1150 x 80 px

මිය යන්න පෙර - වර්ණ රසිකා ගුණවර්ධන

මිය යන්න හරියටම 
තත්පර දහතුනකට පෙර 
ඔබ ඇවිත් සිටියා 
උසට උසේ 
(ඒ තරම් උස නැති වුනත් වෙනදට) 
කමිසයක්ද නෑඳ හදිසියට .

 

සුදු මවිල් ගස් එක දෙක පපුව 
පැරණි කුරුලෑවක කළු කහට 
නරක්වූ රදනක දත් සමග
හිස පීරන්න අමතකව.

ගියාම පාළුද ඇහුවේ නෑ මම 
අවුරුද්දේ දානෙට 
ඇවිත් ඉඳී අලුත් කෙනෙක් 
බත් උයාගන්න විදියක් නැතුව 
රෙදි හෝදගන්න විදියක් නැතුව 
අහිංසක අසරණ කෙනෙකුට 
පිහිට වෙන චරිතයක් ලියාගෙන.

පරුෂ වචන හා ගුටි බැට  
ලැම ගෙල නළල සීරුම් සහිතව 
නිල් පැහැ ගත් මාංස ඇතිව 
මා බලා සිටියා නික්මෙන්න 
රෝස පැහැ පාණ්ඩු ආලෝකයට
නිහඬ නිශ්චල ගූඨ තැනකට.

කියනවා ඇසුනා වැඩිහිටි ගැහැණුන් 
ඒ ළමයා නොමැරී මැරුණා 
ඒ වුනත් අගේට හිටියා 
වෙන මිනිහෙක් එක්ක නොගිහින් 
වේස කමේ නොගිහින් 
ළමයි දෙන්නත් හදාගෙන 
දෙන දේ පිරිමහගෙන.(අගේට)

සූරන්න හැඩිදැඩි පපුව 
නියපොතු පාරවල් හිටින්න 
අත ඉස්සුවා වුනාට 
සලකුණක් නොතියාම 
පිටත්වුනා මම 
තත්පර දහතුනකට පසුව 
කල්පයක් තරම දිග.

Top