Untitled 1

බෝ කඳුළු - තනූජා ලුම්බිණි

තිත්ත කළුවර රෙදි පොරවගෙන
එද්දි හැන්දෑ කෙල්ල හිමිහිට
සුවඳ නැති වතුසුද්ද මල් පෙති
මැරිල වැටෙනව මගේ ඇස් උඩ
සුවඳ දුම් රොටු ළපටි බෝ පත්
රිද්ද රිද්දා උඩට යන කොට
අනේ මම මගෙ දුකත් කිව්වා
තරුණ බෝ කොළ බිමට හල හල

බෝ රජුනි අවසර කියාලා
වතුර කළ සිය ගණන් වැටුණා
ළපටි අතු ඉති හිරට හිර කර
දුක නිවාලන පඬුරු බැන්ඳා
පාට කොඩිවැල් නේක මල් වැල්
මගේ බඳ වට නිතර රැඳුණා
මහා දුක් කඳ හිතේ තද කර
හැමෝගෙම දුක් අහන් උන්නා

කඳු ඉරාගෙන වැසි වැටෙද්දිත්
පැන් කළෙන් මම ආයෙ නෑවා
සුදෝ සුදු කිරි මුට්ටි ඇවිදින්
මගේ දෙපතුල් සිඹල දිව්වා
හඳේ රන් කෙඳි වැටුණ දවසක
දේවතා එළි වැඩිය කියලා
පිච්චමල් වැහි ඉලක්කෙට විත්
මගේ ඇඟ පත පුරා පිපුණා

දරා පිරිපත පුරෝගෙන ඇස
තුමුල ගිර සේ බලන් හිටියා
උදේ හවසත් දුකම අරගෙන
උපාසක ඇත්තියන් වැඩියා
ලිහාගෙන උන් සියලු දුක් කඳ
මගේ දුක පුපුරලා වැටුණා
අනේ දුක ඇහු බෝ රජුන් කෝ
කියා උන් හැම දුකෙන් ඇඬුවා

Top