1150 x 80 px

V 2025 හෙවත් තාරුණ්‍යය 'අන්දවා' පොහොසත් රටක් හැදීම

- බැල්කනියේ සිටි විශේෂ ලියුම්කාරියක විසිනි.

එය අතිශයින්ම සංවිධානාත්මක උත්සවයකි. අන්තර්ජාතික මට්ටමේ වැඩකි. ඒ ගැන කිසිම තර්කයක් නැත. පුංචි ළමුන් හැත්තෑ දෙනෙක් නානා ප්‍රකාර ලෙස අන්දවා සිංහල ජාතික ගීය ගායනා කිරීමෙන් ආරම්භ වූ උත්සව සභාවේ වැඩ කටයුතු” දමිල ජාතික ගීය ගයා අවසන් විය. චාපාගේ සාමයේ ගීතයේ දමිල වර්ෂන් එක, ජනතාව උත්සවය අවසන් වී යන්නට ගිය පසු ප්‍රචාරය කෙරිණි. ඒකත් කමක් නැත. නමුත් මේ මැජික් සන්දර්ශනය බලා සිටින මේ රටේ සැබෑ තාරුණ්‍යට පාලකයන්ගෙන් අසන්නට තිබෙන්නේ එකම එක ප්‍රශ්නයකි. 

“හත් දෙවියනි” අපව මෙසේ බිල්ලට දෙන්නට අප නුඹලාට කළ වරද කුමක්ද..?”

උත්සවය සම්පූර්ණයෙන්ම ‘සෙට් කර’ ගැසූ ගේමකි. තාරුණ්‍යය යනුවෙන් එහිදී අර්ථ දක්වා තිබුණේ රටේ යොවුන් පාර්ලිමේන්තුවයි. එනිසා මුලින්ම කිව යුතු වන්නේ එතැන තාරුණ්‍යයේ නියෝජනයක් නොතිබුණු බවයි. සංවිධායකයන් කර තිබූ එක් හොඳ වැඩක් වූයේ උත්සවයට සම්භාවනීය අමුත්තන් පැමිණෙන අවස්ථාවේ රූපරාමු උත්සව සභාවේ ඩිජිටල් තිරය මත සජීවී ව ප්‍රදර්ශනය කිරීමයි. එහිදී ප්‍රධාන ආරාධිතයන් වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පිළිගැනීම භාර වී තිබුණේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ය. මේ දෙදෙනාගෙන් ජනාධිපතිවරයා ව පිළිගත් යො.පා.ම. ප්‍රීතිය දරාගත නොහී දෙවරක්ම කොන්ද නමමින් වැඳ වැටුණේය. එයින් ද නොනැවතී සිය බඩගෙඩිය ද උස්සාගෙන ජනපති පිටුපසින් දුවයන්නට වන්නේය. එක වරක් අතරමගදී ජනපතිව මගහැරුණු නිසා පය ඉක්මන් කරමින් දෙකට නැවෙමින් නැවත වරක් ඔහු පස්සෙන් යන්නේය. නියම අනාගත දේශපාලකයෙකි!!

සමාජයට ප්‍රශ්නය තිබෙන්නේ මේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ දේශපාලන දැක්ම ගැන ය. යෞවන සමිති සම්මේනයේ නියෝජ්‍ය සභාපති තරුණයාට රටේ ජනාධිපතිවරයාගෙන් අසන්නට තිබූ එකම එක ප්‍රශ්නය වූයේ “අතිගරු ජනාධිපතිතුමනි, සම්මුතිවාදී ආණ්ඩුවේ ප්‍රගතිය ගැන ඔබතුමාගේ මතය කුමක්ද?” යන්න ය.!සාකච්ඡාව මෙහෙයවූ, අනන්‍යතාවය හෝ ස්වාධීනත්වය සම්බන්ධයෙන් කිසිදු අනන්‍යතාවයක් නැති නිවේදකයෙක් ලෙස ප්‍රකට චමින්ද ගුණරත්න ඉන්පසු ඒ බෝලය අගමැතිතුමාට ද පාස් කරයි. චමින්ද මුලින්ම කියා සිටි පරිදි ඔහුගේ දකුණු පස පැත්තෙන් ශාලාව පුරවා අසුන්ගෙන සිටින්නේ රටේ අනාගත නායකත්වය හෙවත් තරුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් ය. ඔවුන්ට ටයි කෝට් සාරි අන්දවා සන්දර්ශන සඳහා කලින්ම සූදානම් කර තිබූ බව එයින් සනාථ විය. 

යොවුන් පාර්ලිමේන්තුවේ කථානායක ද පට්ට ගැසූ ප්‍රශ්නයක් ඇසුවේය. ඔහු ඇසුවේ වසර 2025 වන විට තරුණ තරුණියන්ට රැකියා දස දහසක් ලබාදෙන ඉලක්කයට යන ක්‍රමය ගැන ය. එයට අගමැතිතුමා දුන් උත්තරය වුණේ දැනටමත් සම්මුතිවාදී ආණ්ඩුව හරහා එයට ප්‍රවේශය ගෙන තිබෙන බව ය. කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ (කළුතර දිස්ත්‍රික් පා.ම. නියෝජ්‍ය ඇමති අජිත් පෙරේරා ද සභාවේ සිටියේය.) තරුණිය ඇසූ ප්‍රශ්නය වූයේ රටට සම්මුතිය තුළින් උපරිම වාසිය ලැබුණා කියා ඔබතුමා හිතනවාද යනුවෙනි. ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණ සිටි තරුණ මන්ත්‍රීවරියට තිබුණු එකම එක ගැටලුව වූයේ ණය උගුල ගැන ය.

අඩුම වශයෙන් මඩකලපුවෙන් පැමිණ සිටි දමිල තරුණිය (යොවුන් මන්ත්‍රීවරිය)ට පවා තමන්ගේ අම්මලා අප්පලාගේ දෙනෙත්වල තිබූ කන්නීර් පූක්කල් (කඳුලු මල්) ගැන අසන්නට කොන්දක් තිබුණේ නැත. දින දෙසීයයකට ආසන්න කාලයක් තිස්සේ සිදුකෙරෙන උතුරු නැගෙනහිර අතුරුදන්වීම්වලට අදාළ උපවාසය ගැන ඇයට කිසිම ප්‍රශ්නයක් නැත. තිස්වසරක යුධ සමය තුළ අහිමි වූ දමිල යෞවනය ගැන ඇය එක වචනයක්වත් ඇසුවේ නැත. ඇය ද පාස් කළේ පොදු බෝලයකි. දැන් පවතින ආණ්ඩුව අන් කවරදාටත් වඩා ජාත්‍යන්තර සහයෝගය දිනාගෙන ඇති බවත් මේ සහයෝගය රටේ සංහිඳියාව හා සංවර්ධනයට යොදාගන්නේ කොහොමද යන්නත් ඇය ඇසුවාය. 

මේ ප්‍රශ්න ඇසීම හොඳින් ‘සෙට් කර ගහන ගේමක්’ බව එසැණින් හෙළිදරව් වූයේ දමිල තරුණිය ඇසූ ප්‍රශ්නවල සිංහල පරිවර්තනය, සභාවට එසැණින් පැමිණි භාෂා පරිවර්තකයෙකු විසින් කොලයක් බලාගෙන කියවන්නට පටන් ගත් නිසාය. පැහැදිලිවම එය පරිවර්තිත ප්‍රශ්නය ලියාගන්නට කාලයක් නොදී සිදුවූ දෙයකි. මොවුන් මේ රවටන්නේ කාවද..?

දැන් රටේ තාරුණ්‍යයට මේ මොහොතේ තිබෙන ප්‍රශ්න මේවාද..? මොවුන් ඇසූ ප්‍රශ්නවල හැටියට මේ රටේ තාරුණ්‍යයට අසන්නට තිබෙන්නේ සම්මුතිවාදී ආණ්ඩුව ගැන ය. ණය උගුල ගැන ය. ඒවා පොදු ප්‍රශ්න ය. ඔවුන් කිසිදු නිශ්චිත ප්‍රශ්නයක් රටේ ඉහළ නායකත්වය වෙත යොමු කරන්නේ නැත. ඔවුන් කිසිම අවස්ථාවක ඒ පිළිතුරු පෙරළා ප්‍රශ්න කරන්නේ ද නැත. දස වසරක රාජපක්ෂ පවුල් පාලනය ගැන පට්ටා ගැසූ වැකි වලින් සමන්විත වීඩියෝව නිෂ්පාදනය සඳහා ජනතා මුදලින් මිලියන කීයක් වියදම් කරන්න ඇත්දැයි අපි නොදනිමු. නමුත් යොවුන් පාර්ලිමේන්තුවේ කිසිදු සාමාජිකයෙකුට රාජපක්ෂලාගේ සමයේ සිදුවූ වසීම් තාජුඩීන්ගේ විමර්ශනවල වසර දෙකක ප්‍රගතිය ගැන නායකයන්ගෙන් අසන්නට මතක් වන්නේ නැත. “සංවර්ධනය අද පටන් ගනිමු” යැයි තෙපරබාන විට “පහුගිය අවුරුදු දෙකේ මොනවද කළේ” යැයි අසන්නට මතක් වන්නේ නැත. මේ මොහොතේ රටේ විරැකියා ප්‍රතිශතය කීයදැයි අසන්නට මතක් වන්නේ නැත. ගබ්සාව නීතිගත කිරීමේ සමාජ සංවාදය ගැන අසන්නේ නැත. අඩුම වශයෙන් රටේ සමරිසි ප්‍රජාවගේ ගැටලු ගැන රනිල්ගෙන් අසන්නේ නැත.

රාජපක්ෂගේ ලොකුපුතා ඒ දවස්වල තාරුණ්‍යයට හොටක්, සමාවන්න තාරුණ්‍යයට හෙටක් යැයි කියමින් මාධ්‍ය සන්දර්ශන කළේ ද මේ ආකාරයෙන්ම ය. තාරුණ්‍යය ඉස්සරහට දමාගෙන ඔහු හදාගත් නිල් බලකාය කළකී දෑ ගැන අද වන විට විමර්ශනයක්වත් අවසන් වී තිබේද? ඒ ලොකු පුතා ද රටේ තරුණ නායකයෙකි. රටේ නිශ්චිත ප්‍රශ්න හඳුනා නොගනිමින් “අපි තාරුණ්‍යය අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා” යැයි මාධ්‍ය ප්‍රචාරය ගන්නා විට මේ උත්සවයේ සංවිධායකයන් අඩුම ගණනේ මේ සා දැවැන්ත ඇන්දිල්ලකට යා නොයුතුව තිබිණි. ඔවුන් ඇසුවේ රටේ පාලකයන්ට උවමනා ප්‍රශ්න ය. මේ සිදුවූ විකාරයත්, පිළිතුරට අනුව ප්‍රශ්නය සකස් කරනා බොළඳ ක්‍රමවේදයත් දකින ඕනෑම අයෙකුට සිනා පහළ වීම නතර කර ගත නොහැකි ය. කිහිප දෙනෙක් උත්සවය අතරමගදී නැගිට යන අන්දම ද දැකගන්නට ලැබිණි. 

උත්සවයේ බැල්කනියට පවා ඇතුළු කරගන්නා ලද්දේ ආරාධිතයන් පමණි. කිසිම අවස්ථාවක උත්සව සභාව සහ වේදිකාව අතර අන්තර් සන්නිවේදනයක් හෝ ප්‍රශ්න ඇසීමක් නොවන තැනට සියල්ල සංවිධානය කර තිබිණි. ඉතින් රටේ නායකයන් හිතාගෙන ඉන්නේ ඔවුන් තාරුණ්‍යයේ ප්‍රශ්නවලට උත්තර දුන්නා කියා ද? වසර 2015 ආමන්ත්‍රණය කරන වැඩපිළිවෙළ අඩංගු, චමින්දගේ භාෂාවෙන් කියනවා නම් ‘ලිඛිත ග්‍රන්ථය” මහා ශ්‍රේෂ්ඨ කාර්යයක් කරනවාක් මෙන් පිළිගැන්වුණේ ද පෙර කී තරුණ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් හට ය. එක් යොවුන් නියෝජිතයෙකුට එය පිළිගන්වද්දී ගැලරියෙන් නැගුණු විෂ්ල් හඬ නැවත නැවතත් සනාථ කළේ මුල් පෙළ දේශපාලකයන් විසින් යොවුන් පාර්ලිමේන්තුව වශයෙන් මේ පෝෂණය කරමින් සිටින්නේ ජාගර දියවන්නා ක්‍රමයේම ඊළඟ පරම්පරාව බවයි. තවද එකී ලිඛිත ග්‍රන්ථය පැමිණ සිටි සෑම අයෙකුගේම අතට පත් කරන්නට පවා දුර්වල බෙදාහැරීමේ ක්‍රමවේදය සමත් නොවූ බව අපි දෑසින් දුටුවෙමු. 

අප ජීවත් වන්නේ බිඳ වැටුණු ක්‍රමයක් සහිත අසමත් රාජ්‍යයක ය. ඒ බිඳ වැටුණු ක්‍රමයට වැඩි වශයෙන්ම වගකිව යුතු වන්නේ ‘මං පොර ජාතකය’ ජප කරන” වාසි සොයන දේශපාලකයන් බවට මේ රටේ සැබෑ තාරුණ්‍යය තුළ මනා අවබෝධයක් තිබේ. යොවුන් පාර්ලිමේන්තුව තේරී පත්වන්නේ එයට කිසිසේත්ම විකල්පයක් වශයෙන් නොවේ. අප ඉතාම හොඳින් දන්නා අන්දමට යොවුන් පාර්ලිමේන්තුව කිසිසේත්ම රටේ තාරුණ්‍යයට විකල්ප ආමන්ත්‍රණයක් නොවේ. එය අදාළ අමාත්‍යාංශය විසින් ජනතා මුදල් කෝටි ගණන් වාර්ෂිකව වැය කරමින් නඩත්තු කරන සුදු අලියෙකුට දෙවැනි නැත. යොවුන් පාර්ලිමේන්තු සාමාජිකයන් ගංවතුර ආධාර බෙදීම, ක්‍රීඩා උත්සව සංවිධානය සහ විශේෂයෙන්ම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට හෝ වරියට ඡන්දය කාලවලදී කැන්වසින් යාම වැනි සුවිශේෂී පොදු කටයුතුවල හැර ගැඹුරක් ඇති සමාජ ප්‍රශ්න ආමන්ත්‍රණය නොකරන තරම් ය. මෙය මෙසේ සිදුවන්නේ වසරකට දෙවරක්වත් ලැබෙන විදෙස් සංචාර, ටැබ් සහ ලැප්ටොප් යනාදී වැඩකරන තාරුණ්‍යයට අහිමි වරප්‍රසාද රැසක් සහිතව බව අමතක නොකරන්න. සැබවින්ම මේ පෝෂණය කරන්නේ ප්‍රධාන දේශපාලන ධාරාවේ දෙවන පෙළ අතකොලු සමූහයකි. යොවුන් පාර්ලිමේන්තුව තුළ කැබිනට් මණ්ඩලයක් පවා සිටියි. 

“ඇමතිවරයෙකුට හොරකම් කරන්න බෑ අමාත්‍යාංශ ලේකම්ට හොරෙන්” යැයි එක අවස්ථාවකදී අගමැතිතුමා කීවේය. අනේ අගමැතිතුමනි, මේ රටේ ඇමතිවරුන් වම් අතින් හොරකම් කරන විට අමාත්‍යාංශ ලේකම් තුමා නොව එතුමාගේම දකුණු අතවත් ඒ ගැන දැනගන්නේ නැත. ඉතින් පරපුරක් හොරකම් කිරීමත්මහ වැඩක්ද..? මේ ඇන්දවීමේ කෙළවර කොතැනද?

මෙයට වසර කිහිපයකට පෙර එවකට විපක්ෂ නායක ව සිටි රනිල් වික්‍රමසිංහ, එවකට ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ව සිටි චම්පිකා ලියනාරච්චි පිළිබඳ සෝපහාසයෙන් යුතුව සඳහන් කර තිබුණේ ඇගේ ‘කොන්ද වන්දනාවේ යන බව’ ය. එනිසා කිසිවෙකුට නොනැමෙන සෘජු පිටකොඳු ගැන රනිල් වික්‍රමසිංහ මහතාට හැඟීමක් ඇතැයි මේ රටේ ජනතාව සිතාගෙන සිටියෝය. නමුත් ඔහු අද දිනයේ සනාථ කළේ ඔහු ද වඩා කැමති, දේශපාලකයන් දුටු විට නැවෙන, වන්දනාවේ යන තරුණ කොඳුවලට බව ය. රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ තාරුණ්‍යයේ නැවෙනසුලු කොඳුවලට බව ය. මේ උත්සවයේ සැබෑ තරුණ නියෝජනයක් නොතිබුණු බව අප එකහෙළා කියා සිටින්නේ එනිසා ය. ආණ්ඩු පෙරළන සමයේ සිය පෙම්වතා සමග ත්‍මා්ටර් බයිසිකලයේ තෙමෙමින් ගිය තරුණිය දැන් ඇත්තටම මෝටර් රියක යනවාදැයි අසන්නට ඔබෙන් ප්‍රශ්න අසන තරුණ නියෝජිතයන්ට අද මතක් නොවන්නේ ඒ නිසා ය. එනිසා අප නැවතත් කියා සිටින්නේ යොවුන් පාර්ලිමේන්තුවේ සිටින නැවෙනසුලු කොඳු සමූහය, කිසිදු විටෙක රටේ තාරුණයේ කැඩපතක් හෝ නියෝජනයක් නොවන බව ය. පිට කසාගෙන සැනසෙන මෙවැනි ව්‍යාපෘතිවලට පමණක් අනාගතයේදීත් ඔවුන් යොදාගෙන සැනසෙනු මැනවි. 

තවත් කිවයුත්තක් තිබේ. නුඹලා අද මේ ඉසව්ව (ඉවෙන්ට් එක) වෙනුවෙන් වැය කළේ රටේ මිලියන ගණනක් වූ ජනතා බදු මුදල් ය. නුඹලාගේ යහපාලනයේ ඔය කියන තරම් විනිවිදභාවයක් තිබෙනවා නම් මේ අන්තර්ජාතික ‘උත්සවය’ සඳහා කොපමණ මුදලක් වැය කළේදැයි අද හෙටම ගණන් හිලව් ඇතිව ජනතාවට උත්තර බැඳිය යුතුය.

තවද අඩුම වශයෙන් රාජපක්ෂගේ දුර්දාන්ත පාලනය තුළ, එනම් 2015 ජනවාරි 8 වැනිදාට පෙර රටේ ජනතාවට හිත සනසාගන්නට විකල්ප පක්ෂයක් හෝ තිබිණි. රාජපක්ෂගේ පක්ෂය වෙනුවට යූඑන්පීය හොඳ වෙයි කියා සිහිනයක්වත් ඔවුන්ට තිබිණි. මේ දෙවසර තුළ ඊනියා සම්මුතිවාදයක් ගැන කියමින් නුඹලා හවුලේ වෙඩි තැබුවේ ඒ ජනතා සිහිනයට ය. දෙපිරිසම එක් වී මෙසේ රටක් අන්දවද්දී දැන් ඉතින් ජනතාවට සිහිනයක් පවා නැත. 

තාරුණ්‍යය, මේ තාක් කල් බලයට පත්වූ සෑම ආණ්ඩුවකම ජනප්‍රිය ධාරාවේ මාතෘකාවක් වූ බව අපි දනිමු. නමුත් මේ සා කැත අන්දමින් එය තොරොම්බල් කරමින් සිහින මවමින් තාරුණ්‍යය බිල්ලට දෙන ආණ්ඩුවක් මෑත කාලයේ බිහි වී නැත. ඉතින් පාලකයන් සිතන්නේ රටේ තරුණ හෝ යොවුන් හෝ ළමා හෝ වේවා” රට බාරගන්නා අනාගත නායකයන් යැයි ඔවුන් හිරිකිතයක් නැතිව වේදිකාවක් ගානේ විකුණන “රටේ ඉදිරි පරපුර, කොස් නැට්ටේ එල්ලී සිටින ඩයපරයක් ඇඳගත් කුඩා සිඟිත්තා මෙන් “අලේ මාරයි මාමෙ..” යැයි කියමින් අමන්දානන්දයට පත්වේ යැයි කියා ද? කොහෙත්ම නැත. ජනතාව කොහෙත්ම බබ්බු නොවේ. මේ අනුව රටේ මුල් පෙළේ නායකයින් දෙපළ සහ එහි පැමිණ සිටි නායක පන්තිය වහාම සිහියට නගා ගත යුතු සුරංගනා කතාන්දරය වන්නේ ‘රජ්ජුරුවන්ගේ ලස්සන ඇඳුම්’ ගැන කතාවයි. ඔබතුමන්ලා සීතාම්බර පටයෙන් සැරසී, එපමණටම සීතාම්බර පට හැඳගත්” හෙටක් සොයමින් කැන්වසින් යන කොල්ලන්, කෙල්ලන් සමග වේදිකාවේ පම්පෝරි ගසන විට සැබෑ නිරුවත පෙනෙන්නේ බැල්කනියට ය. වැඩකරන ජනතාවට ය. එදිනෙදා ප්‍රශ්න අතර අරගල කරමින් ජීවිතය සොයන රටේ සැබෑ තාරුණ්‍යයට ය.

Top