Untitled 1

ජාත්‍යන්තර වෙළඳාමේ අපට හිමි පංගුව ගැන ලැජ්ජා වියයුතුයි
අන්තර්ජාතික වෙළදාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හිමි දායකත්වය පිළිබදව  සෑහීමකට පත්විය නොහැකි යැයි ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී. වීරසිංහ මහතා පවසයි.
ලෝක වෙළද පොල තුළ මෙරට දායකත්වය පවතින්නේ සියයට 0.6ක් වැනි අවම තත්ත්වයක වන බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළදාමෙහි කිසිදු වර්ධනයක් අත්වී නොමැති බව ඒ මහතා කීවේය.
පසුගිය සමයේදී ශ්‍රී ලංකාව සියයට 0.8ක දායකත්වයක් ලබා සිටියත් ඒ තත්ත්වය මේ වන විට තවදුරටත් පහළ වැටී ඇතැයි සංවර්ධන උපාය මාර්ය හා අන්තර් ජාතික ගිවිසුම් පිළිබදව වෙළද ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සදහා අද (01) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කීවේය.
 
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යංශය හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඒකාබද්ධව වාණිජ මණ්ඩල සාමාජිකයන් හා ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සදහා මෙම වැඩමුළුව පවත්වන ලදි.
 
මිලියන 21ක ජනගහණයකින් යුතු කුඩා රටක් වන ශ්‍රී ලංකාවට ලෝක වෙළද පොල තුළ ශ්‍රී ලංකාවට විශාල කාර්යයභාරයක් සිදුකළ නොහැකි වී ඇතැයි ද ඒ මහතා කීවේය. ශ්‍රී ලංකාවේ සමකාලීන ඇතැම් රටවල් සිය දළ ජාතික නිෂ්පාදිතයෙන් අන්තර් ජාතික වෙළද පොල දායකත්වය සියයට 60 හා 100% අතර නියෝජනයක් කරන විට අප රට 14%ක් වැනි පහළ නියෝජනයක් දරන බව කී ඒ මහතා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
 
ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට වඩා ආනයන වියදම පවතින්නේ ඉහළ මට්ටමක. මෙම හිගය මග හරවා ගැනීමට නම් විශාල වශයෙන් ආයෝජන සිදුකළ යුතුයි. නමුත් ඒ සදහා දේශීය බැංකු හෝ දේශීය පෞද්ගලික ආයෝජන ප්‍රමාණවත් වන්නේ නැහැ. 
 
ඒ නිසා විෂයභාර අමාත්‍යවරයා හා අග්‍රමාත්‍යවරයා තීරණය කර තිබෙනවා, අන්තර් ජාතික ආයෝජන ඉහළ නැංවීමට. ඒ සදහා මේ වන විට අදාල අංශ දැනුවත් කරන අතර අගනුවරින් බාහිරව මහනුවර මෙවැනි වැඩමුළුවක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි.
 
අද බොහෝ දෙනෙකු තුළ අන්තර් ජාතික ගිවිසුම් සම්බන්ධයෙන් පවතින්නේ අනියත බියක්. නමුත් ගෝලීය ආර්ථික කටයුතුවලදී ශ්‍රී ලංකාව තමන්ට අවාසි සහිත ගිවිසුම් වලට කිසිසේත්ම එළඹෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව අන්තර් ජාතික වෙළදාමේදී පසුවන මන්දගාමීත්වය නිසා සමකාලීන රටවල් වූ තායිලන්තය, මැලේසියාව, බංගලාදේශය, ඉන්දියාව, පකිස්ථානය, වියට්නාමය වැනි රටවල් අප අභිභවා දියුණු වුණා. අන්තර් ජාතික වෙළද ගිවිසුම් 460ක් පමණ ලෝකයේ පැවතුණත් අප තවමත් අත්සන් කොට ඇත්තේ වර්ෂ 1998දී අත්සන් කොට වර්ෂ 2000දී ක්‍රියාත්මක කළ ඉන්දු ලංකා වෙළද ගිවිසුම හා පක්ස්ථානය සමග අත්සන් කළ ගිවිසුම් දෙක පමණයි.
 
අනිත් රටවල් ඔවුන් අත්සන් කර ඇති වෙළද ගිවිසුම් නිසා තීරුබදු රහිතව තරගකාරී ලෙස ව්‍යාපාර කටයුතු කරනවා. නමුත් අපේ රට මේ දක්වා තවම එක තැන කල්ගත කරමින් සිටිනවා. අප ගිවිසුම් සදහා එළඹෙන්නේ විදෙස් රටවලින් භාණ්ඩ ලබා ගැනීමට වඩා දේශීය ආර්ථීකය අන්තර්ජාතික වශයෙන් ප්‍රසාරණය කර ගැනීමටයි. 
 
අප චීනයෙන් භාණ්ඩ ආනයනය කිරීමේ දී අප ලබා ගන්නේ අපට අවශ්‍යම භාණ්ඩයි. විශේෂයෙන්ම කාර්මික උපකරණ, ඇගලුම් කර්මාන්තයේ අමුද්‍රව්‍ය වැනි දේ විශාල වශයෙන් අප ආනයනය කරගන්නවා. ඉදිරි දශකයේදී ලෝක ආර්ථිකයේ බලවත් රටක් බවට චීනය පත් වෙනවා. චීනය සමග ගිවිසුම් ගතවීමෙන් එහිදී ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකියි.
 
ඉදිරි වෙළද ගිවිසුම් පිළිබදව චීනය, ඉන්දියාව හා සිංගප්පූරුව සමග සාකච්ඡා කරන අතර ඊට අමතරව සෙසු රටවල සහයෝගය ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික වෙළදාම ප්‍රවර්ධනය  කිරීමට වත්මන් රජය කටයුතු කරන බව ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී.වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ නිහාල් සමරප්පුලි මහතා, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සීවලී විජේවන්ත මිය, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ ගමානි ලියනාරච්චි මහත්මිය, මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් සාගරිකා දිල්හානි මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
 
නුවර නදීක දයා බණ්ඩාර
 
 
kg weerasinghe

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top