1150 x 80 px

“වස විස නැති ජාතිය” සහ ඊට අයත් ග්ලයිෆොසේට් කළුකඩය - මහාචාර්ය චන්ද්‍ර ධර්මවර්ධන

ග්ලයිෆොසේට් නමින් හැඳින්වෙන ජනප්‍රිය පළිබෝධ නාශකය 2015 දී ආණ්ඩුව විසින් තහනම් කරන ලදි. ඒ දරුණු තීරණයට හේතුව වශයෙන් දක්වන ලද්දේ, රජරට පැතිරෙන වකුගඩු රෝගයට එය හේතු වෙතැයි යන විශ්වාසයි. අනතුරුව කෘෂි රසායනික ද්‍රව්‍ය පොදුවේ තහනම් කරමින් ලංකාව වස විසෙන් තොර ජාතියක් බවට පත්කිරීමට අපේක්ෂා කෙරේ.

 

කෘෂිකර්මය පිළිබඳ ජනාධිපති උපදේශකත්වය දරන්නේ, ‘වසවිසවලින් රට මුදවා ගනිමි’ යි කියන අතුරලියේ රතන හිමියන් ය. ඔහු දැඩි හැඟීම්බරව සහ කෝපයට පත්ව කටයුතු කිරීම සිහියට නංවන්නේ, 15 වැනි සියවසේ ඉතාලියේ සිටි ආගමික ප්‍රතිසංස්කාරකයෙකු වූ සවනරෝලා ය. කෙසේ වෙතත්, සවනරෝලා තුළින් එදා දැක ගැනීමට තිබූ සදාචාරමය කෝපය වෙනුවට රතන හිමියන්ගේ කෝපය පදනම් වන්නේ, අන්තර්ජාලය අරක්ගත් වැරදි තොරතුරු මත ය. එසේම, ප්‍රධාන ප්‍රවාහයේ විද්‍යාත්මක දැනුම ප්‍රතික්ෂේප කිරීම මත ය. වැරදි ප්‍රවෘත්ති වැළඳගෙන, එම අදහස් විකිණීම සඳහා ජනතා භීතිය පාවිච්චියට ගෙන කටයුතු කරන උන්වහන්සේ, කෘෂිකර්මය සඳහා ග්ලයිෆොසේට් පාවිච්චි කිරීමෙන් සියලු බැක්ටීරියා වර්ග, ක්ෂුද්‍ර ජීවීන් සහ පස්වල සිටින ප්‍රාණීන් ද විනාශ වන බව කියති. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ගැඩවිලන් වැනි පණුවන් සහ වෙනත් ප්‍රාණීන් ග්ලයිෆොසේට් නිසා තවත් තර වී වැඩීමයි. කෙසේ වෙතත්, ‘රජරට ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන වකුගඩු වසංගතය ඇතුළු අනේක විධ රෝග පීඩාදියට තුඩු දෙන, සමස්ත පරිසරයමත්, ආහාර සම්පාදන ක්‍රියාවලියමත් විනාශ කරනු ලබන වස විසවලින්’ ජාතිය බේරා ගැනීමේ ගැලවුම්කරු වශයෙන් උන්වහන්සේ පෙනී සිටිති.

අගෝස්තු 23 වැනි දා ‘දෙරණ’ නාලිකාවේ ‘අලුත් පාර්ලිමේන්තුව’ නැමැති වැඩ සටහනට සහභාගී වූ සාකච්ඡා මණ්ඩපයේ නායකත්වය දැරුවේ උන්වහන්සේ ය. ඊට සහභාගී වු සෙස්සන් වූයේ, හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, සමස්ත ගොවිජන සම්මේලනයේ නාමල් කරුණාරත්න, සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය ප්‍රියංක යාපා සහ අශෝක අබේගුණවර්ධන ය. අවසානයට කී තැනැත්තා, ‘තිරසාර කෘෂිකර්මයක්’ පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටින සහ ඊනියා ‘උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනයේ’ සභාපතිවරයා ය. එක්තරා දුරකට, අශෝක අබේගුණවර්ධන යනු, සෝවියට් කෘෂිකර්මය තුළ සිටි ලයිසෙන්කෝ වැන්න.

මේ පිරිසට අමතරව, ත්‍රිකුණාමලය, දඹුල්ල, කුරුණෑගල වැනි ප්‍රදේශවලින් ගෙන්වන ලද ප්‍රේක්ෂක සමූහයක් ද එම වැඩ සටහනට සහභාගී වූහ. ඔවුන්ගේ කාර්ය භාරය වුණේ, ග්ලයිෆොසේට් පමණක් නොව, සියලු කෘෂි රසායනික ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම වෙනුවෙන් පෙනී සිටින අලංකාරික ‘ප්‍රශ්න’ ඇසීම ය. මෙහි විශේෂත්වය වන්නේ, මේ කියන වැඩ සටහනට ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක ක්ෂේත්‍රයේ, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෘතහස්ත විද්වතුන් කිසිවෙකු නොසිටීමත්, වැවිලි කර්මාන්ත අංශයේ හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරුන් කිසිවෙකු සහභාගී කර නොගැනීමත් ය.

මගේ අදහසේ හැටියට, යම් දැනුම් තේරුම් ඇති අදහසක් ප්‍රකාශ කෙළේ හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන පමණි. ඔහු වස විස ගැන විද්‍යාත්මක වලංගු කරුණු ගණනාවක් ඉදිරිපත් කෙළේය. නාමල් කරුණානායක, ගොවියන් මුහුණදෙන දුෂ්කර තත්වය නිවැරදිව ඉදිරිපත් කෙළේය: එහෙත් ඔහු ඇතුළු සෙසු සියල්ලන්මත්, විෂ විද්‍යාව සහ කෘෂි රසායනික ගැන කියූ කරුණු මුළුමණින් සාවද්‍ය ය.

බටහිර ග්ලයිෆොසේට් භාවිතයෙන් නිෂ්පාදනය කරන සෝයා නිෂ්පාදිතයන් සහ සෝයා කිරි දැන් වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන බව, නාමල් කරුණාරත්න නිවැරදිව පෙන්නුම් කෙළේය. ඒ අනුව, අතදරුවන්ගේ සිට ආච්චි අම්මලා දක්වා වන සියලු ජනතාව වසවිස සහිත ජාතියක් විය හැකිය යන භීතිය ඔහු මවාපෑවේය. එහෙත් දශක ගණනාවක් තිස්සේ එකී නිෂ්පාදන භාවිත කර ඇති ශ්‍රී ලංකාවේ ජනතාව අතරේ කිසිවෙකු, ග්ලයිෆොසේට් තුළ ඇතැයි කියන විෂ හේතුවෙන් රෝගී වී ඇති බවක් අසන්නට නැත. එම සංවාද මණ්ඩපයේ සිටි කිසිවෙකු සඳහන් නොකළ තවත් කාරණයක් තිබේ. එනම්, ග්ලයිෆොසේට් බහුලව භාවිත කරමින් ‘ජනනීය විපර්යාසයට’ ලක් කෙරෙන කෘෂිකාර්මික තාක්ෂණය උපයෝගී කරගෙන නිෂ්පාදනය කළ කැනඩාවේ පරිප්පු සහ කැනෝලා තෙල් දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ පරිභෝජනයට ගැනෙමින් පවතින බවයි.

ලංකාවේ නිෂ්පාදනය කෙරෙන පළතුරු සහ එළවළුවලින් සියයට 40 ක්, වෙළඳපොළවල් නොමැති කම සහ ආහාර සංරක්ෂණ තාක්ෂණ විධි ක්‍රම නැති කම නිසා අපතේ යන බව නාමල් කරුණාරත්න පෙන්වා දුනි. ඊට මිනිත්තු කිහිපයකට කලින් පෙන්වා දුන් පරිදි, ඕස්ටේ්‍රලියාවෙන් ආනයනය කෙරෙන පළතුරු ‘මාස ගණන්’ කුණු නොවී පවතින අතර, දින කිහිපයකින් කුණු වන ශ්‍රී ලංකාවේ පළතුරු සෞඛ්‍ය සම්පන්න බවත්, ‘ස්වාභාවික’ බවත්, ආරක්ෂා සහිතව ආහාරයට ගත හැකි බවත් කියැවුණි. ඕස්ටේ්‍රලියානු පළතුරුවල, හානිකර නොවන ආලේපයක් තවරා ඇති බවත්, ඒ ආවරණය හරහා එම පළතුරුවල ආමෝදය සහ තෙතමනය ආවරණය කිරීමෙන්, රෝගකාරක බීජ සහ බිජාණු පළතුර තුළට කාවැදීම වළක්වන බවත්, එම සංවාද මණ්ඩපයේ සිටි කිසි ‘විශේෂඥයෙකු’ පෙන්වා දුන්නේ නැත. ඉහත කී ආලේපය උණු වතුර වලින් සෝදා හැරිය හැකිය. එසේ කරනවා වෙනුවට මේ වසවිස නැති ජාතියට අවශ්‍ය කරන්නේ, පිරියම් නොකළ ස්වාභාවික පළතුරු ය. එසේ නම්, තමන්ගේ නිෂ්පාදිතයෙන් සියයට 40 ක් නාස්ති වීමට හිත හදා ගැනීම හැර ලංකාවේ ගොවියාට කළ හැකි වෙන දෙයක් නොමැත.

ප්‍රියංක යාපා සහ අශෝක අබේගුණවර්ධන හරිත විප්ලවය පිළිබඳ කවදත් මතුරන සුපුරුදු මුසාවාද හෑල්ලත්, ‘විකල්ප කෘෂිකර්මයේ’ ශක්‍යතාවන් ගැනත් කීහ. ඒ සියලු කරුණු, කැලිෆොර්නියානු ක්‍රියාධරයන් කියනු අනන්තවත් මා අසා තිබේ. අපේ කට්ටිය ඒවා ණයට ගෙන ඇත්තේ කොහෙන්දැ යි එයින් පෙන්නුම් කෙරුණි. ඒ මදිවාට, ග්ලයිෆොසේට් වනාහී ‘බටහිර නිෂ්පාදනයක්’ බව හෑල්ලුවට කී ආචාර්ය යාපා, තමා බටහිර ලෝකයෙන් ‘කාබනික කෘෂිකර්මය උගෙන ඇති’ බවත් කීමට මැළි නොවීය. පුදුමය වන්නේ, මේ කියන වසවිස වුව, එය නිෂ්පාදනය කෙරෙන්නේ ලංකාවේ නම් හෙවත් එය දේශීය වන්නේ නම් ඔහුට කමක් නැති කම ය.

ග්ලයිෆොසේට්වලට විකල්පයක් වශයෙන් චීනයෙන් (බටහිරින් නොව) ආනයනය කෙරෙන ආම්පන්නවලින් වල් පැලෑටි නැසීම සඳහා ‘විකල්ප තාක්ෂණ’ විධි ගණනාවක් ගැන ද ආචාර්ය යාපා සඳහන් කෙළේය. ඔහු කියූ සෑම ක්‍රමයක්ම මේ ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් වැඩ කොට ඇති අපට හුරුපුරුදු ය. ඒවා පාරිසරිකව හානිදායක වෙනවා පමණක් නොව, අකාර්යක්ෂම විධි ක්‍රමයන් ද වන්නේය. ඊට වඩා ග්ලයිෆොසේට් කාර්යක්ෂම ය. ලාභදායක ය. පරිසර හිතකාමී ය. ප්‍රියංක යාපා නිර්දේශ කළ මේ විධි ක්‍රම, උදාහරණ වශයෙන්, වල් පැලෑටි ‘පිළිස්සීම’ සඳහා භාවිත කෙරෙන අවරක්ත කිරණ හෝ සූක්ෂම තරංග මගින් කෙරෙන්නේ, හොඳ සහ නරක බීජ ජීවීන් සියල්ල විනාශ වී යාමයි. එහෙත් ග්ලයිෆොසේට්, පැලෑටි මත පමණක් ක්‍රියාත්මක වන අතර, පණුවන්, කුරුමිණියන් සහ වෙනත් ජීවීන්ට හානි නොකරයි. මෙවැනි ක්ෂුද්‍ර ජීවීන් සහ ගැඩවිලන් ඒ මගින් විනාශ නොකෙරෙනවා පමණක් නොව, කැඞ්මියම් වැනි විෂ පසෙන් උදුරා දැමීමට සහ සාමාන්‍ය පසේ නොහැදෙන ගැඩවිලන්ට බෝ වීමටත් සහාය වෙයි. මෙය ඒ පිළිබඳ අධ්‍යයනයන්හි නිරත චීන පර්යේෂකයන් විසින් පෙන්නුම් කොට තිබේ.

ග්ලයිෆොසේට් තහනම කිසි විටෙක සිදු නොවිය යුතුව තිබුණු දෙයකැ යි මම කවදත් විශ්වාස කරමි. එම තහනම ඉවත් කළ යුතුව තිබේ. එසේ කළ යුත්තේ හුදෙක් මහ පරිමාණ තේ වගාවන්හි අභිවෘද්ධිය සඳහා පමණක් නොවේ. සුළු පරිමාණ ගොවියා සහ එළවළු ගොවියා සඳහා ද එසේ කිරීම අත්‍යාවශ්‍ය වන්නේය. මේ තහනම ක්‍රියාත්මක කිරීමෙන් පසුව පවා, විවිධ මතවාදවලින් ඔළු කුරුවල් කරගෙන නැති බොහෝ ප්‍රායෝගික ගොවියන් (ඔහු ද ඇතුළුව), රතන හිමියන්ගේ ‘වස විස නැති රටේ’ කළු කඩයෙන් නිදහසේ ලබා ගත හැකි ග්ලයිෆොසේට් මිළ දී ගෙන පාවිච්චියට ගත් බව, හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන පිළිගත්තේය. හරියට, මන්ත්‍රීවරුන්ගේ බදු රහිත වාහන කළු කඩයෙන් මිළ දී ගන්නවා වාගේ ය.

රතන හිමියන් ඇතුළු ඔහුගේ කණ්ඩායම ග්ලයිෆොසේට් රකුසෙකු වශයෙන් දකිතත්, (ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන් ද ඇතුළු) අති බහුතරයක් විද්‍යාඥයන් එය දකින්නේ මෘදු අවදානමක් වශයෙන් සහ සෞඛ්‍ය අවදානමක් නැති දෙයක් වශයෙනි. එහි ඇති ‘විෂ කාරකත්වය’ සමාන වන්නේ ‘ලයිෆ් බෝයි’ සබන්වල ඇති විෂ කාරකත්වයටයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය’ 2014 දී එය වර්ග කොට ඇත්තේ, දෙවැනි පංතියේ අවදානමක් වශයෙනි. එනම්, පිළිකා සම්බන්ධයෙන් ගත් විට, ‘රතු මස්‘ කෑමෙන් ඇති විය හැකි බලපෑමට සමාන තත්වයකිනි. එයින් මොනම විදිහක හෝ සෞඛ්‍ය අවදානමක් නැති බව ප්‍රකාශයට පත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ‘ආහාර හා කෘෂිකර්ම සංවිධානය’ 2016 මැයි 16 වැනි දා ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කෙළේය. මේ ආයතන දෙකේ ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කොට සිටින්නේ, දිනපතා ග්ලයිෆොසේට් හැන්දක් දෙකක් බීවත් හානියක් නොවන බවයි. එය කෙතෙක් ආරක්ෂිත දැ යි කිවහොත්, අත්වැසුම් සහ ඇස් ආවරණ රහිතව පවා එය ගැසිය හැකිය. මන්ද යත්, මෙය ඉසින ප්‍රමාණයේ සැර, ගොවියා තමන්ගේම ට්‍රැක්ටරයේ ඩීසල් දහනය ආඝ්‍රාණය කිරීමෙන් ශරීරයට උකහා ගන්නා විෂටත් වඩා අඩු බැවිනි. 2004 දී මහාචාර්ය අකුවෙලා සහ ඔහුගේ සහායකයෝ දකුණු කැරොලිනාවේ සහ මිනොසෙටා ප්‍රදේශයේ, අත්වැසුම් හෝ ඇස් ආවරණ නොමැතිව ග්ලයිෆොසේට් පාවිච්චි කරන ගොවියන් පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් කළහ. එහිදී ඔවුන්ට සොයා ගැනීමට හැකි වුණේ, බිලියනයකට 223 ක කොටස් මූත්‍රවල ද, එහි මධ්‍යන්‍ය අගය බිලියනයට 3 අගයක් ද ගත් බවයි. අනතුරුදායක උපරිමය වශයෙන් සැළකෙන්නේ, බිලියනයට 700 කි. මේ අනුව බලන විට ග්ලයිෆොසේට් අධිග්‍රහණයේ අගය ඊට බෙහෙවින් අඩු බව පෙනේ.

විද්‍යාත්මක දැනුමක් නැති සාමාන්‍ය ජනතාව, ‘පිළිකා පර්යේෂණ ජාත්‍යන්තර ආයතනය’ නිකුත් කළ නිවේදනය වරදවා තේරුම් ගෙන ඇති අතර ග්ලයිෆොසේට් තුළ ඉතා භයානක පිළිකා කාරකයන් ඇතැ යි සිතා තිබේ. විටින් විට මහජනතාවට විකුණනු ලබන රතන හිමියන්ගේ දේශයේ තීරුබදු රහිත වාහනවලින් පිට කෙරෙන විස වායුවෙන් ඇති කෙරෙන උපද්‍රවය, මහින්ද යාපා අබේවර්ධන හිටපු ඇමතිවරයාගේ තේ අක්කර 30 ක ප්‍රමාණය සඳහා පසුගිය අවුරුදු 10 ක කාලය තුළ පාවිච්චි කළ ග්ලයිෆොසේට් අනතුරට වඩා බෙහෙවින් හානිකර ය. පැරසිටමෝල් පෙති දෙකකින් හිස ඇම්ම නැති කළ හැකි වෙතත්, ඊට වැඩියෙන් පාවිච්චි කළොත් එය විසක් වන බව හිටපු ඇමතිවරයා නිවැරදිව පෙන්නුම් කොට දුන්නේය. කෘෂි රසායන සම්බන්ධයෙන් ඇති විය හැකි ප්‍රශ්නයත් ඒ හා සමාන ය: අධි භාවිතය.

රතන හිමියන්ට අනුව, ග්ලයිෆොසේට් ‘එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් වඩා භයානක’ ය. අධි භාවිතයට ගියොත්, එය කිසිවක් සමග සැසඳිය නොහැකි තරමටත් භයානකයි. කඳුකරයේ භාවිත කෙරෙන ග්ලයිෆොසේට්, ගංගා දිගේ පහළට ගලාගෙන විත් සමස්ත රටම විස කරතැ යි කියමින් උන්වහන්සේ කියා සිටින්නේ, මොන ආකාරයකින්වත් ග්ලයිෆොසේට් එම ප්‍රදේශයේ භාවිත නොකළ යුතු බවයි.

ගංගා ජලයේ ග්ලයිෆොසේට් තිබෙතොත්, අපේ ජලයේ පිහිටි සියලු ඇල්ගී එයින් විනාශ වනු ඇත. එහෙත් එසේ වන බවක් කොහෙත්ම පෙනෙන්ට නැත. කරන ලද සියලු රසායනික පර්යේෂණවලින් පෙන්නුම් කොට ඇත්තේ ගංගා ජලයේ ග්ලයිෆොසේට් හෝ එහි අතුරුබිතුරු කිසිවක් නැති බවයි. මන්ද යත්, ඒවා ඉතා ඉක්මණින් වියෝජනය වී, (ඝර්ම කලාපීය) පස සමග ප්‍රතික්‍රියා කරන බැවිනි. ඒ මගින්, සාමාන්‍යයෙන් පසේ අඩංගු බර ලෝහ ධාතු පාලනය කෙරේ. ග්ලයිෆොසේට්මත් කැඩී විසිරී යන අතර, අවසානයේදී පසට අවශ්‍ය කරන ෆොස්පේට්වලට දායක වෙයි. කොක්කු ගැන ඕනෑම ගොවියෙක් දනී. කුඹුරක් සීසාන විට මේ කොක්කු එහි ඇදෙති. අපේ පස විස සහිත නම්, ගැඩවිලන් සහ වෙනත් ජීවීන් නැති මළ පසක් නම්, නගුල පස්සෙන් කොක්කු වහන්නේ මන්ද? කොක්කු මිය නොයන්නේ ඇයි? එහි අදහස වන්නේ, පස වස විසෙන් තොර බවත්, කොක්කුන් වැනි පක්ෂීන් ආකර්ශනය කර ගැනීමට තරම් නිරෝගී බවත් ය.

අපේ පරිසරයට බලපාන බරපතලම තර්ජන වන්නේ:
(අ) මිනිස් එලිපෙහෙලි කිරීම් නිසා සතුන්ගේ වාසභූමි අහිමි වීම
(ආ) මෝටර් රථ, ගොවිපොල යන්ත්‍රෝපකරණ සහ කර්මාන්තවලින් පිට කෙරෙන විස වායු
(ඇ) පැලෑටි සහ සත්ව ගොමවල අනුසාර අංගවල ජෛව සමුච්චගත වීම සහ ලෝහ විෂ විශාල ධාරිතාවක් පොළොවට එක්කාසු වන විට කොම්පෝස්ට් පොහොර වශයෙන් සත්ව ගොම අනුසාර යළි යළිත් පාවිච්චියට ගැනීමයි.

ඊනියා ‘දූෂිත ලෝහමය පොහොර’ තුළින් ප්‍රමාණවත් ලෝහමය විසක් පසට එක්කාසු කරන්නේ නැත. ඇත්ත වශයෙන්ම, ඊට ප්‍රතිපක්ෂව, අතිශය දූෂිත පොහොරවලින් පවා විශාල ප්‍රමාණයේ ලෝහමය විසක් පසට එක් නොකෙරෙන බව පැහැදිළි ය. උදාහරණයක් වශයෙන්, වී ගොවිතැනේ සෙන්ටි මීටර් 15 ක ගැඹුරක හෙක්ටායර් එකක් සඳහා ෆොස්පේට් කිලෝග්‍රෑම් 15 ක් ආදේශ කළත් එයින් එකතු වන්නේ වරකට එක කිලෝවකට සී.ඩී සහ ඒ.එස්. මිලිග්‍රෑම් 1.25 ක් පමණි. එහෙත් අනතුරුදායක මට්ටම ඉක්මවන්නේ, ඒ.එස්. මිලිග්‍රෑම් 1.5 ක් සහ සී.ඩී. මිලිග්‍රෑම් 1-3 කි. මේ අනුව, සකල සී.ඩී. සහ ඒ.එස්. වතුරට සේදී නොගොස් පසේම ඉතිරි වුවත්, පසේ සී.ඩී. මට්ටම තුළ පැහැදිළි වෙනසක් දැකීමට නම් අවුරුදු දෙදහස් හාරසීයක් ගත වන අතර, ඒ.එස්. මට්ටමේ වෙනසක් දැකීමට අවුරුදු හාර දහසක්වත් ගතවනු ඇත. නමුත් සත්තකින්ම සිදුවන්නේ, සී.ඩී. සහ ඒ.එස්. ධාරිතාවෙන් විශාල ප්‍රමාණයක් මෝසම් වැස්සට ගසාගෙන යාමයි. එසේ හෙයින් දැනට පවතින සී.ඩී. මට්ටම් වනාහී බොහෝ විට භූ-විද්‍යාත්මක ප්‍රභවයක ප්‍රතිඵලයකි.

මේ සංවාදයේදී නාලක කරුණාරත්න ඉතා සාහසික ප්‍රකාශයක් කෙළේය. එනම්, දැන් කිසිවෙකු වක්කඩකින් වතුර ටිකක් නොබොන බවකි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෙනත් ස්වාධීන ආයතන මගින් කරන ලද පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ, වක්කඩකින් හෝ වාරිමාර්ග ඇළ මාර්ගවලින් හෝ වැව්වලින් දිය බීම මුළුමණින්ම ආරක්ෂා සහිත බවයි. රජරට සමහර ළිංවල වතුරේ ෆ්ලෝරයිඞ් සහ මැග්නීසියම් අඩංගු වෙයි. ඇතැම් අධ්‍යයන තුළින් හෙළිදරව් වී ඇති සාක්ෂි අනුව, මෙකී ගලා නොබසින ළිං ජලය තුළ අඩංගු ෆ්ලෝරයිඞ් සහ මැග්නීසියම්, වකුගඩු රෝගයට හේතුකාරක වන බව කියැවෙයි. එය ග්ලයිෆොසේට්වලට හෝ බර ලෝහවලට සම්බන්ධයක් නැත.

සබන්වලින් තරම් ග්ලයිෆොසේට්වලින් පසට අනතුරක් නැතත්, සමහර විට පසට එය සාරවත් විය හැකි වෙතත්, ග්ලයිෆොසේට් යනු අති භයානක විසක් සේ අන්තර්ජාලයේ ප්‍රකාශයට පත්වෙයි. ‘ස්වාභාවික කෘෂිකර්මය’, ‘ස්වභාව ධර්මයේ නාඩිය’, ‘පෙරලා මහ පොළොවට’, ‘සම්ප්‍රදායික කුස්සිය’, ‘ස්වභාව ධර්මයේ උයන’ සහ ‘සනීපදායී හරිතය’ ආදී ආකර්ශනීය නම්වලින් හැඳින්වෙන මෙවැනි වෙබ් අඩවි අනන්තවත් ය. ‘අදූෂිත කාබනික ආහාර’ සොයන කොළඹ ඉහළ පංතියේ ප්‍රභූ ජනයාට ඒවා මසුරං ය. සල්ලි යහමින් තිබෙන, අධ්‍යාපනය අඩුවෙන් ලැබූ හොලිවුඞ් තරු මේ මෝස්තරය පතුරුවති. ඊනියා විද්‍යා රූපකවල දවටා ඉදිරිපත් කෙරෙන මිථ්‍යා මත සහ වැරදි දත්ත බොහොමයක්, ‘ගූගල්’ සෙවීම් තුළ ඔබට දැක ගත හැකි වනු ඇත. එසේම, ‘චෞර සඟරා’ වශයෙන් දැන් හඳුනාගෙන ඇති විවිධ ප්‍රකාශන තුළත් මෙවැනිම මිථ්‍යාවන් වපුරන ලිපි ලේඛන බෙහෙවින් පළව තිබෙනු දක්නට ලැබේ.

සියයකට ආසන්න නොබෙල් ත්‍යාගලාභීන් පිරිසක් 2016 ජුලි 4 වැනි දා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළහ. ‘ගොඩ විද්‍යා’ ව්‍යාපෘති පිළිබඳ කණස්සල්ල පළ කළ ඔවුහූ, ‘ග්‍රීන් පීස්’ වැනි ව්‍යාපාර දැඩි විවේචනයට ලක් කළ අතර, බොරු ‘දත්ත’ ප්‍රකාශයට පත් කිරීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටියහ. මේ ‘චෞර සඟරා’ විද්වත් මුහුණුවරක් ගත්තත්, ඒවා ප්‍රකාශයට පත්කරනු ලබන්නේ විද්වතුන් හෝ වැදගත් ප්‍රකාශන ආයතන මගින් හෝ නොවේ. මුදල් ගෙවා ඕනෑම දෙයක් මේවායේ පළ කර ගත හැකිය. රජරට විශ්ව විද්‍යාලයේ දොස්තර ජයසුමන සහ නාථ දෙවියන් සමග මිස වෙනත් විද්‍යාවක් සමග සම්බන්ධයක් නැති සේනානායක නැමැත්තියක්, ඇමරිකාවේ පදිංචි වෛද්‍යවරයෙකු ද සමග එක් වී, චීන ව්‍යාපාරිකයෙකුට අයත් මෙවැනි චෞර සඟරාවක ස්වකීය ‘උපන්‍යාසයක්’ පළ කළහ. එයින් කියැවුණේ, රජරට දකින්ට ලැබෙන වකුගඩු රෝගය හටගන්නේ, ආසනික්, ග්ලයිෆොසේට් සහ කැල්සියම් යන සංඝටකවල ඒකාබද්ධතාවෙන් ඇති වන සංකීර්ණ රෝගී තත්වයක් නිසා බවයි. එහෙත් මෙවැන්නක් සනාථ කිරීම සඳහා කිසි සාක්ෂියක් ඔවුන් ඉදිරිපත් කොට නැත. ඇත්තෙන්ම එවැනි සාක්ෂියක් සොයා ගැනීමට හැකියාවක් ඇත්තේ ද නැත. ටි්‍රලියනයක් පරමාණු අතරින් වුව එක පරමාණුවක් වෙන් කොට හඳුනාගත හැකි අද වැනි දවසක, ආසනික් හෝ ග්ලයිෆොසේට් අංශු මාත්‍රයක් හෝ මේ ප්‍රදේශයෙන් හඳුනාගෙන නැත. වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් කරන ලද පටක විශ්ලේෂණවලින්, එම රෝගීන්ගේ මූත්‍රවල, ලේවල හෝ ශරීර සාම්පලවල, ග්ලයිෆොසේට් පිළිබඳ ප්‍රමාණවත් සළකුණක් සොයා ගැනීමට හැකි වී ඇත්තේ ද නැත. එසේ තිබියදීත්, ග්ලයිෆොසේට් මෙහි රෝගකාරකය වශයෙන් හංවඩු ගසා ශ්‍රී ලංකාවේ තහනම් කෙරුණි. එයින් සිදු වුණේ වෙනම කළු කඩයක් නිර්මාණය වීමයි. මත්ද්‍රව්‍ය සඳහා වන සරු කළු කඩයට දැන් තවත් ලාභදායී නිෂ්පාදනයක් ලැබී තිබේ.

ප්‍රංශයේ, නෙදර්ලන්තයේ සහ රුසියාවේ පවා ග්ලයිෆොසේට් තහනම් කොට ඇති බව, අන්තර්ජාලය ඔස්සේ ‘ඔප්පු’ කෙනෙකුට කළ හැක. එහෙත් සත්‍යය එයින් මුළුමණින් වෙනස් ය. ඇත්තෙන්ම තහනමක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කොට ඇත්තේ ශ්‍රී ලංකාවත්, එල් සැල්වදෝරය යන රටත් පමණි. සෝවියට් පාලන කාලය තුළ තමන්ගේ කෘෂිකර්මය මුළුමණින් කාබාසිනියා කර ගත් රුසියාව මේ වන විට තමන්ගේම ග්ලයිෆොසේට් නිපදවා ගන්නා අතර, ‘ජනනීය විපර්යාසයට ලක්කළ නිෂ්පාදන’ ද භාවිත කරගෙන යයි. විවිධ මතවාදවලින් ඔළු කුරුවල් කර ගත් ශ්‍රී ලංකාවේ දේශීය ලයිසෙන්කෝලා සහ රස්පුටින්ලා, දරිද්‍රතාවයේ, මන්දපෝෂණයේ සහ සම්ප්‍රදායික තාක්ෂණයේ අඳුරු යුගයකට රට තල්ලු කරමින් සිටිති. සම්ප්‍රදායික තාක්ෂණයේ විශාල කොටසක් සමන්විත වන්නේ මිථ්‍යා විශ්වාසවලිනි. එසේම, වැදගත් සහ වටිනා ඥානයත් එහි ගැබ්වෙයි. ඒ ඥානය මේ වන විට විද්‍යාත්මක කෘෂිකර්මයට උකහාගෙන ඇත. ආහාර විද්‍යාවත්, පාරිසරික තිරසාර තාක්ෂණයත් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට යම් කාලයක කටයුතු කොට ඇති කෙනෙකු වශයෙන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු සහ උපකුලපතිවරයෙකු වශයෙන් කලක් කටයුතු කොට ඇති කෙනෙකු වශයෙන්, ආචාර්ය පානබොක්කේ සමග මම එකඟ වෙමි: අද ශ්‍රී ලංකාවේ ආහාර විද්‍යාව සහ කෘෂිකර්මාන්තය කට්ටඩියන්ගේ අතට පත්ව ඇත.

2017 අගෝස්තු 31 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Toxin-Free Nation & Its Black Market in Glyphosate මැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

විජයදාස රාජපක්ෂ: දූෂිතයන්ගේ ආරක්ෂකයා ද, දූෂණ-විරෝධයේ ශුද්ධ වූ රණකාමියා ද - සිරි ගමගේ

Top