති ඉහේ මල් පිපුණා හා සමාන වියයුතුය. නමුත් ප්‍රශ්නය වන්නේ සෑම දෙයක් පිළිබඳවම සැකයෙන් හා කුහකත්වයෙන් බැලීමේ පුරුද්ද තාමත් බහුතරයක් දෙනා අත්හැර නොමැතිවීමය.
 
ආශිකා බ්‍රාහ්මණ
ජායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන
 
jf tour 1
jf tour 2
jf tour 3
jf tour 5
jf tour 6
jf tour 7
jf tour 8
jf tour 10
jf tour 11
jf tour 12
jf tour 13
jf tour 14
jf tour 15
jf tour 16
jf tour 17
jf tour 18
jf tour 19
jf tour 20
jf tour 21

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top