1150 x 80 px

මේ මෙතැන - යශෝධා සම්මානි

මේ මෙතැන,
දම් පැහැති වළා සළු බුම්මගෙන ඉන්න තැන
ඇඬුම් හිරකරගත්තු
පිම්බිච්ච කොපුල්තල මැවෙන තැන
ඒ මතින් රන් කෙඳිති ඇඳෙන තැන
හිනා කට ලිහී හසරැලි පොදක් වැටුන තැන

නිසල වැව් කොපුලතක දඟ හාදුවක් තියන
සුළං හැංගිමුත්තම් කරන තැන
නිල් ගවොම් සායක සිහින් රැළි නැගෙන සැණ
ශීතනය වූ දෙබැම
අයිස් දෙතොලගින් පිරිමැදෙන තැන - හිතේ හීගඩු පිපෙන තැන

බිඳිති දිය වැදී නෙතු බොඳව යන
ඇබිති මින් කැලක් උඩ පනින තැන
කෙහෙ කැරලි ගෙල දෙපස සිඹින තැන
අර අතන
දළු හැළුනු ඉපල් ගිලිගිලී මියැදෙන්න පොරබදන තැන
අසෙනි අකුණක් වැදුන, පපුව අළුවෙච්ච තැන

රිදී දළු වගේ තරු පිපෙන තැන
රිදීමක තියුණු කටු ගර්ත මත ඇනෙන තැන
නිවී ගිය තාරකා එළියක් ඇලුන තැන
මේ මෙතැන
මගෙ හුස්ම වැටෙන තැන

Top