1150 x 80 px

බුද්ධිමතුන් හුදෙකලා ඇයි?

බුද්ධිමතුන් හුදෙකලාව ප්‍රිය කරන්නන් බව අප බොහෝ විට දකින සත්‍යයකි.

“එයා නිතරම තනි වෙන්න කැමතියි... තනියම බුදු වෙන්න වගේ...” යැයි සමාජය එවැනි අයට කියනු ඇසේ. එයින් අදහස් වන්නේ ඔවුන් ආත්මාර්ථකාමීන් බවද? කොහෙත්ම නැත. ඔවුන් අනෙක් අය ගැන නොසිතන බවක් එයින් අදහස් නොවේ. ඔවුන් සැබවින්ම සිටින්නේ තමන්වම ඇසුරු කරමිනි. බොහෝ විට ඔවුන්ගේ හොඳම මිතුරා ඔවුන්ම ය. එනිසා ඔවුන් තනි නැත.  

ලෝකයේ සුප්‍රකට පරිණාමීය මනෝවිද්‍යාඥයන් වන කනසාවා සහ ලී යන දෙපළ මේ පිළිබඳ ඉතාම වැදගත් පැනයක් සිය පර්යේෂණ ගැටලුව වශයෙන් තෝරාගත්හ. එය මෙසේ ය. “හොඳින් ගත කරන ජීවිතයක් සංයුක්ත වන්නේ කුමන දේවල්වලින්ද? යමෙකුගේ සමස්ත සතුට සඳහා බුද්ධිමත්භාවය, ජනගහන ඝනත්වය සහ මිතුරු ඇසුර බලපාන්නේ කෙසේද?”

පර්යේෂණය සඳහා වයස අවුරුදු 18 ත් 28 ත් අතර 15000 ක් තෝරා ගැනිණි. අපේ පුරාණ මුතුන්මිත්තන් විසින් නූතනයේ අප විසින් සතුට වශයෙන් හඳුනාගනු ලබන දෙයෙහි පදනම සකසා ගත්තේ කෙසේද යන්න ද මෙහිදී සලකා බැලිණි.එහිදී මුලින්ම පෙනී ගියේ අධික ජන ඝනත්වයකින් යුත්, එනම් නගර වැනි ජනාකීර්ණ ප්‍රදේශවල ජීවත් වන මිනිසුන් සිය ජීවිතය පිළිබඳ අතෘප්තිමත් ස්වභාවයකින් කල් ගත කරන බවයි. ජන ඝනත්වයෙන් අඩු, එනම් සාපේක්ෂව ජනශුන්‍ය ප්‍රදේශවල ජීවත් වන මිනිසුන් එයට වඩා සතුටින් ජීවත් වන බව ද ඔවුන්ට පෙනී ගියේය. දෙවැනුව ඔවුන් සොයාගත්තේ සමීප මිතුරන් සමග න්‍ඩාත් සමාජශීලී ලෙස හැසිරෙන්නන් ඉතාම ප්‍රීතියෙන් ජීවත් වන බවයි. ඉන්පසුව ඔවුන්ට පෙනී ගියේ දක්ෂ මිනිසුන් සහ බුද්ධිමත් මිනිසුන් සිය පවුල හා මිතුරන් සමග ඛල් ගත කරන විට පසුවන්නේ එතරම් සන්තෝෂයකින් නොවන බවයි! එසේ වන්නේ ඇයි?

සතුටේ ආර්ථික විද්‍යාව නමැති නූතන විෂය පිළිබඳ පර්යේෂකයෙක් වන කැරොල් ග්‍රහැම් මෙසේ කියයි. “බුද්ධිය සහ එය යොදාගත හැකි ආකාරය ගැන පුළුල් පරාසයක් හිමි අය, සමාජ ජීවිතය එතරම් විඳින්නට කැමති නැහැ. එයට හේතුව ඔවුන් බුද්ධිමය වශයෙන් දීර්ඝකාලීන ඉලක්ක තබාගෙන සිටිනවා.”සාමාන්‍යයෙන් බුද්ධිමත් මිනිසුන්ගේ ඉලක්ක බැලූ බැල්මට නොපෙනේ. නමුත් ඒවා දැඩි ලෙස ඔවුන්ගේ යටිසිත්වලට කා වැදී තිබේ. ඒවා සඵල කර ගැනීම වෙනුවට සමාජ ඇසුරෙහි කාලය කා දැමීමට ඔවුන් කැමති නැත. කැනසාවා සහ ලී ට අනුව නූතන මානවයාගේ මොළය සහ සිරුර අතර යම්කිසි ආකාරයක අසමතුලිතතාවයක් ඇත. එයට හේතුව කථනයේ ඉතිහාසයට සාපේක්ෂව මිනිසාගේ ජීවන රටාව වෙනස් වූ වේගය ඉතා අධික නිසා ය. මෙය බුද්ධිමත් මිනිසුන් විසින් ග්‍රහණය කර ගන්නේ මොළයේ ක්‍රියාකාරිත්වයට වැඩි කාලයක් වෙන් කළ යුතු බව වශයෙනි.

18-19 වන සියවස්වල කාර්මික විප්ලවය මිනිස් සමාජයේ හැඩරුව සහමුලින්ම වෙනස් කළේය. බුද්ධියට වඩා සමාජය තුළ කායික ශ්‍රමය හා ශ්‍රම විභජනයට මුල් තැන ලැබිණි. එක් කාර්යයක් සම්බන්ධයෙන් විශේෂඥ ශ්‍රමිකයෙකු බවට පත්වීම මේ ක්‍රමය තුළ පරම ඉලක්කය බවට පත්විය. ඒ අනුව කායික ශ්‍රම ප්‍රදානය සිය රැකියාව වශයෙන් තෝරාගැනීමට අකමැති බුද්ධිමත්හු ක්‍රමයෙන් හුදෙකලා වී තම්න්ගේ බුද්ධිමය රාජධානිවල ජීවත් වීමට පටන් ගත්හ. බාහිර සමාජයේ බොහෝ දේවල් ඔවුන්ගේ මොළය විසින් ග්‍රහණය කර ගන්නේ හරසුන් සහ කාලය කා දමන දේවල් වශයෙනි.

නමුත් අප හොඳින් දන්නා පරිදි සමාජයේ ඉදිරි දැක්මේ හැඩය තීරණය කරන්නේ බුද්ධිමතුන් විසිනි. හුදෙකලාවේ සියවසකට පසුව පවා, ඔවුන් සමාජය ඉදිරියට පැමිණ පවසන දේවල්, සමාජයේ දහස් වසක් ජීවත් වූවත් ලබාගත නොහැකි දේවල් බවට අසුරු සැණින් පත්වන්නේ මේ නිසා ය. තවද හුදෙකලාව තුළින් ඔවුන් සමාජයීය ජීවිතයේ කදිම නිරීක්ෂකයන් බවට පත්වන බව ද අත්හළ නොහැකි තර්කයකි.  එනිසා කළ යුතු වන්නේ හුදෙක් බුද්ධිමත් මිනිසුන් සමාජ ඇසුරෙන් තොර වීම හෝ සමාජ ඇසුරට එතරම් ප්‍රිය කරන්නන් නොවීම සහ එය මගහැර යන්නන් වීම නිසා පමණක්, ඔවුන්ව ප්‍රධාන ධාරාවෙන් ඈත්කොට තැබීම නොවේ. ඔවුන්ගේ දැක්මෙන් ප්‍රයෝජන ගත හැකි සමාජශීලී සංසදයන් නිර්මාණය කර ඔවුන්ට කලින් කලට හෝ ඒ වෙතට ඇරයුම් කිරීමයි. එයින් ලෝකයේ ඉදිරි ගමන පහසු වේ. 

- අමාලි ජයවීර

Top