1150 x 80 px

සංවර්ධන අනාථයෝ - සුනන්ද රත්නායක

 

වර්තමාන ධනවාදී අර්ථක්‍රමය විසින් කරගෙන යන්නා වූ සංවර්ධනයෙන් ජනතාවට අත්වන ප්‍රතිලාභ වලට නොයෙකුත් ව්‍යසනයන්ට මුහුණ පෑමට සිදුව ඇත. සංවර්ධනය කිරීමේ නාමයෙන් ඔවුන් කරගෙන යන්නේ අනාගත පරපුරට අයිති විය යුතු දේපළ හා ස්වභාවික පරිසරය අනිවාර්යෙන් යුතුව විනාශකර දැමීමයි. ගහ කොළ, ඇළ දොළ, ගංගා විනාශ කරමින් තමන් සතු බලය අනිසි ලෙස පාවිච්චි කරමින් එකිනෙකාට හැකි පමණ ධනය රැස්කරගැනීම මහජනයාට ඒත්තු ගැන්වූයේ තිරසාර සංවර්ධනය ලෙසිනි. ජනතාව බොරුවෙන් රවටා බලයට පත් වූ හැම කණ්ඩායමක්ම හැම විටකම කළේ ජාතික ධනය හැකි පමණ තමන් සතු කරගැනීමය.

අවසානයේ ජනතාවට ඉතුරු වූයේ මුඩුක්කු පැල්පත් හා කාන්තාරත් , ත්‍රස්තවාදීන් මැරයින්ද පල් හොරුන් හා මිනීමරුවන්ගේ උවදුරුත් අවසානයේ හඳුනාගත නොහැකි ලෙඩ රෝගවලට ගොදුරු වී තම උපන් බිමහිම අනාථයන් බව පත් වීමය. මෙම ක්‍රියාදාමය මැනවින් පවත්වාගෙන යෑමට හා හසුරුවා ගැනීමට තැනෙන ගොඩනැගිලි, මං මාවත් , විදුලිය ඉදිකිරීම් හා සැපයීම් ජනතාවගේ දියුණුවක් ලෙස පෙන්වා ඊට යටින් කරගෙන යන කොමිස් ගැහිලි හා සම්පත් කොල්ලය වසං කළේය. එපමණක් නොව ඒ ඒ ඉදිකිරීම් නිසා අනාථභාවයට පත් වන පිරිස දිනෙන් දින ඉහළ යමින් ඇත.

ඊනියා සංවර්ධනයෙන් සිදු වී ඇත්තේ වර්ගවාදයෙන් තොරව බලන විට සියළු ප්‍රජාවන්ගේ සමාජ-ආර්ථික , දේශපාලන හා පාරිසරික බිඳ වැටීම පමණකි. එම අර්බුදයේම අතුරු ඵල ලෙස නියඟය , ගංවතුර කාන්තාර ඇතිවීම නාය යෑම, රැකියා හිඟය අවසානයේ අනාථ කඳවුරු වලට ගාල් වී ඇත. ඉඩම් ජලය වනාන්තර හා වෙනත් මානව හා සොභාවික සම්පත් පරිහරණ -කළමණාකාරීත්වයෙන් තොරවීමත් , ජනගහනයේ වැඩි වීම හා දිළිඳුකම නිසා වැඩි වැඩියෙන් ස්වභාවික සම්පත් පරිහරණය කිරීම සාධාරණීකරණය කිරීමට උත්සාහ දැරුව ද , මානවයාත් පරිසරය හා සම්පත් පරිහරණය අතර පවතින විශ්ව සාධාරණ අනන්‍යෙයාන්‍යය ක්‍රියාකාරීත්වය කෙරෙහි අවධානය යොමු නොකිරීමේ විපාකවලට සියළු ජන කණ්ඩායම් මුහුණ පාමින් සිටිති.

එක් පැත්තකින් තම රටට තිරසාර සංවර්ධනය ක් අත්කර ගැනීඹ සඳහා වූ දර්ශනය ක් හෝ ජාතික ප්‍රතිපත්තියක් නොමැති වෙනස් වෙන ආණ්ඩු සමඟ වෙනස් වන ප්‍රතිපත්ති හා බැඳී ගිය සම්පක් කොල්ලකෑම එකම ප්‍රතිපත්තිය වූ රටක අනාථයින් බිහි වීම අරුමයක් නොවනු ඇත. වෙළඳපොළ වටිනාකම් අනුව සිතන්නට හා ක්‍රියා කරන්නට හුරු වී ඇති පාලකයින් භූමියේ සැබෑ වටිනාකම හෝ එමඟින් සපයන භෞතික ජීවිතයේ සුරක්ෂිතභාවය ගැන හෝ නොතකති. සියල්ල ඔහු තක්සේරු කර ඇත්තේ එවෙලෙට තම අතට එන මුදල ගැන පමණි. සමාජය , භාණ්ඩ හා සේවා වල වෙළඳ වටිනාකම් මත පදනම් වූවක් වන කල ස්වභාවික සම්පත් හෝ මිනිස් ජීවිතවල පරිහාණිය පිළිබඳව කල්පනා කිරීමට අවකාශයක් නොදේ.

වනාන්තරයක් කපාගෙන ලබන ආදායම හා එම භූමියේ වගාකර ලබාගන්නා ආදායම හොඳ ප්‍රතිලාභයක් ලෙස ගණන් බැලිය හැක. එහෙත් එහිදී සිදු වන , විනාශ වී යන පාරිසරික වටිනාකම් ගණන් නොගැනේ. වනාන්තරයක් ලෙස පවතින විට ස්වභාවිකව සිදු වන සේවාවද , පාරිසරික සමතුලිතය රැකගැනීම හා ජානමය විවිධතාවයන් ඇතුළුව එහි වටිනාකම් ගැන සැළකිල්ලට ලක් නොකෙරේ. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ මධ්‍යයම කඳුකරයේ වැසි වනාන්තර විනාශකොට තේ වගාකිරීමයි. එයින් ඇතිකරගත් දියුණුවක් , රැස්කරගත් ධනයක් වේද??

සදාකාලිකවම පැවතිය යුතුව තිබුණු එම වැසි වනාන්තර විනාශකිරීමෙන් අත් වී ඇති අනිටු ඵල ගණනය කළ නොහැකි තරම්ය. ලක් දෙරණේ හදවත සිදුරු කළාක් මෙන් එහි පාරිසරික වටිනාකම ගණනය කළ හැකිද?. පරිසරය සමඟ සහජීවනය පවත්වා ගනිමින් වාසය කළ ස්වදේශික ජනයා පහළ ශ්‍රේණිවල අනාථයෝ බවට පත් වූ අතර මේ වන විට අපට ඉතිරි වී ඇත්තේ නාය යෑමට හා සෝදා පාළුවට ගොදුරු වී කටු පෑදුණු ගල් තලාවක් හා කේඩෑරි වී යමින් පවතින තේ පදුරු යටට දිරාපත් වන වටිනා ජීවිත රාශියකුත් පමණි.

මේ වන විට තේ පදුරු වඳ වී ගිය භූමියේ පැල වී ඇති මානා පදුරු වේලි ගිනි ඇවිලෙමින් ඇත. ඊළඟට එන වැහි කන්නයේදී හදාවඩාගත් භව භෝග සමඟ මිනිස් ජීවිත ද යටකරගෙන නාය යෑම් වලට ගොදුරු වීමට නියමිතය. සෙසු පිරිස අනාථ භාවයට පත්වෙති. වතුකර ද්‍රවිඩ ජනයා ද රැකියා අහිමිවීමෙන් දිරාපත් වී ඇති ලයින් කාමර වල අනාථයන් බවට පත්ව සිටිති. එම වැසි වනාන්තර විනාශකර තේ පඳුරු සිටුවා අප සිටුවරයින් වීද?අඩු තරමින් හොඳ තේ කොළ ටිකක රස බැලීමට හෝ මෙරට සාමාන්‍යය වැසියෙකුට ඉඩක් ලැබුණේද? එම විනාශය අප නොව ඉංග්‍රීසි ජාතිකයින් කළා යැයි කියා අපට අත සෝදා ගත හැකිද?.. මෙරට පාලකයින් කරමින් සිටින්නේ කුමක්ද?. මේ වන විට තේ පඳුරු වඳ වී තේ කර්මාන්ත ශාලා ගලවා අලෙවි කරමින් සිටින මොහොතක එම මුඩු බිම්වල ඉඩම් කැබිලි වෙන්කර එහිම පදිංචිකරවීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?. ඉතිරි පස් තට්ටුවද පහළට සෝදා හැරීම හා උල්පත් ටිකද සිඳී යෑමට සැළැස්වීමයි. එයින් අනාථ භාවයට පත් වන්නේ කඳුකර වැසියන් පමණක් නොව මුළු මහත් රට වැසියාම ඊට ගොදුරු වනු ඇත. වැසි රටාවන් වෙනස් වීම , උල්පත් සිඳී යෑම, පස නිසරු වීම, ඉහළ ගංගා ධාරවල ගමන් මාර්ග වෙනස් වීම, අනාගත විපත් වලට මඟ පාදනු ඇත.

එපමණක් නොව කඳුකර භූමියේ බොල් බව පවා අමතක කර ඉතිරි වනාන්තර ද විනාශ කරමින් විශාල ජලාශ ඉදි කළේ රටම ණයකාරයින් බවට පත් කරමිනි. බොහෝ ඉදිකිරීම් බටහිර සමාගම්වල අත්හදා බැලීම් වූ අතර ඒ සඳහා සැපයූ ණය ආධාර ද එරට ඉදිකිරීම් සමාගම් හරහා ආපසු ඒ රටට උරා ගැනීමට ඔවුන් සූක්ෂම වූහ. උදාහරණ ලෙස වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී භාවිතා කළ ආරුක්කු කොන්ක්‍රීට් වේල්ලද එවැනි අත්හදා බැලීමක් වූ අතර ඒ සඳහා වෙන්කළ මුදල ද එය ඉදි කළ බ්‍රිතාන්‍යය සමාගම හරහා ඒ රටට ආපසු ලබා ගැනීමට කටයුතු කළෝය.

එම ජලාශයට යට වූ භූමියේ වාසය කළ ජනතාව අනාථයන් ලෙස මහවැලි කලාපයේ පදිංචි කළේ සොච්චම් වන්දි මුදලක් ලබා දෙමිනි. මධ්‍යයම කඳුකර සිසිල් පරිසරයක දිවි ගෙවමින් ගම්මිරිස්, කරාබු නැටි, සාදික්කා වැනි විදේශ විනිමය උපයන කුළු බඩු වර්ගවලින් ආදායම් ලබමින් , විවිධ වූ පළතුරු හා කොස්දෙල් අනුභව කරමින් හා පිරිසිදු ජලය පානය කරමින් සිටි ජනතාවක් මහවැලි කලාපයේ අක්කර දෙකකට සීමා වූ ඉඩමක ලවණ මිශ්‍ර ජලය පරිභෝජනය කරමින් වර්තමානය වන විට වකුගඩු රෝගීන් පිරිසක් ලෙස අනාථ භාවයට පත්ව ඇත්තේ , දහ දුක් විඳ ලබා ගන්නා වී ටිකදටද සාධාරණ මිලක් ලබා ගැනීමට නොහැකි වී ඇති පසුබිමකය.

මහවැලි ව්‍යාපාරයෙන් ගොවීන්ට වඩා පොහොසත් වූයේ රසායනික තෙල් පොහොර අලෙවි කරන්නෝය. ඒ වගේම මේ රටේ ඓතිහාසික උරුමක්කාරයින් වන ආදිවාසී ප්‍රජාව ද තම පාරම්පරික ජීවනෝපායන් අහිමි වී අනාථභාවයට පත්ව ඇත. තවත් පැත්තක අධිවේගී ඇතුළුව කාපට් ඇතිරුණ මහා මාර්ග පුළුල් කිරීමෙන් අනාථ වූ පිරිස් මාරාන්තික උපවාසවල නිරත වී සිටිති. ඇතැම් ජන ශුන්‍යය ප්‍රදේශවල ඉදිකළ මහාපරිමාණ ව්‍යාපෘති නිසා බොහෝ පිරිස් අනවසර පදිංචිකරුවන් ලෙස ලේබල් ගසා පළවා හැර අනාථභාවයට පත් කර ඇත.

එපමණක් නොව එම ප්‍රදේශවල ජීවත් වූ අලි ඇතුන් ඇතුළු අනෙකුත් සතුන් ද අනාථ වී යන එන්නට තැනක් නැතිව දරුණු නියඟයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ බව බෝග පමණක්නොව එම ජීවිත ද බිලි ගනිමින් සිටිති. මෑතක සිදු වූ ගංවතුර හා නායයෑම් හේතුකොට පවුල් පිටින් විනාශ වූ අතර ඉතිරි වූ පවුලේ සාමාජිකයින් වන සෙසු පවුල්ද අනාථභාවයට පත්ව ඇත. බොහෝ තැන්වල දරුවන්ට දෙමාපියන්ද, දෙමාපියන්ට දරුවන්ද අහිමි වී මෙලොව තනි වි අනාථ වූ පිරිස්ද වෙති. එම අනාථ ගොඩටම මේ මොහොතේද ගම්මාන පිටින් එකතු වෙමින් සිටින පිරිසක් ද වෙති. උමා ඔය කලාපයේ ජනතාවද රටට බරක් නොවී ගොවිතැන්කරගෙන ගේදොර හදාගෙන ජීවත් වූ පිරිසකි. ඔවුන්ද මේ මොහොත වන විට අනාථ වී බීමට ජලය පවා අහිමි වී සුසුම්ලමින් මර බියෙන් ජීවත් වන්නේ පාලකයින්ගේ තිරසර සංවර්ධනයේ මහිමයෙනි. එළඹෙන ඊසාන දිග මෝසම් වැසි වලින් සිදු වන හානිය සිතා ගැනීමට පවා බියකරු වී ඇත. යුධ අනාතයන් එක පැත්තකය.

මීට අමතරව මෑතකදී සිදු වූ ව්‍යසනයන් වන මීරියබැද්ද, ශාලාවේ, අරණායක, මීතොටමුල්ල, කිරිබත්ගල වැසියන් අනාථ පෝලිමේ සිටිති. මේ වන විට මුළු වියළි කළාපයම අර්ධ කාන්තාරයක් බවට පත්ව එහි වෙසෙන දූගී ජනයා පමණක් නොව සතා සිව්පාවුන්ද සා පිපාසාවෙන් පෙළෙති. බොහෝ ඊනියා සංවර්ධන ව්‍යාපෘති නිසා අනාථභාවයට පත් ජනතාවගේ හඬ යටපත් කර ඇත. අවුරුදු 150ක ලාංකීය සංවර්ධන ඉතිහාසයේ උරුමය බවට පත්ව ඇත්තේ මෙවැනි අනාථභාවයකි. ඊනියා සංවර්ධනය ද ජනතාව වෙනුවෙනි. එක් කොටසකට පහසුකම් සපයන්නට තවත් කොටසක් බිලි නොදී වැඩ කළ නොහැකිද?. තිරසාර සංවර්ධනය ද මෙය?. කිසිඳු ඉදිරි දැක්මක් නැති භූමිය හා ජන ජීවිතය හඳුනා නොගත් ජනතාවට ප්‍රතිලාභ ගෙන එනවාට වඩා විජාතිකයින් පිනවන ඔවුන්ගේ තැරැව්කරුවන්ගේ ගිණුම් තර කරණ ව්‍යාපෘති බවට පත්ව ඇත.

රටේ සංවර්ධනය, අධ්‍යාපනය, වන හා පස සංරක්ෂණය කරන පරිසරය රකින රැකී රක්ෂා ඇති කිරීම හා නොයෙක් මානව අවශ්‍යතාවලදී ඒ ඒ විෂයන් වෙන් වෙන්වම විග්‍රහ කිරීම පිළියම් සෙවීමේදී එහි විපාකයක් මෙළෙස වේ. මේ සියල්ල එකට බැඳී පවතිව එකම ක්‍රියාවලියක් බැවින් සංවර්ධන සැළසුම් සකස් කිරීමේදී දීර්ඝ කාලීනව කෙසේ වෙතත් ආරම්භ කරන ව්‍යාපෘතිවල වාසි අවාසි තක්සේරු කරණ පිළිවෙතක් තිබිය යුතුය. නමුත් මස් කුට්ටියට වහ වැටුණු බලු රැළක් මෙන් මීට වගකිව යුතු දේශපාලකයාගේ සිට ඊට සම්බන්ධ වන සියලුම දෙනා තමාට අත්කර ගත හැකි මානව ගැන පමණක්ම සිත් යොමු කරන ජඩ පිරිසක් බවට පත්ව ඇත. අනාථවන ජනතාවට සහනාධාර බෙදීමද ධන උල්පත් වී ඇත. තිරසාර සංවර්ධනය යන්න වර්තමාන සහ අනාගත පරම්පරාවන් සඳහා මානව අවශ්‍යයතා සපුරා ගැනීම සඳහා ඊට ඉවහල් වන්නා වූ සාධකයන් අඛණ්ඩව තෘප්තිමත් කිරීම සහතික කරණ ආකාරයෙන් ස්වභාවික සම්පත් සමූහය සංරක්ෂණය , කළමණාකරණය හා තාක්ෂණික මෙන්ම ඊට අනුරූපී වන අන්දමින් ආයතන රාමුවද වෙනස් කරමින් පාරිසරික වශයෙන් විනාශකාරී නොවන තාක්ෂණික මෙන්ම ඊට අනුරූපීවන අන්දමින් ආයතන රාමුවද වෙනස් කරමින් , පාරිසරික වශයෙන් විනාශකාරී නොවන තාක්ෂණික වශයෙන් උචිත වූ , ආර්ථික වශයෙන් ඵළදායී වන සමාජමය වශයෙන් පිළිගත හැකිවෙන ආකාරයෙන් , භූමිය, ජලය ශාඛ හා මානවයාද අනිකුත් සත්ව ප්‍රාණීන්ද ඇතුළුව සමස්ථය සංරක්ෂණය කිරීම සඳහා වූ පැහැදිළි දර්ශනයක් හා ඒ හා බැඳී ගිය දිගුකාලීන ආර්ථික සැළැස්මක අවශ්‍යතාව අවබෝධකරගෙන ඒ වෙත ජනතාව දැනුවත් කර පෙළගැස්සවීමේ කාල පැමිණ ඇත.

මෙම ක්‍රියාවලිය වෙළඳපොළ ආර්ථිකයකින් කළ හැකි දැයි සිහි කල්පනාවෙන් සිතා බලනු මැන. දියුණු මානව වර්ගයා වශයෙන් අපගේ දර්ශනය යොමු විය යුත්තේ සොභාදහම හා සත්ව පරිණාමය අතර පවතින ඒ අපූර්වතම සබඳතාවය තේරුම්ගෙන අපගේ පැවැත්ම සඳහා ජාතික ප්‍රතිපත්ති හා සැළැසුම් සකස්කොට සොභා දහම සමඟ සහජීවනයෙන් ජීවත් විය හැකි මං පෙත් විවර කර ගැනීමයි. එවිට මිහිපිට කිසිවෙක් අනාථයින් නොවන අතර ස්වභාවික විපත් වලට සාර්ථක මුහුණුවර දීමටද හැකි වෙනු ඇත. එමෙන්ම අනතුරු ද අවම වෙනු ඇත. ඒ වෙත නිරන්තර අවධානය ද යොමු වනු ඇත. සියවස් දහස් ගණනක් තිස්සේ ඇඳී ආ මිනිසා පරිහරණය කළ මෙම භූමිය, සියවස් දෙකක් තුළ නූතන මානවයා විසින් වාසයට නුසුදුසු තැනක් බවට පත්කරගෙන ඇත. ඒ තාවකාලික සුඛ විහරණය වෙනුවෙන් සියල්ල බිලි දීමෙනි. සොභා දහම සමඟ සහජීවන මාර්ගය අප තවඳුරටත් අත් හළහොත් මුළු රටේම ජනතාව අනාථයන් බවට පත්වන කාලය වැඩි ඈතක නොවනු ඇත.

Top