1150 x 80 px

අලුත් ව්‍යවස්ථාව නැතිවම බැරි දෙයකි

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවාගෙන වසර 40 කට ආසන්න කාලයකට පසු, 2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයේ දී දෙන ලද ජනතා තීන්දුව තුළ, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණීය ක්‍රියාවලිය තුළ පවතින ප්‍රජාතන්ත්‍රීය අඩුලුහුඩුකම්වලට පිළියමක් සඳහා පනවා ගත යුතු අලුත් ව්‍යවස්ථාවක් සඳහා වන ජනතා කැමැත්ත ප්‍රකාශයට පත්විය.

 

එම වසරේම පැවති පාර්ලිමේන්තු මැතිරවණයෙන් අනතුරුව, ජනවාරි වෙනසින් වසරකට පසුව, 2016 මාර්තු 9 වැනි දා, ‘ව්‍යවස්ථා සම්පාදක සභාවක්’ ස්ථාපිත කර ගැනීම සඳහා වන ‘මූලික යෝජනාව’ පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමත් සමග, අලුත් ව්‍යවස්ථාවක් පනවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරුණි. මේ ‘ව්‍යවස්ථා සම්පාදක සභාව’ වනාහී, කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුතුව, අලුත් ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනා කෙටුම්පත් කෙරෙන කමිටුවක් වන අතර, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම එහි සාමාජිකයෝ වෙති.

මේ ‘ව්‍යවස්ථා සම්පාදක සභාව’ මගින් අනුකමිටු 6 ක් පත්කෙරුණි. එම කමිටුවල කාර්ය භාරය වුණේ, මූලික අයිතිවාසිකම්, රාජ්‍ය සේවය, අධිකරණය, රාජ්‍ය මූල්‍ය, නීතිය හා සාමය සහ මධ්‍යම-පරිවාර සම්බන්ධතා යන විෂයයන් 6 සම්බන්ධයෙන් වන යෝජනා කෙටුම්පත් ඉදිරිපත් කිරීමයි. පාර්ලිමේන්තුවේ ‘මූලික යෝජනාව’ සම්මත කර ගැනීමේ කාර්යයේදී මෙන් නොව, ඉන් පසුව දිග හැරුණු මෙකී කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට අදාළ ජනතා සහභාගීත්වයත්, එම ක්‍රියාවලිය පිළිබඳ ජනතාව වෙත සැපයුණු තොරතුරුත් ඉතා අල්ප විය. එම නිසා එහි පාරදෘෂ්‍ය භාවය කෙරෙහි මෙන්ම එහි සුජාත භාවය කෙරෙහිත් බරපතල සැකසාංකා මතු විය.

2016 අවසන් වන විට සියලු අනුකමිටු සිය යෝජනා කෙටුම්පත් ඉදිරිපත් කොට තිබුණි. ‘ව්‍යවස්ථා සම්පාදක සභාව’ විසින් සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත, අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුත්, ‘මෙහෙයුම් කමිටුවක්’ ද පත්කොට තිබුණි. මේ ‘මෙහෙයුම් කමිටුවේ’ කාර්ය භාරය වුණේ, අලුත් ව්‍යවස්ථාවක් සඳහා වන කෙටුම්පත් යෝජනාව ‘ව්‍යවස්ථා සම්පාදක සභාවට’ ඉදිරිපත් කිරීමයි.

දැනට කෙරීගෙන යන අලුත් ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියේ ඉතා වැදගත් ලක්ෂණයක් වුණේ, එහි ආරම්භයේදී දක්නට ලැබුණු විවෘත භාවයත්, පොදු සහභාගීත්වයත් ය. පාර්ලිමේන්තුවේ ‘මූලික යෝජනාව’ සම්මත කර ගැනීමටත් කලින්ම ‘ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වන මහජන නියෝජිත කමිටුවක්’ සියලු පක්ෂවල නාම යෝජනා මත කැබිනට් මණ්ඩලය විසින් පත්කරනු ලැබ තිබුණි. ශ්‍රී ලංකාවේ අලුත් ව්‍යවස්ථාවක අඩංගු විය යුතු කරුණු පිළිබඳ මහජන අදහස් උදහස් විමසීම මෙහි කාර්ය භාරය විය. මේ කමිටුව ඉදිරියේ කරුණු දැක්වීමට, රටේ සෑම දිස්ත්‍රික්කයකම ජනතාවට අවස්ථාව ලබා දුන් අතර පාර්ලිමේන්තුවේ අනුකමිටු ඉදිරියේ අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාවත් ජනතාවට තිබුණි.

මේ විවෘත සහ මහජන සහභාගීත්ව ක්‍රියාවලිය, මීට පෙර මැතිවරණවලින් ජයග්‍රහණය කොට තම තමන් අභිමත ප්‍රකාරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කර ගත් 1972 සහ 1978 ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ඉඳුරා වෙනස් ය. මෙවර තමන් වෙත ලැබුණු එකී පෙර නොවූ විරූ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ජනතාව ප්‍රතිචාර දැක්වූහ. ඒ අනුව, ඉහත කී ‘ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වන මහජන නියෝජිත කමිටුව’ සහ ‘ව්‍යවස්ථා සම්පාදන සභාවේ’ අනුකමිටු විසින් ඉදිරිපත් කරන ලද වාර්තා තුළ, අනාගත ව්‍යවස්ථාව තුළ තිබිය යුතු මූලික අංග කෙරෙහි ජනතාව දැක්වූ අදහස් නිරූපණය විය. එහෙත් එම වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසු දිග හැරුණු ක්‍රියාවලිය තුළ ඉහත කී ජනතා අදහස් බලපෑවේ මොන ආකාරයෙන්ද යන්න පිළිබඳ පැහැදිළි භාවයක් නොතිබීම කණගාටුවට කාරණයකි.

එම ක්‍රියාවලිය අද වන විට එක තැනක හිර වී තිබීම කණස්සල ඇති කරවයි. අනුකමිටු හයේ වාර්තා, පසුගිය ජනවාරියේ ‘ව්‍යවස්ථා සම්පාදක සභාව’ තුළ විවාදයට ගැනී ඇති බව පෙනෙතත් ඉන් පසු එය දින නියමයක් නොමැතිව කල් ගොස් තිබේ. අනතුරුව, මේ සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමේ වැඩි ප්‍රගතියක් පෙන්නුම් කොට නැත. ඊනියා එක්සත් ජාතික ආණ්ඩුවේ පාර්ශ්ව දෙක අතර හට ගැනී ඇති ගැටුම් නිසා මෙම ක්‍රියාවලියට බාධා පැමිණ ඇති බවක් පෙනෙන්ට තිබේ.

ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනා විවාදයට ගැනීම සඳහා ‘ව්‍යවස්ථා සම්පාදක සභාවට’ වෙන් කොට තිබූ කාල සීමාව බොහෝ කලක සිට අවසන්ව ඇතත්, කිසි නිශ්චිත අවසාන දිනයක් මේ සඳහා යොදාගෙන නැත. මේ අතරේ, ඇතැම් දේශපාලන පක්ෂත්, ප්‍රධාන පෙළේ සංඝයා වහන්සේලාත්, අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැති බවට ප්‍රසිද්ධියේ දැන වදාරමින් සිටිති. මෙවැනි කණ්ඩායම්, එයාකාරයෙන් ජනතා කැමැත්තට පිටින් කටයුතු කිරීමට බැලීම අතිශය කණගාටුදායක ය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, කේන්ද්‍රය සහ පරිවාර පළාත් සමග බලය බෙදාහදා ගැනීම පිළිබඳ කාරණයත්, අදාළ ව්‍යවස්ථා කෙටුම්පත තුළ විසඳාගත යුතුව පවතින ප්‍රශ්න වන්නේය. දැනට පවතින බලගතු විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කොට, ආණ්ඩුවේ ප්‍රධාන කුළුණු තුන වන, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර බලය බෙදා හැරෙන සහ අබාධිතව මෙන්ම සමගාමීව ක්‍රියාත්මක වීමට එම ආයතනවලට අවස්ථාව සැලසෙන රාමුවක් තුළ ජනතා පරමාධිපත්‍යය සහතික කෙරෙන, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් වෙත මාරු වීමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණි.

අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. ඊට, විනිසුරුවරුන් පත් කිරීම සහ ඉවත් කිරීම පිළිබඳ ප්‍රතිපාදන අයත් විය යුතුය. එසේම ඇමතිවරුන්ගේ ඇඟිලි ගැසීම්වලින් තොරව රට කැරැවිය හැකි ආකාරයේ නිදහස්, නිර්භය සහ වෘත්තීය රාජ්‍ය සේවයක් ද අවශ්‍ය බව අප අමතක නොකළ යුතුය. ඇමතිවරුන්ගේ බලතල, ප්‍රතිපත්ති සම්පාදනයට සීමා විය යුතු අතර, එම ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදවීම වෘත්තීය රාජ්‍ය සේවකයන්ට භාර දිය යුතුය.

තවද, රටේ දේශපාලනික ව්‍යුහය යළි ගොඩනැගීම සඳහා අර්ථවත් බලය බෙදාහදා ගැනීමේ ක්‍රමයකුත්, මානව හිමිකම් ශක්තිමත් කිරීමකුත් අත්‍යාවශ්‍ය වන්නේය. යුද්ධය අවසන් වී අවුරුදු අටකට ආසන්න කාලයක් ගතව ඇතත් තවම ඒ සම්බන්ධයෙන් සාර්ථකත්වයක් ලබාගෙන නැත. අලුත් ව්‍යවස්ථාව තුළ, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, සෑම පුරවැසියෙකුගේම අභිමානය, ජාතික එක්සත් භාවය සහ අර්ථවත් සංහිඳියාව සඳහා වන අවශ්‍යතාව සන්තර්පණය විය යුතුය. ව්‍යවස්ථාවේ ආධිපත්‍යය සහ ජනතාවගේ පරමාධිපත්‍යය එහි වගන්ති තුළ සනිටුහන් විය යුත්තේය.

අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් ලැබී තිබේ. ඊට ප්‍රමුඛත්වයක් දීම ව්‍යවස්ථා සම්පාදකයන්ගේ වගකීමයි. ජනතා ඡන්දයෙන් පත්වූවන් විසින් පටු දේශපාලනික වාසි තකා මේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට තැත් කිරීම ඉවසිය යුතු නැත. අඩු වශයෙන් ඉදිරි මාස තුන ඇතුළතදීවත්, ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනා ‘ව්‍යවස්ථා සම්පාදක සභාව’ වෙත ඉදිරිපත් කරන ලෙස අගමැතිවරයාගෙනුත්, මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන්ගෙනුත් අපි උදක්ම ඉල්ලා සිටිමු. එසේම ඒවා මහජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කරන ලෙස ද අපි ඉල්ලා සිටිමු.

එසේම ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් මෙන්ම විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් ද අපි උදක්ම ඉල්ලා සිටින්නේ මේ යෝජනා ගැන සාධනීයව සළකා බලන ලෙසත්, රටේ සියලු පුරවැසියන්ගේ යහපත සඳහා කටයුතු කරන ලෙසත් ය. බහු-වාර්ගික සහ බහු-ආගමික රටක අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කාර්යය සුළුපටු නොවන බව අපි පිළිගනිමු. එසේ වෙතත් ඇරැඹූ ක්‍රියාවලිය එහි අවසානය දක්වා ගෙන යා යාමත්, පසුගිය මැතිවරණ දෙකේදී ජනතාව දෙන ලද විනිශ්චයට කන්දීමත් අත්‍යාවශ්‍ය ය.

2017 අගෝස්තු 24 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ, ‘ෆ්‍රයිඬේ ෆෝරම්’ සාමූහිකය විසින් නිකුත් කරන ලද New Constitution A Must නැමැති ප්‍රකාශනයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අභ්‍යාසය තවත් නාස්ති කර ගත් අවස්ථාවක් වේද? - ජාවිඞ් යූසුෆ්

Top