Untitled 1

වල්ලීඅම්මා සහ කාන්තා දිනය​- මල්ලිකා එම්. බණ්ඩාර​

මැදින් සඳ පතිතවී නිසල හන්තාන මත​
දුහුල් මීදුම් කඩක ළහිරු කෙඳි එතෙන සඳ​
වතල පිණි පොද සෙමෙන් පිසදමන හැඳි වතින්
කසළ රොඩු කුණු එකතු කරන් යන​ බැති සිතින්
වල්ලිඅම්මා නුඹයි

පාළු මාවත් දිගේ ඇවිදගෙන​
රජ වීදියේ කොනක​ අමදිනා
අදත් නුඹෙ ඉදල් හඬ
නිඳි ඇඳෙන් කූද්දා මා අවදි කෙරෙව්වා

සුදු වතින් සැදුන සැදැහැති පිනැත්තන් අතර
නිනද දෙන පසඟතුරු දන්තදා මන්දිරෙන්
​පසඟ පිහිටුවා වැඳ කරඬුවක් වඩම්මන විලාසෙන්
කැඩුණු කූඩය​ අවුල් සිරස මත තියාගෙන
ඉදල් සේසත අතින් දරාගෙන
විමුක්තිය සොයා යන නුඹ දකිමි උදෑසන​

දසක ගණනක් පුරා පුදබිමේ ඇමැදීම​
නුඹට සොච්චමක් දුන් රාජකාරිය සේම​
හිතට නොව කුසට කිසිවක් දෙවූ
අබල​ කුණු කරත්තෙට​
වැව් බැම්ම මත එලන රෝසමල් පාවාඩ​
එකතු කර පිරෙව්වා මේ උදැහැනැක්කෙම​


මැදින් මහ එළඹිලා
මහත් අභිමානයෙන්
හෙළ කතුන් මුළු දෙවූ
කාන්තා දිනයෙදිත්
පුරා හතලිස්වසක් හැමදාම කළ දෙයයි
අදත් නුඹ ඉටුකළේ
කැත් කුල කතක් නොවී, හීන කුළයේ උපන් වල්ලිඅම්මා,
කියාපන්, "කාන්තාවක් වීම අභිමානයක්"
කියා දැනුණාද, හිතුනාද නුඹෙ හිතට​ අදවත්?

Top