Untitled 1

කුණාටුවකින් අවතැන්වීමත් - සැලැස්මේ කොටසක් (නම්)

එකම කතා පොතක
තවත් පරිච්ඡේද කීපෙකින්
අප හම්බුවීමට නියමිතව තිබිණ- දවසක
වචන පැටලැවෙමින්, ඇඹරෙමින්,
එහෙට මෙහෙට
ඇස් මුණ නොගැසීමට ප්‍රවේසම් වෙමින්,
කතා කරන හැටි
විස්තර වෙන්න නියමිතව තිබිණ

හදිස්සියේ හැමූ කුණාටුවෙන්,
කියවන්නාගෙන් පොත ගිලිහිණ...
සියවස් ගණනක්,
එහෙම්පිටින්ම ශිෂ්ඨාචාර වලින්
අපි වැල්ලට යටව තිබිණ
_________________
කොයි තරම් නම් විශ්මයක්ද,
කියව ගැනීමත් කතාවක හික්මුම
ඒ තරම්මයි විශ්මය,
නොදැන, ජීවයක නික්මුම
_________________
කවුරු කවුරුත් කියවන්න තටමන
කාටවත් කියොගන්න බැරි උන,
කතා පොතක චරිත දෙකක් අප!

එකම පොතක තැන් දෙකක ලතැවෙන

~ හශාන් අබේගුණරත්න

Top