1150 x 80 px

රවි කරුණානායක යහපාලන මුහුණේ දැළි ගෑම

 

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිට ක්‍රියාවට නැගීමට බලාපොරොත්තු වූ සෑම ප්‍රගතිශීලී පියවරකටම එරෙහිව යම් ප්‍රබන්ධයක්/බොරුවක් සමාජගත කිරීමට රාජපක්ෂ කඳවුර උත්සාහ කෙළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට අද දක්වා මේ ආණ්ඩුව කරන ලද සෑම යහපත් දෙයක් ගැනම, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ ගැන පවා, වැරදි චිත්‍රයක් මවා පෑමට එම කඳවුර නොගත් උත්සාහයක් නැත. එහෙත් ඔවුන්ගේ එම ප්‍රයත්නයන් එදා සාර්ථක නොවුණි. ඊට හේතුව, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය වැනි කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව නොසැලෙන ප්‍රතිපත්තියක පිහිටා සිටීමත්, දැඩි අධිෂ්ඨානයකින් යුතුව විපක්ෂයේ එම අභියෝගයන්ට මුහුණදීමත් ය.

මේ ශක්තිය සහ තිරසර භාවය කාලයාගේ ඇවෑමෙන් හීන විය. විශේෂයෙන් අගමැතිවරයාගේ පාර්ශ්වය සහ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අතර පවතින ප්‍රතිපත්තිමය සහ දෛනික නොපෑහීම් සමනය කර ගැනීම සඳහා, මුල් කාලයේ පක්ෂ නායකත්වය විසින් දෙන ලද ආදර්ශය පසු කලෙක දකින්ට නොවිණ. එහි ප්‍රතිඵලය වුණේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති කෙරෙහි ආණ්ඩුව ඇතුළෙන්ම මතුවන ප්‍රතිවිරෝධතා අනවශ්‍ය අන්තයන් වෙත තල්ලු වී යාමයි. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එය අපට දැක ගැනීමට ලැබුණි. සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් එය තවමත් පෙනෙන්ට තිබේ. මතු වන ප්‍රශ්න තමන්ගේ ග්‍රහණයට ගැනීම වෙනුවට පසු කලෙක ආණ්ඩුව කරන බව පෙනෙන්ට තිබුණේ ප්‍රශ්නවලට ඉබාගාතේ යාමට ඉඩ හැරීමයි. ඒ හේතුවෙන් කෙමෙන් මේ ආණ්ඩුවේ ශක්තිය පිළිබඳ නරක චිත්‍රයක් ජනතාව අතරේ මෝදු විය. මෙය, කිසිවක් කරකියාගත නොහැකි ආණ්ඩුවක් වශයෙන් සාමාන්‍ය ජනතාව සිතන්ට වූහ. ආණ්ඩු නොකරන ආණ්ඩුවක් තුළ කෘත්‍රීම අර්බුද ඇති කිරීම ඉතා පහසු ය. මේ සමස්ත ගොඩනැංවීම සිදුවන්නේ, මේ ආණ්ඩුව විසින්ම සකසා දෙන ලද ප්‍රජාතන්ත්‍රීය අවකාශය තුළ වීම එක්තරා උත්ප්‍රාසයකි. අර්බුද ඉදිරියේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීම යහපත් වුවත්, එය තමන්ගේ චරිත සහතිකයේ යහපත් ලක්ෂණයක් වශයෙන් තොරොම්බල් කළ හැකි වෙතත්, ඒ මගින් අදාළ අර්බුද විසඳෙන්නේ නැත.

මහබැංකු බැඳුම්කර වංචාව හෙළිදරව් වන තෙක්, අංග සම්පූර්ණ සදාචාරමය හයියක් යහපාලන ආණ්ඩුවට තිබුණි. විශේෂයෙන්, මහින්ද රාජපක්ෂගේ දූෂිත සහ සාපරාධී තන්ත්‍රයේ අතීත අත්දැකීම් ඉදිරියේ අලුත් පාලකයන්ගේ ආරම්භය ඉතා ශක්තිමත් විභවයකින් යුක්ත විය. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඇතුලු නව දේශපාලනික කුලකය පිරිසුදු, අවංක ප්‍රපංචයක් වශයෙන් ගැනීමට ජනතාව ඉත සිතින් සූදානම්ව සිටියහ. එහෙත් මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට ආණ්ඩුව පස්ස ගැසූ සෑම දවසක් පාසාම, මේ ආණ්ඩුවේ සුපිරිසුදු භාවය පිළිබඳව ජනතාව ඇති කරගෙන සිටි අපේක්ෂා සිඳී බිඳී ගියේය. විශේෂයෙන් අගමැතිවරයා විසින් ඉතා ළාමක ආකාරයෙන් හිටපු මහබැංකු අධිපතිවරයාව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීම තුළ, නව ආණ්ඩුවේ අවංක භාවය පිළිබඳ පැවති මහජන විශ්වාසය පළුදු විය. ඉන් සිදුවුණේ, මහින්ද රාජපක්ෂ කඳවුරට එරෙහිව පාවිච්චියට ගත හැකිව තිබූ අවියෙන් විශාල පදාසයක් තමන් විසින්ම මොට කර ගැනීමයි.

මෙය තවත් හේතුවක් නිසා තවත් උග්‍ර කෙරුණි. මහ පරිමාණ දූෂණ සහ අපරාධවලට සම්බන්ධ රාජපක්ෂ රෙජිමයේ ඇත්තන් කෙරෙහි මේ ආණ්ඩුව ඉතා ලිහිල් සහ ලිස්සන සුළු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව වසං කිරීම සඳහා මොන තරම් විද්වත් සහ නීතිමය තර්ක විතර්ක ඉදිරිපත් කළත්, ජනතාව ටිකෙන් ටික එක දෙයක් නොවලහා තේරුම් ගත්හ. එනම්, ඇත්ත වශයෙන්ම පැවතිය හැකි නීතිමය බාධකයන්ට අමතරව, මේ ආණ්ඩුවේ ප්‍රධාන පුද්ගලයන් ගණනාවක් යම් ආකාරයකින් රාජපක්ෂ අතීතය සමග මිතුරු සන්ධානගතව සිටින බවයි. එය, හුදෙක් මේ දෙපාර්ශ්වය අතර කාලයක් තිස්සේ පැවත ආ මිතුරු සම්බන්ධකම් නිසා විය හැකිය. නැත්නම්, අනාගත (2020) දේශපාලනික සැලසුම් සඳහා ගොඩනැගෙන යටිකූට්ටු උපාමාරු නිසා විය හැකිය. ඒ සියල්ලටමත් වඩා, රාජපක්ෂලාගේ දූෂණයන් සමග වර්තමාන නායකයන්ට ඇති යම් නෑකමක් නිසා විය හැකිය. මේ අවසානයට කී හේතුව, අපේ වර්තමාන කතාවට අදාළ ය.

අර්ජුන් ඇලෝසියස්ගේ ව්‍යාපාරික ලෝකය ගොඩනැගී ඇත්තේ දේශපාලනික අනුග්‍රහය මත ය. දැනට පෙනෙන්ට ඇති පරිදි, ඉතා කෙටි කාලයකින් අධික ලාභ ලබා ගත හැකි ව්‍යවසායක් ඔහු ‘ජාවාරමක්’ බවට පත්කරගෙන ඇත. එය, ආණ්ඩුව කරවන මහ තැන්වල අනුග්‍රහයකින් තොරව කරගෙන යා නොහැකි ජාවාරමකි. මහින්ද රාජපක්ෂගෙන් ඔහු ලැබූ අනුග්‍රහය මේ ආණ්ඩුවෙනුත් ඔහුට ලැබී තිබේ. ඊට ප්‍රති-උපකාරයක් වශයෙන්, බලය හොබවන තැන්වලට විවිධාකාරයෙන් ‘සැළකීම’ ස්වභාවයයි. එබැවින්, රවි කරුණානායකට ‘උදව්’ කළ ආකාරයෙන්ම මේ කියන අර්ජුන ඇලෝසියස් රාජපක්ෂ කාලයේ බලය හෙබැවු තවත් බොහෝ දෙනාටත් ‘උදව්’ කර ඇති බවට සැකයක් නැත. යම් ව්‍යාපාරිකයෙකු තමන්ගේ ධනයෙන් තවත් කෙනෙකුට උදව් කිරීමේ වරදක් නැත. එහෙත් ව්‍යාපාරික ධනය යනුවෙන් මෙහිදී ගැනෙන්නේ අයථා අයුරින් කොල්ලකෑ මහජන මුදල් නම්, උදව් කරන්නා සේම උදව් ලබන්නා ද, අප හඳුනාගත යුත්තේ දූෂිතයන් වශයෙනි.

මාස අටක කාලයක් තිස්සේ තමන්ගේ ගෙවල් කුලිය අර්ජුන ඇලෝසියස් විසින් ගෙවූ බවක් තමන් දැන නොසිටියේ යැයි රවී කරුණානායක කියන විට ඔහු කරන්නේ රටේ ජනතාවගේ බුද්ධියට කෙල ගැසීමකි. අපේ ජනතාව පහසුවෙන් රැවටෙන ජන සමූහයක් බව ඇත්ත. එහෙත්, ඔවුන් තණකොල කන, පුන්නක්කු බොන සත්ව වර්ගයක් වශයෙන් ගැනීම සමාව දිය නොහැකි වරදකි. ඊටත් වඩා, තමාගේ බිරිඳ සහ දියණියන්, තමාගේ දේශපාලනයට ඈඳුණු (මහ බැංකු බැඳුම්කර වංචාවට ඈඳුණු) පුද්ගලයන් සමග ඇති කරගත් දීර්ඝ කාලීන ගනුදෙනුවක් ගැන තමන් නොදන්නේ යැයි කීම තුළ රවි කරුණානායක ස්වාමි පුරුෂයෙකු සහ පියෙකු වීමටත් නුසුදුස්සෙකු බව කියාපායි. අප මේ කතා කරන්නේ, බිරිඳ සහ දියණියන් උදේට කෑමට ගත්තේ කුමක්දැ යි තමන් නොදන්නා බව කියන සැමියෙකු හෝ පියෙකු ගැන හෝ නොවේ. මාස අටක් තිස්සේ වෙනත් කෙනෙකු විසින් කුලිය ගෙවන ලද සුඛෝපභෝගී නිවසක පදිංචිව සිටි ප්‍රධාන පෙළේ දේශපාලඥයෙකු ගැන ය. ඒ මාස අටේ ගෙවල් කුලිය ගෙවූ තැනැත්තා, මහ බැංකුවේ මහ පරිමාණ බැඳුම්කර වංචාවක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටි තැනැත්තෙකු බව තමන් නොදන්නා බව කියන රටක මුදල් ඇමතිවරයෙකු ගැන ය.

රවි කරුණානායක ප්‍රිය කරන ටයි-කෝට් සම්ප්‍රදාය තුළ ආරක්ෂා කරගත යුතු අවම සදාචාරයක් තිබේ. ෆෑන්ක 20,000 ක මුදලක් පොළී රහිතව ණයට දුන් මිතුරෙකුට, ඉන් වසර විස්සකට පසු, රජයේ කොන්ත්‍රාත්තුවක් පැවරුවේය යන අභූත චෝදනාවක් කැලෑ පත්තරයකින් එල්ල වුණු විට ප්‍රංශයේ හිටපු අගමැතිවරයෙකු කෙළේ ඊට පසුව දාම හිසට වෙඩි තබාගෙන ජීවිතය නැති කර ගැනීමයි. මරණයෙන් පසුව ඒ ගැන පත්කරන ලද පරීක්ෂණ කොමිසමේ වාර්තාවට අනුව, මේ කියන අගමැතිවරයා මොන විදිහකින්වත් අර කියන මිතුරාට කොන්ත්‍රාත්තුව පැවරීම අරභයා කිසි ලෙසකින් මැදිහත්ව තිබුණේ නැත. එහෙත්, තමාගේ ආත්ම ගෞරවයට එල්ල වූ ඒ මාරක ප්‍රහාරය විඳ ගැනීමට බැරි තරමට මේ කියන අගමැතිවරයා සංවේදී විය. රවි කරුණානායක ඇතුළු අපේ දේශපාලඥයන්ගෙන් පිහාටු අපේක්ෂා කිරීමට තරම් අපි අඥානයෝ නොවෙමු. එහෙත්, ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට, 2015 ජනවාරියේ මේ රටේ ජනතාව අපේක්ෂා කළ යහපාලනය රැක ගැනීමේ වගකීමක් ඇති බව නොසළකා සිටීමට පුලුවන් කමක් අපට නැත. පහත සඳහන් කතාව කියන්නේ ඔවුන්ගේ දැන ගැනීම සඳහා ය.

අපට වඩා හත් ගව්වක් ඉදිරියෙන් සිටින ප්‍රංශය පැත්තකින් තියන්න. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් අපට වඩා හත් ගව්වක් පස්සෙන් සිටින අපේ කලාපයේ පකිස්තානය ගන්න. එරට අගමැති නවාස් ෂෙරීෆ්ට පසුගිය සතියේ තනතුර අතහැර ගෙදර යන්ට සිදු විය. පාකිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ තරම් පුෂ්ටිමත් නැත. එරට නිදහසෙන් පසු වැඩිම කාලයක් ගත කොට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් යටතේ නොව, ඒකාධිපති පාලකයන් යටතේ ය. ලංකාව කිසි දවසක ඒකාධිපති ක්‍රමයක් යටතේ පාලනය වී නැතුවා පමණක් නොව, නිදහස ලැබීමටත් පෙර සිටම ප්‍රජාතන්ත්‍රවාදයේ දැඩි පෙර පුහුණුවක් ලබා සිටි රටකි. ඉතිං එවැනි රටක නීතිය සහ අධිකරණය වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ මුල්ගල් පකිස්ථානයට වඩා ශක්තිමත් විය යුතුව තිබේ.

පාකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ්, ඩුබායි රටේ යම් සමාගමකින් ලද ආදායමක් පසුගිය මැතිවරණයට ඉදිරිපත් වීමේදී තම වත්කම් ගිණුම් තුළ ඇතුළත් නොකිරීමේ වරදට අධිකරණය මගින් ඔහුව පසුගිය දා වරදකරු කරනු ලැබිණි. ඔහු ‘වංචනික’ බව කියා සිටි අධිකරණය රටේ අගමැති ධුරය හෙබවීමට ඔහු නුසුදුසු බව කියා සිටියේය. ඒ අනුව ඊට පසුව දාම ඔහු තම තනතුරින් ඉල්ලා අස් විය. මේ සමස්ත සිද්ධිය පාකිස්තානයේ නීතිය ඉදිරියට පමුණුවා විභාග කොට අවසාන විනිශ්චයක් දීමට ගතවුණේ අවුරුද්දක් තරම් කෙටි කාලයකි. එහෙත් ලංකාවේ ඇති වී යැයි කියන මහ පරිමාණ දූෂණ සිදුවීම් කිසිවක් අද වන තෙක් කිසිවෙකු වරදකරු කරමින් නිමාවකට පත්ව නැත. බැසිල් රාජපක්ෂ වැනි අය කරන ලද සොරකම් සම්බන්ධයෙන් ඇසෙමින් පවතින නඩු කල් යන්නේ මාස 6-9 වැනි දීර්ඝ කාලවලිනි. තමන්ගේ වත්කම් හෙළි නොකිරීම මත පකිස්ථානයේ දේශපාලඥයෙකුට අගමැති ධුරය අහිමි වෙද්දී, ලංකාවේ වත්කම් හෙළි නොකිරීමේ වරදට අපේ දේශපාලඥයෙකුට දෙන ලද දඬුවම වුණේ රුපියල් දෙදහසක දඩයකට යටත් කිරීම පමණි. එය ද, අවුරුදු දෙකක වත්කම්-බැරකම් ප්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධයෙනි. එනම්, එක වසරකට රුපියල් දහසක දඩයක්/

දූෂණය යන ප්‍රපංචය රාජපක්ෂ උරුමයක් මිස, සිරිසේන හෝ වික්‍රමසිංහ උරුමයක් නොවන බව ඔප්පු කළ යුත්තේ වෙන කවුරුවත් නොව, එම දෙන්නාම ය. ඔවුන් එම වගකීම ඉටු නොකරන තාක් කල්, මෙය රාජපක්ෂලාට පමණක් සීමා වන ප්‍රශ්නයක් නොවන බවත්, යහපාලනය ඇතුලු රටේ සමස්ත දේශපාලන දේහයම දූෂණයේ තිඹිරි ගෙයක් බවත් ජනතාව තේරුම් ගනු ඇත.
එය ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේ අනාගතයට සේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ශිෂ්ටත්වයේ අනාගතයටත් හානිකර වන්නේය.

ගාමිණී වියන්ගොඩ

Top