1150 x 80 px

දොඹගහ යට කෙල්ල! - නදීෂා චන්ද්‍රසේන

මුහුද අද්දර ගෙදරක
කොට දොඹ ගහක් යට
නිල්පාට ගවුමක් හැඳි
පුංචි කෙල්ලෙක් වෙයි
මේ ජීවිතේ,
මට මඟ හැරුණු.

 

කඳ මත ඉති විතරක් ඇති
බූසියක් මෙන් හිසට කොළ ඇති
තැන තැන දුඹුරු ගෙඩි එල්ලෙන
හරි කෙලින් දොඹ ගහකි එය,
මහ ගස් පවා උදුරා දමන
උතුරුකන් හුළඟට
හරි කෙලින් හිඳ මුහුන දෙන.
කොහොමත් මුහුදු හුළඟට
දෙකට නැමෙමින් නැඟෙයි
උස මහත පොල් ගස් වුව
වැටකේ පඳුරු ළපටි කටු කොන්
කෙළින් කර විහිදුවයි
කෙස්ස අරහෙට, මෙහෙට.

කවදා වත් නැවෙනු නැති
හරි කෙලින් දොඹ ගස
බලා ඉන්නේ කෙල්ල දෙස
කොළ බිම දමන්නේ
ඈටම පෙනෙන ලෙස.
කවදා හෝ නගිනු ඇත

දොඹ ගසේ මුදුනට.
පුංචි දොඹ මල් කිණිති
කොළ අතර මතුවේ ඈ පිළිගන්ට.

 

Top