1150 x 80 px

චිත්‍ර තරගය - සමිත බී. අටුවබැන්දෑල

උළා කළු පාට
මුඩුක්කු පෙළ වහන්න.
ඒ හරියේ
උස බැංකු ටික අඳින්න.
.
කුණු කන්ද
පින්සලෙන් අතුගාන්න.
එතැන
මල්වත්ත ඉන්දන්න.
ස්වර්ගය වගේ පේන්න
දේදුන්නක් පායවන්න.
.
අතරමං නොවී
කතරගං යන්න
අධිවේගී පාරවල් අඳින්න.
.
පොළේ ඇවිදින අයගේ
ඩහදිය ගඳ යන්න
කොළයට
හෙමින් සුවඳක් ඉහින්න.
එළවළු මිල ගණන් වහන්න
කුකුල් සායම් ගන්න.
කඳුළු පිහලා
පව්ඩර් දාන්න.
.
පාටක් නැති හෙයින්
බඩගින්න නොඅඳින්න.
තරු හතේ අලුත් හෝටලයට
විදුලිය ගෙනියන්න
ඉක්මනින් රැහැන් ටික අදින්න.
.
කොහොමහරි
හෙට්ටිවීදියක් අඳින්න.
රත්තරං පාටින්
පාට කරන්න.
ඉහළ අහසේ
කැරට් විසිඑකේ සඳ තියා
නගරයම බබළවන්න.
.
අහා !
දැන් චිත්‍රය
පරම පවිත්‍රය.
දිනුම අත ළඟය.
අපේ ම රූප නැතිහෙයින්
බොහොම සුන්දරය !

Top