1150 x 80 px

පරමාධිපති කොල්ලය - සුනන්ද රත්නායක

 

ක්‍රමික විකාශනයක් නොවන අපේ රටේ ඉතිහාසයට හඳුන්වා දෙන සර්වජන ඡන්ද බලය සහිත පාර්ලිමේන්තු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මෙරට ජනතාවට ආගන්තුක වූ නුහුරු දෙයක් විය. අවුරුදු දහස් ගණනක් රජෙකුගේ ආධිපත්‍යයට යටහත් පහත්ව ජීවත් වූ ජනතාවකට , තමා වෙනුවෙන් නියෝජිතයෙකු පත් කෙරෙන , ජනතා මතයට වැදගත්කමක් ගාම්භීරත්වයක් එක් කෙරෙන ක්‍රමයක වැදගත්කම හඳුනා ගැනීමට තවමත් නොහැකි වීමෙන් පැහැදිළි වන්නේ කුමක්ද?

එය හඳුන්වා දී සියවසකට ආසන්න වී ඇත. එහෙත් ජනතාවගේ පසුගාමීත්වය , ඡන්දය පාවිච්චිකර පැත්තකට වී බලා සිටිම හේතුවෙන් අනර්ථයන් ගණනාවක් සිදුවෙමින් ඇත. අනික් පැත්තෙන් බලන විට එහි සමාජමය වටිනාකම හඳුනා ගැනීමට පෙර එම නියෝජන ක්‍රමය එපාවන , කළකිරීමට පත් කෙරෙන තැනට තෝරා ගන්නා නියෝජිතයින්ගේ හැසිරීම් රටාවන් බලපා ඇති සැටියක් ද පෙනේ. ධනේශ්වර පක්ෂ කණ්ඩායමක් පමණක් නොව , වාමාංශික ප්‍රගතිශීලි යැයි කියා ගන්නා අය පවා ජනතාව රැවටීමේ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී සිටීම කණගාටුදායකය.

මැතිවරණයක් ආසන්න වන විට ජනතාව වෙත මුදා හැරෙන පෙරොන්දු පත්‍රිකා තොගය හා ඒ වෙනුවෙන් වැය කරන ධනස් කන්දය දෙස බලන විට පොරොන්දු හැරුණුවිට ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් මහජනයාගේ කාර්ය භාරය , ජනතාවට හිමි ස්ථානය නියෝජන ක්‍රමයේ වැදගත්කම පිළිබඳව කිසිඳු දැනුවත් කිරීමක් කිසිවිටෙකත් එම පත්‍රිකාවල අඩංගු නොවේ.

එවැනි දැනුවත්භාවයක් ඇති කරනවාට වඩා ඇතිකරනවාට වඩා එහෙම දැනුමක් ලබා දී“කෙළවා ගන්නවාට වඩා“ නියෝජිත අවස්ථාව ලබා ගැනීමේ තරඟය තුළ ජනතාව මෝඩයන් ලෙස තබාගැනීම තමන්ට වඩාත් වාසි සහගත බව , රවටා ගත හැකි බව ඔවුන් අවබෝධ කරගෙන ඇත. මෑත භාගයේ සිට එම රැවටීම තහවුරු වී ඇත. මේ අන්දමට ඉතිහාසය පුරාම මෙරට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකම පන්දු කෙළින්නාක් මෙන් මහජනතාව සතු පරමාධිපති බලය කොල්ලකෑමට විවිධ උපායන් යෙදූහ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු හඳුන්වා දුන් සහනාධාර ක්‍රමයක් වූ , සහල් සළාකය කූපන් පොත ආණ්ඩු වෙනස් කිරීමට ප්‍රධාන සාධකයක් විය. එම සළාක ක්‍රමය අවසන් වූයේ ‘හඳෙන් හරි‘ හාල් ගෙනත් දෙන පොරොන්දුවත් සමඟිනි.

ඊළඟට පත් වූ ආණ්ඩුව, එනම් ස්වයං ආර්ථිකයක් මගින් ගොඩ එන්නට දැගලූ රාජ්‍යයක් නැවතත් විදේශීය ගොදුරු බිමක් බවට පත් කරමින් ලෝකයට විවෘත කළේ පිනට අත් හැර දැමූ ගොනා මස් කඩයට විකුණුවාක් මෙනි. එපමණක් නොව රාජ්‍ය පොදු දේපළ විකුණාගෙන කෑමටත් මත් ද්‍රව්‍යය කාරයන්ගේ තිප්පලක් බවට පත් කිරීමට මඟ පාදා ගත්තේද , ධාන්‍ය රාත්තල් අටක් දෙන බවට පොරොන්දු වී ජනතාව රවටා ගැනීමෙනි. “ධර්මිෂ්ඨ රාජ්‍ය“ ජන සවිය තවත් ආකර්ශනීය දේවල් විය. එම ධර්මිෂ්ඨ රාජ්‍යයයේ තවත් අතුරු ඵලයක් වූයේ, උතුරු දකුණු ත්‍රස්ත ක්‍රියාවල උපත සිදු වීමයි.

කෙසේ හෝ අවුරුදු 17කට පමණ පසු පත් වූ ආණ්ඩුවේ ආකර්ශනීය පොරොන්දුව වූයේ විධායකයට මානුෂික මුහුණුවර 3.50ට පාන් සහ රැකියා නැති තරුණ තරුණියන්ට රු.25000ක දීමනාවයි.

මේ අන්දමට හැම මැතිවරණයකදීම තම පොරොන්දු පත්‍ර වඩාත් ආකර්ෂණීය ලෙස භාණ්ඩ ලැයිස්තුව ද දිනෙන් දින ක්‍රමයෙන් වැඩි වන්නට වූ අතර අළුත් දේවල් ද එකතු විය. සීනි, පරිප්පු, ටකරං පළු මහන මැෂින් උදළු තළ හා ජංගම දුරකථන මෙන්ම සාමය හා යහපාලනය ද එකතු වී තිබුණි. එහෙත් හිටිය තැනින් මහජනයා පහළටම වැටුණු අතර දේශපාලකයින් වටා සිටි තැරැව්කරුවන් එනම් දේශපාලකයින් වටා සිටි තැරැව්කරුවන් එනම් දේශපාලකයින්ගේ රැවටීම යථාර්ථයක් කිරීමට උරදුන් පිරිස කෝටියට කොඩි දැමීමට සමත් වී සිටිති.

ජනතාවට ලබා දෙන සොච්චම් සහනාධාර ද තමාගේ බූදලයෙන් ලබා දෙන්නාක් මෙන් කටයුතු කළෝය. කෙසේ නමුත් සෑම මැතිවරණයකදීම කළේ ජනතාවට දෙන සහනාධාර ගැන කථා කිරීමයි. ජනතාවගේ ලෙයින් හා දහදියෙන් ඔවුන්ගේ අනාගත සම්පත් හා පරපුර ද උකසට තබා සුර සැප විඳින ඊනියා මහජන සේවකයින් දේශයේ උරුමක්කාරයින් හට සහනාධාර දෙන්නට කතා කිරීම මොනතරම් දුෂ්ඨ හාස්‍යජනක කතාවක්ද?. මෙතුළ සැඟවුණ වහල්භාවය ජනතාවට තේරුම් ගැනීමට නොහැකිවීම අභාග්‍යයකි.

සැබැ ලෙසම ජාතික දේපළෙහි උරුමක්කාරයින් වෙන මහජනතාවට සහනාධාර කුමටද?. ඔවුන්ට අවශ්‍යය වන්නේ ජාතික දේපළෙහි පංගුකාරිත්වයකි. මෙම යථාර්ථය ජනතාවට වටහාගත නොහැක්කේ මුලින් සඳහන් කළ ප්‍රජාතන්ත්‍රවාදය තුළ තම ආගන්තුක බව හා පරාධීනත්වය තුළ වූ නිවට නියාළු භාවය ද?

ඒ වගේම ඡන්දය ගැන කතා කරන සෑම මොහොතකම දේශපාලකයින් කියන්නේ “වටිනා ඡන්දය“ අපතේ නොයවන ලෙසිනි. එහි වටිනාකම කොතෙක් දැයි කිසිම දේශපාලකයෙකු (වමේ හෝ දකුණේ) වටහා නොදෙන අතර ජනතාව කල්පනා කරන්නේ “ඔය කිව්වට කතිර කෑල්ලක වටිනාකම මොකක්ද ? ඕක මොකට දුන්නත් එකයි. “ යන ආකල්පයෙන් තම පාක්ෂිකත්වය හෝ තෝරා ගත් පුද්ගලයන් වෙනුවෙන්ද කළකිරීමට පත්ව සිටින්නන් , කටුගා දැමීමෙන් හෝ ‍ඡන්ද පොළට නොයා සිටීමට පුරුදු වී සිටිති.

බොහෝ ජන කණ්ඩායම් පොරොන්දු පත්‍රයේ අඩංගුව අනුව වැඩියෙන් බොරු කියන කණ්ඩායමට හෝ තමාගේ විරුද්ධ පිළේ සිටින මැරයාට මුහුණ දිය හැකි තම පක්ෂයේ චණ්ඩියාට හෝ කතිරය ගසති. ඊට එහා වටිනාකමක් ඔවුන් නොදනිති. එහෙත් සැබෑ ලෙසම එතන සිදු වන්නේ කුමක්ද?. අප සහනාධාර මල්ලට රැවටී හෝ නොරැවටී හෝ කතිරය ඡන්දය, පරමාධිපති බලය පැවරීම සමඟ සිදු වන්නේ කුමක්ද?

බාල පොරොන්දු පත්‍රයකින් මොවුන් ලබා ගන්නේ රට සහ රාජ්‍යයයි. අවුරුදු පහකට හෝ හයකට අප කතිරය ගසා පවරා දෙන්නේ මේ රට සහ රාජ්‍යයයි. එනම් කතිරය පරමාධිපති බලය= රට රාජ්‍යය ඒ වගේම රාජ්‍යයයේ වටිනාකම = කතිරයට. කතිරයේ වටිනාකමයි රාජ්‍යයයේ වටිනාකම. රාජ්‍යය වටිනාකම කොතෙක්ද?. මොහොතක් කල්පනා කර බලන්න. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ මහජනයා සිරවී සිටින උගුල මෙයයයි. රටක් රාජ්‍යයක් වටිනා ඡන්දය රවටා ගන්නේ හාල් පරිප්පු පාන් සහ ටකරන් පොළු වලට බව වටහාගත නොහැකිද?. ඔවුන්ගේ කුරිරු අභිප්‍රාය තේරුම්ගත නොහැකිද?. බොහෝ වේලාවට එම පොරොන්දු පත්‍ර වල අඩංගු දෑ කිසි විටෙකත් ඉටු නොවන දෑය.

“වටිනා ඡන්දය“ ගැන ඔවුන් දන්නා නිසා එය වසංකොට ජනතාවට සහනාධාර දෙන්නට කතා කරන ඔවුන් හෝ සූක්ෂම කපටිකම කොතෙක්ද යන්න වටහාගත හැකිද?. බස් කාරයින්ට මගියා කෑල්ලක් වන්නා සේම දේශපාලකයාට ජනතාව ඡන්ද කෑළි පමණි. එසේ පවරා ගන්නා රාජ්‍යය මංකොල්ල කෑමෙන් දේපළක් ලෙස හා කතිරය ගසා ඒ තැන ලබා දුන් ජනතාවට සළකන හැටි අවුරුදු හැත්තෑවක අත්දැකීම් ඔබට ඇත. කතිරය ගසා එම කොළ කෑල්ල ඡන්ද පෙට්ටියට දැමීමෙන් පසු ජනතාවගේ අයිතියත් පරමාධිපති බලයේ වටිනාකම ශුන්‍යය වී යයි. ඊට පසු තත්වය ඉතා ශෝචනීය එකකි. එතැන් සිට කළ හැකි වන්නේ සුසුම් ලෑම හා කඩපිළවල්වල සිට බැන වැදීම පමණි. කරුමය කියන්නේ ඒ අන්දමට නැවත නැවතත් රැවටීමයි. අවුරුදු 70ක් තිස්සේ රැවටීම අදහාගත හැකිද?.

ඒ අන්දමට නැවත නැවතත් රැවටීමට ලක් වන්නේ වෙනත් විකල්පයක්- ප්‍රජාතන්ත්‍රීය විකල්පයක් හඳුනාගෙන නොමැති බැවිනි. එමෙන්ම මුලින් සඳහන් කළ ආගන්තුක බව හා පරාධීනත්වයේ සෙවනැළි තවමත් හොල්මන් කරන බැවිනි. එබැවින් ප්‍රජාතන්ත්‍රය තුළ එනම් නියෝජිත ප්‍රජාතන්ත්‍රය තුළ ජනතාවගේ ස්වාමීත්වය කෙළසා දැමීමට හැකි වී ඇත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රය තුළ ජනතා කාර්ය භාරය හෝ ඡන්දය පරමාධිපති බලයේ ඇති වටිනාකම පිළීබඳ දැනුම අල්ප නිසාය. කතිරය ගසා පැත්තකට වී සිටීමෙන් හෝ පාරවල් දිගේ උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීමෙන් හෝ ලබා ගත හැකි සහනය අල්පය.

මේ රටේ ස්වාමිවරු ලෙස තේරුම්ගත යුතු ප්‍රධානම කරුණ වන්නේ තම නියෝජිතයා වෙත බලය පැවරිය යුත්තේ ඒ ඒ කපටීන් විසින් ඉදිරිපත් කරන ලද පොරොන්දු පත්‍රයකට නොව ඒ ඒ ජන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන වැඩ සැළැස්මකට ගිවිසුම්ගතව එකඟ කරවා ගැනීමෙනි. පහසු නැත- ඒ ගැන අළුතින් කල්පනා කළ යුතුය. මේ රටේ ස්වාමිවරු මහජනයා නම් මහජනයා වෙතින් තම සේවකයා වෙත වැඩ පැවරිය යුතුය. මෙතෙකේ අප ගමන් කරමින් සිටින්නේ බූරුවා මත පැටවූ බඩු සමඟ බූරුවාද කනපිට තබා යන කනපිට හැරුණු මාවතකය. අවුරුදු දහස් ගණනක් සැබෑ වහල්භාවයේ සිට ප්‍රජාතන්ත්‍රය තුළඳ අවුරුදු හැත්තෑවක අර්ධ වහල් භාවයෙන් ගැලවීම පහසු නැත. එය තවත් උග්‍ර වී ඇත්තේ දැන උගත් යැයි පිරිසද පක්ෂ වලට බෙදී ගොම්පස් අල්ලමින් දේශපාලකයින් පසු පස යන බැවිනි.

රටේ හිමිකාරයින්, ස්වාමිවරුන් වන මහජනතාව පක්ෂ දේශපාලනයෙන් ඉවත් වී තම නියෝජිතයා -සේවකයා තෝරා පාර්ලිමේන්තුවට , පළාත් සභාවට හා පළාත් පාලන ආයතන වලට යැවිය යුත්තේ රට ගොඩ නගන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට මිස නියෝජිතයාගේ හත්මුතු පරම්පරාවේ ගිණුම් තරකිරීමට නොවන බව තරයේ සිතට ගත යුතුව ඇත. ඒ සඳහා සුදුසු පියවරයන් ගැනීමට කාලය පැමිණ ඇත. එවිට ජනතා පරමාධිපතිබලය පමණක් නොව රට කොල්ල කෑමද නතර වෙනු ඇත.

Top