ලොව ම ගෙන දුන් තාත්තා - නදීරා රත්නායක

සිඟිති දැරියකි
ළපටි දෑගිලි පටලන
ඒ විසල් පා එක්ක
තරඟෙට
බිළිඳු පා පොඩි ඔසවන

"තාත්තා"
විමතියෙනි ඒ දෙනයන
දෑත විහිදා
මග තොට දුවන
විසල් රිය සක ගැන විමසන

අඳුරු විදුරෙන් එපිට
නොපෙනෙන
වෙන ලොවක් ගැන
කුකුසකින් ඈ හද දැවෙන
නලියන

ඔහු ඇය කර මතට ගෙන
හිඳුවා මෙසේ පවසන

දුවේ මේ ඉර හඳ තරු එක්ක
කතා තහනම්
ඒ මහ මිනිස් කුලයට
වළාකුල් අතර නොව
නුඹෙ මෙන
සිහින , කඩදහි අතර ඇත්තේ
දිව රැය ඔවුන් පොරකන

මේ දිය කඩිති වල
අපේ දහදිය කදුළක
ස්වරය ,සිහිලස රැව්දෙන
සීල් කල කළු විදුරු අභියස
ඒ බර කඳුළු ගොළුවන
හඬා ලොවකට
කියන්නට බැරි
බොහෝ දුක් රිය මත යන

නුඹේ ඔය පොඩි දෑත විහිදා
කෙසේ පෙන්විය හැකිද
මේ ලොව නුඹට ඇති
අයිතිය

ගහ කොළ මලෙක සයුරෙක ඉමක
දේදුණු අඟක නොසිඳෙන
ඔය ළපටි හිනාවක හඬට
ඉර මල උදේ ඇහැරින
නුඹ නිදන විට මවුගෙ තුරුලේ
සඳත් තරු දරු නළවන
නුඹට අවනත ලොවක දියණිය
ඔවුන් දින සති ගෙවන ,ගෙනයන..

විස්මයෙන් ඈ දෙනෙත් ලොකුකර
ඔහු කර බදා එල්ලෙන
ලොවම ගෙන දුන් තාත්තා ගැන
සෙනෙහසිනි දළු හදවත..

Top