1150 x 80 px

හිපියන්ගේ ස්වර්ග රාජ්‍යය ද මේ..?  නීති නැත. සීමා මායිම් නැත. ප්‍රශ්න ද නැත...!

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පිහිටා තිබෙන වෙන ම ලෝකයකි. හිපියෝ ද, නීතියෙන් පලා යන්නෝද, මතට ඇබ්බැහි වූවෝ ද, සංගීත කාරයෝද, දෙලොවට ම නැත්තෝද ප්‍රේමවන්තයෝ ද මෙහි ජීවත් වෙති. මෙහි ජීවිත පුදුමාකාර ය. කිසිවකුගේ පාලනයකින් තොර ය. මෙහි වසන්නන් එයට කියන්නේ 'නිදහස' කියා ය.

කැලිෆෝනියා ප්‍රාන්තය සෑම ආකාරයක ම ප්‍රශ්නවලින් බැට කමින් සිටියි. ආර්ථික සමාජයීය පාරිසරික යනාදී සෑම ආකාරයක ගැටලු මෙහි තිබේ. එහෙත් ස්ලැබ් සිටි වෙත යන්න. එහි මේ කිසිදු ප්‍රශ්නයක් නැත්තා සේ ය. නිදහස එහි තිබේ. සතුට ද එහි තිබෙන්නේ යැයි ඔවුහු කියති. එහෙත් ඒ ගැන හරියට ම දන්නෝ කවරහු ද....?

වචනාර්ථයට ගැළපෙන සේ මේ නගරය සහමුලින් ම පාහේ තැනී තිබෙන්නේ කොන්ක්‍රීට් ගොඩනැගිලිවලිනි. දෙවැනි ලෝක යුද සමයේදී ඩන්ලැප් කඳවුරේ නාවික හමුදා භටයන්ට ලැගුම් ගැනීම සඳහා ඒවා ඉදිකර ඇතත් අද එහි වෙසෙන්නේ මේ අනවසර පදිංචිකරුවන් ය.

මේ පුරයේ කාලය නතර වී තිබේ. එනිසා මෙහි පවතින්නේ නිමේෂයන් පමණි. ප්‍රේමයේදී පවා එය එසේම ය. සබඳතා නැත. ප්‍රේමය කියා දෙයක් ද නැත. සැබවින්ම කිසිවක්ම නැත. නමුත් ඒ අතරවායේ මොන මොනවාදෝ සිදු වේ. මොහොතක සුවය සොයායාම සහ ඊළඟ නිමේෂයේ එය අතහැර නෙත පිනන වෙනත් අරමුණක බැඳීම මෙහි ගෙවෙන ජීවිතයට දිය හැකි හොඳම අර්ථකථනයයි. සතුට එය යැයි ඔවුහු සිතති. සමාවන්න! එසේ සිතීමට පවා කරදර නොවෙති...!

මේ ප්‍රදේශයේ ගස් කොළන් අවමයකි. කාලගුණය කර්කශ ය. වියළි ය. කැලිෆෝනියා කාන්තාරය මැද මේ නගරය පිහිටා තිබෙන බව ද කිව හැකි ය. තෙතබරිත කමක් හාත්පස නොපෙනේ. සැබවින් ම කොන්ක්‍රීට් ගොඩනැගිලිවල පිහිටා තිබෙන්නේ මෙහි ජීවත්වන සියයකට ආසන්න සංඛ්‍යාවකගේ විනෝද මධ්‍යස්ථානයන් ය.

ඔවුහු බිලියඩ් ක්‍රීඩා කරති. “මේක තමයි අමෙරිකාවෙ තියෙන අන්තිම නිදහස් තැන.” දශක කිහිපයකට පෙර මැදිවිය ඉක්මවා ඇති ජෝන් තරුණයකු මෙන් පවසයි. ඔහුගේ දිග යටි රැවුල දෙකට බෙදා ගොතා පබළු අල්ලා සරසාගෙන ඇත. නිතර ඔහු අත තිබෙන්නේ බිලියඩ් පිත්ත සහ බීර බෝතලයයි. සැබවින් ම ඔවුන් අමෙරිකානු පුරවැසියන් ය. ජීවත්වන්නේ ද අමෙරිකානු ආණ්ඩුවට අයත් ඉඩම්වල ය. එහෙත් ඒ හැර බාහිර ලෝකය සමඟ කිසි ම බැඳීමක් ඔවුන්ට නැත්තා සේ ය.

මෙහි වෙසෙන බොහෝ අය මෙන් ම ජෝන් සතුව ද අපූර්ව වාහනයක් ඇත. එය ළමා බයිසිකලයක් වැනි ය. කුඩා රෝද දෙකකට හැඬලයක් සවිකර රාමුව මත සවිකළ අයිස් පෙට්ටියකට වඩා වැඩියමක් නැත. රියැදුරු අසුන වන්නේ ද අයිස් පෙට්ටියයි. එය පදවාගෙන කොන්ක්‍රීට් ගොඩනැගිල්ලක් වෙත යන ඔහු පසුම්බියේ තිබෙන අවසන් කොළ කිහිපය වැය කර තවත් බීර කෑන් කිහිපයක් මිලදී ගනියි.

ඉන්පසු අත්‍යන්ත නිදහස භුක්ති විඳීම සඳහා සිය නිවෙස වෙත යයි. ඒ නිවාස යනු කිසිසේත් ම නිවාස ලෙස හැඳින්විය නොහැකි ජංගම වාහන ය. ඒවා පදවාගෙන යා හැකි ද නොහැකි ද යන්න වෙන ම ප්‍රශ්නයකි.

අතීතයේ යම් කලෙක ඒවා පණ ගැන්විය හැකි මට්ටමක පවතින්නට ඇති අතර අද ඒවා අපිළිවෙළ නේවාසිකයන්ගේ බෝඩිං ජීවිතවලට සෙවණ දෙයි. ඒවායේ අභ්‍යන්තරය වඩාත් සමාන වන්නේ උන්මත්තකයන්ගේ බෝඩිං කාමරවලට ය. ඒ සා අපිළිවෙළක් ඒවායේ දැකිය හැකිය.

නගරයේ තැන තැන ඒ වාහනවලින් ගලවා ඉවත් කළ ටයර් සී සී කඩ දමා ඇත. පෙරදා රාත්‍රියේ පැවැත්වූ එළිමහන් සාදවල අවශේෂ එපරිදි ම මේස මත දහවල් අව්වේ කර වෙයි. නගර සභාවෙන් කසළ ඉවත් කිරීමක් මෙහි නැත. වැසිකිළි කැසිකිළි පහසුකම් පවා නැත. මත්පැන් සහ දුම්වැටි ඔවුන්ගේ ප්‍රධාන ආහාරයයි.

ඕනෑම වේලාවක සාද පැවත්විය හැකි අතර, රෑ බෝ වූ විට සෑම වාහනයක් අසල ම ගිනි මැල දැල්වෙයි. මෙහි වෙසෙන්නේ අවිධිමත් ප්‍රජාවක් යැයි කිව හැකිය. ඔවුන්ට ඊනියා ශිෂ්ටාචාරයක් හෝ ශිෂ්ට සම්පන්න වීමක් අවශ්‍ය නැත. ජීවිතයේ වගකීම් ඔවුහු නොඋසුලති. සාමාන්‍ය කුටුම්භ ජීවිතයෙන් පලා යන්නන්ට ද කාත්කවුරුවත් තැනැත්තන්ටද, ලෝකයේ තිබෙන හොඳම තැන මෙතැනයි. සර්පයන් අල්ලා උන්ගේ විෂ දළ ගලවා උන් ගෙල වටා ඔතාගෙන සිටින අය ද මෙහි සිටියි.

එහෙත් මෙහි වෙසෙන්නන්ගේ බහුතරය සිය විශ්‍රාම වැටුපෙන් කළ යුත්තක් නොමැති ජීවිතයේ අවසන් භාගය ගතකරමින් සිටිනවුන් ය. මේ අතර දුගී කම නිසා වෙන යා හැකි තැනක් නොමැති තැන මෙහි පැමිණ ජීවත්වන්නෝ ද වෙත්. ශීතකාල පමණක් මෙහි ගත කර සුවදායක තැන් කරා යන සංක්‍රමණිකයන් ද නැත්තේ නොවේ. ඔවුහු නොවැරදීම ස්ලැබ් සිටි මධ්‍යයේ තිබෙන උණුවතුර පොකුණේ ගිලී නාති. එය ශීතකාලයේ පවා සෑහෙන උණුසුමකින් යුතු ය.

නළ ජලය කෙසේවත් නොමැති හෙයින් පානය සඳහා ජලය ලබාගන්නේ ද සියලු අපවිත්‍ර කසළ රැඳී එවැනි ජල මූලාශ්‍ර කිහිපයකිනි. 90 දශකයේ දී ස්ලැබ් සිටි සංචාරකයන් හට ආකර්ෂණීය ස්ථානයක් විය. එහෙත් අද සංචාරකයෝ මෙහි සිරි නැරැඹීම පිණිස නොඑති.
ඒ වෙනුවට වාහන තුළටම වී නගරය දෙස විමසුම් බැලුම් හෙළා පුදුමයෙන් ද, කලකිරීමෙන් ද, යුතුව ආපසු යති. නගරයට විදුලිබලය සපයා නැති අතර, මේ නිසා සූර්යකෝෂ හෝ ජෙනරේටරවල සහාය ලබාගැනීමට සිදුව තිබේ.

රාත්‍රිය උදාවත් ම තේරුම්ගත නොහැකි උණුසුමක් ස්ලැබ් සිටි පුරා පැතිරී යයි. නගරයේ තැනින් තැන ගිනි මැල දැල්වේ. මේ පුරයේ ජනයාගෙන් බහුතරය නිදි වර්ජිත ය. ඔවුන්ගෙන් සමහරක් දෙනා මහරෑ පුරා ද නිදිවරාගෙන අරමුණක් නැතිව දුම්බොති. ඉක්බිති නව අදහසක් නැගුණා සේ අසල සාදයක් පැවැත්වෙන ස්ථානයකට ගොස් එළිවන තෙක් නටති. ගයති. කොලරාඩෝ කතරට දිනපතා හිරු නැඟෙතත් මෙහි ජීවත්වන්නන්ගේ ජීිවතවලට හිරු නැඟීමක් හෝ බැසීමක් නැත.

- රදිකා ගුණරත්න

Top