1150 x 80 px

පිං සුවඳ අම්මා - සෞම්‍ය සඳරුවන් ලියනගේ

පිරුවට බඳු ව පිරිසිදුවට හැඳ සොඳිනී
පං මල්ලක් ද අතෙකින් අරගෙන පෙමිනී
පහමාරට අදින ලංගමයට ගොඩ වී
දොරටුව ළඟ ම අසුනක වියපත් මවකී

 

රැළි වැටීගිය දිවියක
වියළි දෙනයන පොකුණකි
සෙනේහය රැඳි විසල් බැල්ම ම 
හදේ කැටපත් කැල්මකි

හැඬුම් - සැනසුම් සම ව ඉවසා
දරා විඳගත් මුහුණකි

මඳක් තැන් ගොසින් කොන්දොස්තර පැමිණ
‘කොහාටද?’ කියා ඈ විමසනු ඇසිණ
‘සිපිරි ගෙදර ළඟට...’ ය යනුවෙන් පැවසූ
ඉතා අහිංසක මුදු ස්වරයක් නැගිණ

ලංගමය ද ඉතා සැරෙන් ඉදිරියටම ඇදුණී
එනමුත් ඒ පරයා මුදු හද දිව යනු දිටිමී
‘හිමිදිරියේ බසයට නැගි පිං සුවඳැති මවුනී,
කිම් ද මෙ‘ගමනට කාරණ? ’ අසනට හිත නැමුණී

* * *

‘පියා, බුහුටි වියෙහි ම අත්හළ බැවිනී
මහා දුකක කිමිදී සෙනෙහස පිදිමී
බොහෝ අඳුරු මොහොතක අසලට පැමිණී
විසල් නපුරකට පුතු හදවත ඇරුණී

මිතුරු සෙනඟ - පිරිවර අඩුවක් නොවිණී
කියා දෙන්ට කෙනෙකුත් අහලක නොවිණී
බොහෝ කරුණු කීව ද හද රැඳි පෙමිනී
තැකීමකුදු නොමැතිව කාලය ගෙවිණී

දිනෙක අඳුරු සවසක සෙනඟක් ආහ
‘කොහිද පුතු? ’ කියා ගුගුලහ; විමසූහ
බොහෝ මිතුරු බිතු සිතුවම් පිටු පෑහ
රැගෙන මහද කරඬුව උන් පිටවූහ

එතැන් පටන් මෙලෙසින් කතරක තනි වී
සියයක් බඳු සොළොස් අවුරුද්දක් ගෙවිමී
අද හෝ හෙට එතැයි ඉවසුම් නැති හදිනී
එනතුරු මග බලා නෙත් රිදවුම් ලදිමී’

* * *

තැනූ විසල්, දුප්පත් රස මසවුල ද
සෙනේහය ද පිරිපත දවනා දිය ද
රැගෙන උදෑසන, ‘අරුණෝදය’ විලස
ඒ යැයි පවුරු මැද මග බලනා ඇස් ය

එබැවින් පිනැති මහතුනි ඉහිළිය නොහෙන
රිදුම ය; ළතැවුල ය; නිවනද මහ දුර ය
අකලට කලල් දියපිට වන් සියපතක
මුදු පෙති සිඹිනු පිණිසය මේ කලබලය

Top