1150 x 80 px

බලාගෙනයි, පරිස්සමෙන්!!

 

නිල නාමය අනුව එය ප්‍රජාතාන්ත්‍රික කොරියානු සමූහාණ්ඩුව ලෙස හැදින්වුනත් ලෝකයෙන් බහුතරය එකඟ වන පරිදි එය ‘යක්ෂයාගේ රට‘යි. උතුරු කොරියාව තුළ කුමක් සිදුවේදැයි කිසිවෙක් නොදනිති. එය දැනගැනීමට ඇති වුවමනාව ද කිසිවිටෙක අඩු නොවේ. ඒ රට තුළ සිදුවෙමින් පවතින දේ අනුමාන කළ හැක්කේ ක්‍රම දෙකකට පමණි. එකක් නම් චන්ද්‍රිකා ඡායාරූපයන් ය. අනෙක නම් මිසයිල අත්හදාබැලීම් ය.

 

පසුගිය දිනෙක ද උතුරු කොරියාව, ඇමරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන්ට සුව නින්ද අහිමි කළේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සාර්ථක අන්දමින් අත්හදා බලමිනි. මේ සිද්ධියට ප්‍රතිචාරයක් වශයෙන් අද වන විට ජගත් සංවිධානය, එරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයකින් කපා හැරීමට සමත් සහ, ඉතිහාසයේ බැලස්ටික් මිසයිල අත්හදාබැලීමකට දඩුවමක් වශයෙන් පැනවු ලොකුම රෙගුලාසිය පනවා තිබේ. නමුත් උතුරු කොරියාව එයින් මට්ටු වේවි යැයි නොසිතන්න. එය අමුතුම රටකි.

බටහිර මාධ්‍යවේදියකු හට උතුරු කොරියාවට ඇතුළුවීමට අවසර ගැනීම පහසු දෙයක් නොවේ. වසර ගණනාවක් වෙහෙසවීමෙන් පසුවත් ඇතැම්විට කළ හැක්කේ ඩීඑම්ඉසෙඩ් යන කෙටි නමින් හැදින්වෙන ‘ඩී මිලිටරියස්ඩ් සෝන්’ (DMZ) හෙවත් හමුදා රහිත කලාපය වෙත පියනඟා උතුරු කොරියාව දෙස බලාසිටීම පමණි. ඩීඑම්ඉසෙඩ් කලාපය වෙත යන සෑම සංචාරකයෙකු හට ම මඟපෙන්වන්නෝ අනතුරු ඇගවීමක් කරති.
‘ඇතුළෙ ඉන්න කිසිම උතුරු කොරියානු සොල්දාදුවෙක් දිහා බලන්න එපා... ඡායාරූප ගන්න නම් හිතන්නවත් එපා.. විනාඩි දෙකහමාරකට වඩා එකම ඉරියව්වෙන් ඉන්න එපා.. ඔවුන් ඔබව සැකකටයුතු කෙනෙක් ලෙස හදුනාගන්නට ඉඩ තිබෙනවා’

එය උතුරු කොරියාව සහ දකුණු කොරියාව වෙන් කරන දේශසීමාව ලෙසින් සැලකිය හැකි ය. 1953 වසරේ කොරියානු යුද්ධය අවසන් වු දා සිට එය මිහිමත තිබෙන වඩාත් ම හමුදාකරණයට ලක්වූ කලාපයයි. උතුරු කොරියාවේ පැත්තෙන් යුද හමුදා භටයන් මිලියන දෙකක් මේ කලාපයේ සීරුවෙන් සිටිති.

දකුණු කොරියාවේ පැත්තෙන් ඒ ගණන ලක්ෂ පහකි.දෙපස එකිනෙකා වෙත මිසයිල අමෝරාගෙන සිටිති. යුද්ධ ටැංකි ද දෙපස ම වේ. මේ අතර අමෙරිකානු සොල්දාදුවන් විසි අට දහසක් දෙනා ද සීරුවෙන් තබා තිබෙන්නේ දකුණේ ආරක්ෂාව සඳහා ය.

ඩීඑම්ඉසෙඩ් කලාපයේ පසට පවා සාමයෙන් පසුවන්නට උතුරු කොරියාව ඉඩ තබන්නේ නැත. අමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය සහ අමෙරිකානු හමුදාව විසින් සොයාගෙන තිබෙන පරිදි යටත් පිරිසෙයින් අවස්ථා හතරකදීවත් උතුරු කොරියානුවන් මේ කලාපයේ සිට සෝල් අගනුවර වෙත රහස් උමං මං හාරා තිබේ.

ඩීඑම්ඉසෙඩ් කලාපයට ඇතුළු වීම අසීරු නොවේ. සෑම සංචාරකයකුම පාහේ එහි යන්නේ එහි සිට උතුරු කොරියාව වෙත එබිකම් කිරීම පිණිස ය. දකුණු කොරියාවේ සිට සුවපහසු බස් රථවල නැඟී එහි යන ගමනේදී වඩාත් ම අසීරු දෙය වන්නේ උතුරු කොරියානු මුර කපොලු ය.

ඒවා පහළොවක්වත් අනිවාර්යයෙන් පසු කළ යුතු වේ. ඒ සෑම අවස්ථාවකදී ම සෝදිසිය සඳහා ඉඩ ලබාදෙමින් ඔබ බස් රථයෙන් බැසිය යුතු ය. එවිට ඒ වෙනම ලෝකය දෙස ඈත සිට සිත් සේ බැලිය හැකි වේ.

ෆ්‍රීඩම් බ්‍රිජ් හෙවත් නිදහසේ පාලම යනුවෙන් හැඳින්වෙන නිරීක්ෂණ කුලුනක් ද මේ කලාපයේ දැකිය හැකි වේ. එහි තේමා උද්‍යානයකි. එය පුරාම සිත්ඇදගන්නාසුලු සොල්දාදු පිළිම තබා ඇත. ඒවායේ දෙනෙත්, කළු කණ්ණාඩිවලින් ආවරණය වී ඇත්තේ ඉදිරියේදී සංචාරකයන් මුණගැසෙන්නට යන්නේ කාවද යන්න ගැන පිළිබඳ ඉඟියක් ලබාදෙමිනි.
තුන්වැනි මුරපොළ වෙත ඇතුළුවීම සඳහා බස්රථවලින් බසින සංචාරකයන් ට අමුතුම අත්දැකීමකට මුහුණදීමට සිදුවීම වැළැක්විය නොහැකි ය.

මුලින් ම ඔවුන් මුර කපොලු ගොඩනැගිල්ල වෙත ගමන් කළ යුතු ය. ඉන්පසු සිය ලියකියවිලි සීරුවෙන් ඉදිරිපත් කළ යුතු ය. එතැන පොළොව සියයට සියයක් නොවෙතත් සියයට අනූ නවයක් ම උතුරු කොරියාවයි. මේ අවස්ථාවේදී වටපිට නොබලා සිටීම වඩාත් යහපත් වන්නේ නොඑසේනම් ඔබ බියවීමට ඉඩ තිබෙන නිසා ය. හේතුව, බැලූබැලූ අත, තැනින් තැන පිළිම සේ නොසෙල්වී සිටින උතුරු කොරියානු සොල්දාදුවන් ය.

ඔවුහු හිස් ආවරණ පැලඳ ගෙන සිටිති. දෑස් පමණක් නොව මුහුණෙන් භාගයක් ද වැසෙන සේ තද කළු පැහැති කණ්ණාඩි පැලඳ සිටිති. අමුතු ම දෙය වන්නේ ඔවුන් සිටගෙන සිටින ඉරියව්වයි. එය වඩාත් සමාන වන්නේ මේ දැන් ඉදිරියට පැන ඔබට පහරදීමට බලා සිටිනා සොල්දාදුවකුට ය.
ඔවුහු ඒකාකාරී ලෙස පැය කිහිපයක් වුවත් එක දිගට අත්මිට මොළවාගෙන සිටිති. එහි සිට බලනවිට පෙනෙන තෙක් මානයේ තිබෙන්නේ නියම උතුරු කොරියානු දේශසීමාවයි. එය ඇත්තෙන් ම කොන්ක්‍රීට් පටියකට ඔබ්බෙන් තිබෙන ලෝහමය දැලකි.

‘අර තියෙන්නෙ උතුරු කොරියාව.. කොන්ක්‍රීට් පටිය තමයි, සීමානිර්ණ රේඛාව..’ සංචාරකයෝ අත දිගු කරමින් එකිනෙකා වෙත බියෙන් මෙන් පවසා ගනිති. එහෙත් ඒ සමඟම මඟ පෙන්වන්නන් සහ උපදේශකයන්ගෙන් අනතුරු ඇගවීම් ලැබේ. ‘ඇඟිලි උරුක්කරන්න එපා.. ඇගිලි උරුක්කරන්න එපා..’ එය සැබෑවකි.

උතුරු කොරියාව දෙසට ඇඟිලි උරුක්කිරීම පවා අවදානම් සහගත බව ලෝකය දැන් දනියි. ‘සතුරා කොරියාවේ භූමිය අඟලකින්වත් ආක්‍රමණය කිරීමට නිර්භීත වුවහොත් කොරියාවේ විප්ලවීය හමුදාව මෙන් ම මුළු රටම සැණෙන් බලකොටුවක් බවට පත්ව සතුරාට පිළිතුරු දෙනු ඇත.. ජනයාගෙන් සෑම අයෙක්ම ආයුධවලින් සන්නද්ධ වී සතුරාට මද සිනා පාමින් - සමා රහිතව පිළිතුරු දෙනු ඇත’ මේ පසුගිය උතුරු දකුණු විරසකය ඇවිළී ගිය සමයේ උතුරු කොරියානු රූපවාහිනිය ඔස්සේ විකාශය වූ හඬ පටයකි.

එහි පසුබිමෙන් දැක්වුණේ උතුරු කොරියානු හමුදාව අවි ද අමෝරාගෙන සරඹ සන්දර්ශනයේ යෙදෙන ආකාරයයි. උතුරු කොරියානු හමුදාවේ පාබල ඉරියව් අතිශය අසාමාන්‍ය ය. ඔවුන් උඩ පනිමින් ඇවිදින බවක් බැලූ බැල්මට පෙනේ. එහෙත් ලෝකය අද විශ්වාස කරනා පරිදි, එයින් ප්‍රකට වන්නේ න්‍යෂ්ටික ශක්තියෙන් ද, සිය අසාමාන්‍ය සන්නද්ධ හමුදා බලය සම්බන්ධයෙන් ද ඔවුන් තුළ තිබෙන ආත්ම විශ්වාසයයි.

උතුරු කොරියාව සිය මිසයිල වැඩසටහන 1970 දශකයේදී ආරම්භ කළේ සෝවියට් සමූහාණ්ඩුවේ උපකාර ඇතිව ය. අද වන විට විශ්වාස කෙරෙන්නේ ඔවුන් සතු ටේපොඩොන්ග් 2 ඇතුළු මිසයිලවලට ලෙහෙසියෙන්ම ජපානය වෙත ළගාවිය හැකි බවයි. මේ අතර අවශ්‍ය නම් අමෙරිකාව දක්වා ම ළගා විය හැකි මිසයිල තමන් සතු බවට ද උතුරු කොරියාව පාරම් බායි. එය හුදෙක්ම පාරම් බෑමක් පමණක් නොවන බව , පසුගිය සතියේ ඔවුන් සිදුකළ අන්තර් මහද්වීපික මිසයිල අත්හදාබැලීම මගින් සනාථ වෙයි.

උතුරු කොරියාවේ නිර්මාතෘ සහ පළමු ජනපති කිම් ඉල් සුන්ග් සිය රට සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ, තමන් මතම රඳා පැවතීමයි. එය තීරණාත්මක ලෙස ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් උතුරු කොරියාව ලෝකයේ සෙසු සියලු රටවල් සමඟ පවත්වන සබඳතාවලින් කපා හැරුණේය.

රට සාගත සහ දුර්භික්ෂවලට මුහුණ දී සිටියදී පවා මෙහි ප්‍රතිඵලයක් ලෙසට ඔවුන්ට වෙනත් රටවල් වලින් ආධාර ලැබීමක් නැත. මෙවන් අවස්ථාවන්හිදී දරුණුම තත්ත්වය අත්විදින්නේ සිරකරු ප්‍රජාවයි. හියුමන් රයිට්ස් වොච් ඇතුළු ලෝකයේ ප්‍රකට මානව හිමිකම් සංවිධානවල දත්තවලට අනුව උතුරු කොරියානු ජනගහනයෙන් එක්ලක්ෂ පණස් දහසත් ලක්ෂ දෙකත් අතර පිරිසක් සිරකරුවන් ය. උතුරු කොරියානු බන්ධනාගාර මිහිපිට අපායන්ට දෙවැනි නොවේ. සාමාන්‍යයෙන් සිරකරුවන්ගෙන් සියයට 40 ක් පමණ ආහාර හිඟකම නිසා මිය යති. සිරකරුවන්ට පමණක් නොව සාමාන්‍ය උතුරු කොරියානුවන් ට පවා රසවත් කෑම වේල් ලැබනේනේ කලාතුරකිනි. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය බඩ ඉරිගු සහ කිම්චි ලෙස හදුන්වන මිරිස් රස ගෝවා අච්චාරුවකි.

ඔවුන් සිය රටට කියන්නේ ‘කොරියාව’ කියා මිස උතුරු කොරියාව කියා නොවේ. 1950-1953 සමයේ පැවති කොරියානු යුද්ධය අවසන් වූයේ නිසි නෛතික ගිවිසුමකින් නොව එකගතාවකිනි. එනිසා තවමත් රටවල් දෙක තාක්ෂණික වශයෙන් යුද්ධ කරමින් සිටින රටවල් ය. උතුරු කොරියාව නිසා ලෝකය නොසන්සුන්වන හැම විටෙකම ඔවුන් සිය පණිවුඩය තව තවත් පැහැදිලි ලෙස ලෝකයට ලබාදෙති.

‘.. අපිට ඇඟිල්ල උරුක් කරන්න එපා..!!!’

- රදිකා ගුණරත්න

Top