1150 x 80 px

බෙල්ජියමෙන් මුල්ලිවයික්කාල් වෙත පාඩමක්

 

හරියටම මෙයට අවුරුදු සියයකට පෙර බෙල්ජියමේ පැෂන්ඩේල් භූමිය පුරා රුහිරු ගලා ගියේය. පන් ලක්ෂයක් දෙනා මරා දැමුණේ මෙහි ය. සිව් මසක සටනකදී මනුස්ස ප්‍රාණ හරියටම මිලියන භාගයක් ලොවට අහිමි වුණේ මෙහිදී ය.

යිප්රිස් හි තුන්වන සටන යනුවෙන් එදා හැඳින්වුණු ඒ සටන 1917 ජූලි 31 වැනිදා පටන් ගෙන ඒ වසරේ නොවැම්බරය දක්වාම සිදුකෙරුණේය. මේ ශාපලත් අඳුරු සමයේ සති ගණන් එක දිගට වැසි වැස්සේය. එයින් නිමක් නැති මඩ වගුරු තැනුණේය. දහස් ගණන් දෙනා ඒ මඩවගුරුවල ගිලී මැරුණේය.

අද මෙතැන තිබෙන්නේ ධවල ශිලා ස්ථම්භ දහස් ගණනක් වුවද එදා ඒ සටන් බිම එකම මඩ වගුරක් විය. මේ සටනේදී අතුරුදන් වූ ගණන පමණක් පණස් හතර දහසකි. පෂාන්ඩේල් හෙවත් ඇතැම්විට කියන පරිදි ‘පැෂන්ඩේල් සටන’ සිදුකෙරුණේ මිත්‍ර පාක්ෂික හමුදාව සහ ජර්මානු අධිරාජ්‍යය අතර ය.

බෙල්ජියමේ පිලිපේ රජු, චාල්ස් කුමරු, විලියම් කුමරු සහ අගමැතිනි තෙරේසා මේ පැෂන්ඩේල් වෙත පැමිණ පළමු ලෝක යුද්ධයේදී එසේ දිවිපිදුවන්ගේ ‘ධෛර්යයට සහ නිර්භයත්වයට’ තුති පිදූහ. චාල්ස් කුමරු මෙසේ කීය. “අප ඔවුන්ව සිහිපත් කරන්නේ ජීවත් වූවන් සහ මළවුන්ගේ බර පොළොවට දෙමින් ඇද හැළෙන වර්ෂාවට හෝ ඒ වැස්සෙන් තෙත්වී මළවුන් පොළොවට ගිලගත් මඩ කඳ වෙනුවෙන් නොවේ.”

මළවුන් සැමරිය යුත්තේ ඇයි? ඔවුන්ගේ ධෛර්යට එසේ තුති පිදිය යුත්තේ ඇයි? විශේෂයෙන්ම එසේ මිය ගිය වුන් අතර සතුරු හමුදාව සිටින විට එසේ කළ යුතුද? මිත්‍ර පාක්ෂික හමුදාව මෙන්ම ජර්මානු සොල්දාදුවන් ඒ ලක්ෂ පහට ඇතුළත් වන විට එසේ කළ යුතුද...?

පැනයක් අසමි. සකල සත හට පතළ මෙත් කරුණා ගුණය ගැන පම්පෝරි ගසන, සිංහල බෞද්ධ යැයි පුරාජේරු ගසන, ‘සක්වළටම ඇසෙන්නට’ තුන් තිස් පැයේ බුදු බණ ගයන මේ රටේ ජීවත් වන අප මැයි 18 වැනිදාට ‘අපේ වීරෝදාර රණවිරුවන්’ සමරනවා විනා සටනේදී මියගිය එල්ටීටීඊ සටන්කාමීන් ගැන වැරදීමකින්වත් වචනයක්වත් කියනවාද? එතරම් දුරක් යා යුතු නැත. අප ජීවත් වන්නේ මුල්ලිවයික්කාල් හිදී මියගිය ඥාතීන් සමරන්නට ඔවුන්ගේ නම් එබ්බවූ ගල් කැට ටික වෙත යාගන්නට බැරි වන්නට උසාවි නියෝග ගත් රටක ය. යුද්ධ කාලයේ හමුදාව සමග ගොස් ඊනියා මාධ්‍යවේදීන් යුධ පුවත් වාර්තාකරණයේ යෙදුණු රටක ය. මිනිසුන් මැරුණු විට එක්දින ක්‍රිකට් තරගයක ශතකයක් වාර්තා වූ ලෙසින් “තවත් සීයක් ඉවරයි” යනුවෙන් ‘රණබිමේ’ සිට ප්‍රවෘත්ති ශිර්ෂපාඨ ගෙන ආ කුජීත මාධ්‍ය සංස්කෘතියක් තුළ ය.

බෙල්ජියමේ තිබෙන පැෂන්ඩේල් වැනි බිමක් අපේ රටේ ද වෙයි. මුල්ලිවයික්කාල් එහි එක් කොටසකි. පැෂන්ඩේල් වෙත මහ වැසි වැස්සා සේ එදා මේ බිමට එදා වැස්සේ ෂෙල් වෙඩි වැස්සකි. මාස හයක් තිස්සේ ඊනියා යුධ මුක්ත කලාපය නමැති සෙවණ සොයා හිසට සෙවණක් නැති මහපාරක් දිගේ බල්ලන් බළලුන් සේ හව්හරණක් නැතිව ඇදී යමින් සිටියේ දමිලයන් ය. නොහොත් අපේ සහෝදරයන් ය. ඇතැම්විට ඒ ගණන එක්ලක්ෂ අසූ පන්දහසේ සිට ලක්ෂ හතරක් දක්වා වන්නට ඇත. මේ මහා මනුස්ස ප්‍රාණීන් රොත්ත, මාස හයක් තිස්සේ ගෙවා දමමින් සිටියේ කිලෝමීටර 16 ක් වැනි ‘මහා දුරක් නොවන මහා දුර’කි. ඔවුන්ගේ ගමනාන්තය ඊනියා ‘යුධ මුක්ත කලාපය’ (නෝ ෆයර් සෝන්) නම් විය. යුධ මුක්ත කලාපය කෙසේ වෙතත් ඒ වෙත යන ගමනේදී ඔවුන් මතට දස අතින්ම ෂෙල් වෙඩි වැස්සක් ඇද හැළුණේය. එල්ටීටීඊ භටයෝ එක් පසෙකින් ද හමුදාව තවත් පසෙකින් ද මේ මිනිස් පලිහ කටගැස්මට ගෙන සිටියහ. ජාත්‍යාලයෙන් ඔද වැඩුණු ඔබ මේ කියවා කුපිත වන්නට ඉඩ තිබේ. නමුත් කළ යුත්තේ එය නොව සාමාන්‍ය සිවිල් වැසියෙක් ලෙස, දැන්වත් කිලිනොච්චිය හෝ යාපනය වෙත ගොස්, එදා එහි සිට ආශ්චර්යයකින් මෙන් පණ බේරාගත් මිනිසුන් හමුවීම ය. ඒ සය මස තුළ දළ වශයෙන් මළ මිනී කීයක් සියතින් හෑරූ වැලි පොළොව තුළ වළදැමුවාදැයි ඔවුන්ගෙන් ඇසීම ය. මළ මිනී කුණුවීම නිසා නැගුණු ඒ දුර්ගන්ධය තවම දැනේදැයි ඇසීම ය. පවුලේ අයවලුන්ගෙන් කී දෙනෙක් අන්තිමට ඉතිරි වී සිටියාදැයි ඇසීම ය. මන්නාරමේ තෙවිපුරම් වැනි අතිශය ඈත දුරබැහැර සිට මේ පාර එදා පයින් යමින් සිටියේ බාගෙට පණ සිඳුණු මිනිස් ඇටසැකිළි බව ට ජීවමාන සාක්ෂි බොහොම ය. නමුත් අපේ ‘මහජාතියේ’ ලාදුරු රෝගියෝ අවසන් සටන ගැන කයිවාරු ගසමින් තවමත් කලින් කලට රණවිරු පොත් ලියති...! යුද්ධයකදී ප්‍රථමයෙන් මිය යන්නේ සත්‍යය බව විශ්ව න්‍යායයි.

මේ කතාවේ අවලස්සනම ජවනිකා මැවෙන්නේ මීටත් පසුව ය. එක් පසෙකින් ‘අපේ රණවිරුවන්ව දංගෙඩියට දක්කන්න මං ඉඩ දෙන්නෙ නෑ” යැයි නියම මොහොතේ හදිසියේ ප්‍රාදූර්භූත වී සිංහල බෞද්ධ ඡන්ද කඩන නායකයන් ය. අනෙක් පසින් ‘මළත් නොනැගිටිමි’ යි කියමින් කලාන්තය දැමුවා සේ උපවාස කරන මානසික රෝගීන් ය. පෙර පිළියෙළ කර ගත් පිටපතකට අනුව මීඩියා සමග පැමිණ එවැනි වංශලාගේ කටට වතුර වත්කරන හිට්ලර්ලා ය.

සැබවින්ම හිට්ලර් නමැති චරිතය බිහිවන්නේ පළමු ලෝක යුද්ධයෙන් ලෝකය පාඩම් ඉගෙන නොගත් නිසා ය. ඒ පාඩම, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉගෙන ගන්නට කල් තැබීම නිසා ලෝකයට යුදෙව් ජීවිත ලක්ෂ හැටක්ම අහිමි කරගන්නට සිදුවිය. එවැනි මනුෂ්‍ය සංහාර සමග තුන්වන ලෝක යුද්ධයක් සිදුනොවීම පිණිස අවසානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජගත් සංවිධාන පිහිටුවාගන්නට ලෝකයට සිදුවිය. යුධකාමීන්ට ඒවා පවා ආසාත්මික ය. යුධ විරෝධීන්ව ඔවුන්ට ඊටත් වඩා ඇලජික් ය.

මහත්වරුනි, පැෂන්ඩේල් වේවා, අවුට්ස්විච් වේවා, මුල්ලිවයික්කාල් වේවා, එදා ඒ මැරී වැළළුනේ බල්ලන් බළලුන් නොවේ. මනුස්ස ප්‍රාණීන් ය. බල්ලන් බළලුන් වුණත් මේ ලෝකයේ එකදු ප්‍රාණියෙක් හෝ එසේ මිය යා යුතු නොවේ. ඒ වේදනාව වේදනාවම ය. අහිමිවීම අහිමිවීමම ය. ඒ බැව් නොදන්නා සේ සිටීම නොමිනිස් කමම ය.

-ක්‍රිෂාන්ති රාජපක්ෂ

Top