සාද වලටය මාලු අකැමැති ! - M.K.C.P. ශෂීන්

තරු ගනන කොයි තරම් වූවත් හෝටලේ වෙනසක් නැතී


එන ගනන පෙළ පත් හොයන්නට මාළුවන් යන්නේ නැතී
බලෙන් අල්ලා මිසක වතුරට ඔබා දැල් කටු බිලි පිතී
එදා ඉඳලම මාළු කොහොමත් සාද වලටය අකමැතී

අයිස්ලන්තෙත් නොමැති සීතල තියෙන කාමර පෙළ ගැසී
දියෙන් මතු පිට ආපු විගසට සදාදරයෙන් පිළි ගතී

සාදයහි දින උදා වෙන තෙක් පොරෝනා නැතුවම උනත්
අයිස් කැට උඩ ඉන්න සිදුවේ නැතුව කිසි දින නියමයක්

සාදයට පෙර දිනෙහි හවසට කාමරෙන් එළියට ඇවිත්
එක එකා පිට නැගී නෑමයි පළමුවෙන් කළ යුතු වැඩෙත්

උස්ව ඇඹරුනු තොප්පියක් සහ සුදු වතක් හැඳ ගත් කෙනා
තමයි මාළුන් හරිම අකැමැති වෙස් නිරූපන ශිල්පියා

මිරිස් තුනපහ පාට බෝතල් රැසක අතුරා දැවමය
රාක්කය ඇත කාමරේ මේ එයයි මේකප් පෙට්ටිය

පළමුවෙන් එකිනෙකා මාලුන් තෙල් ගගා සම්බාහන
කල පසුව එකිනෙකා හට වෙන වෙනම සළුපිළි අන්දන

මදක් දිගැති වරල් සැලෙන තරුණ මාළු මෙනවියක්
රක්ත වර්ණයෙන් සරසයි සෝස් දමා අපමණක්
අතට ළූණු වලලු දමා කනට කැරට් පෙති දෙකක්
යොදා සරසවා ගත්තයි ගවුම ගෝවා කොල දෙකක්

කාය වඩන තැනකින් ඇඟ හදා ගත්තු මාලුවෙක්
තමයි සාදයේ මුලින්ම කැපී පෙනෙන පිරිමියෙක්
ලීක්ස් කොළ වලින් හදාපු තදට තදේ බැනියමක්
සමග පමණි හැඳ සිටියේ සලාද කොළ කලිසමක්

ක්‍රිස්පි එක්ක ස්පයිසි වෙච්චි කුඩා මාලු ළදැරියන්
කපාපු අල තීරු එක්ක කරපිච්ංචා කොල වලින්
හැඩවෙනකොට සමවයසේ පිරිමි මාලු කොල්ලෙකූ
ෆැන්සි ඩ්‍රෙස් එකක් හැඳ ගති හැඩයට මුතු බෙල්ලෙකූ

සාදයෙ දින උදෑසන සිට දිගම දිග සුදු මේසයක් මත
පිඟන් වීදුරු එක්ක පළතුරු අමුත්තන් දහසක් පැමිණ ඇත

ඌ උනත් හැඳි ගෑරුප්පු තුඩු වලින් ඇනලා කවන එක කිති
තමයි හේතුව මාලු හුඟ දෙන සාද සඳහා යන්න අකැමැති !

 

Top