මු.....හු.....ද - සුරේඛා සමරසේන

එකින් එක පරයමින් පෙරළෙන රළ ගෙඩි ද
වෙරළෙහි වැදී විසිරෙණ පෙණ කැටි ද
‘මුහුද‘ යැයි හිතන එක නවතා - නැවතුවෙමි
‘මුහුද‘ ට වශී වී ‘මුහුද‘ ගැන කවි ලියුම...


ඉනික්බිති...
ප්‍ර‍ගුණ කරමින් පිහිනීම - පුරුදු කරමින් කිමිදීම
‘මුහුද‘ ඇතුළට පිවිසීමි...
‘නිල‘ හැරුණු කොට වෙනත් වෛවර්ණයන් දැක ගතිමි...
‘රළ‘ වලට වඩා චණ්ඩ ව ‘සුළි‘ ඇති බවත් දැක ගතිමි...
ඉනික්බිති...
ගොඩ අවුත් - දපා වැල්ලෙහි... රත්තරන් පාට වැල්ලෙහි
මහන්සිය නිවා ගත්තෙමි...
‘ලුණු‘ රස දෙතොල් - දිවෙන් පිරිමැද සැනසුනෙ මි...
‘මුතු‘ නැති බෙලිකටු කෑල්ලක - ගෑවී සීරුණු නිතඹ - අතකින් අතගෑමි...
‘මුහුද‘ ඇවිදින් නතර ව - මගේ නිරුවත් පාද පිරිමැද
තබා - තවරා - එහි - පෙණ...
‘ටටා‘ කියමින් යන්ඩ හැරුණා - ‘මුහුද‘ට ම අයිති දියඹට...
නැවතත් වටයකින් රළක් වී - නැඟ එන්ඩ හැකි බවක් කියමින්...
පිහිනමින් - කිමිදෙමින් - ගොඩට ඇදෙමින් - පාවෙමින් - නෑවෙමින්
අනාදිමත් කාලයක් තිස්සේ ම මම ඉන්නෙ වැල්ලක...
‘මුහුද‘ට වශී වී ‘මුහුද‘ ගැන කවි ලියුම නතර කෙරුවා විතරයි...
මට මාව ලුණු රහයි - මට ‘මුහුද‘ ලුණු රහයි...

Top