1150 x 80 px

ළමා සාහිත්‍යයට ආයුබෝවන්!

ලංකාවේ බොහෝ දෙනෙක් තමන් සාහිත්‍ය පරිශීලනයේ යෙදෙන බව හුවා දක්වන කාලය හෙවත් සාහිත්‍ය මාසය උදා වී තිබේ. කෑම කරත්තයකින් ක්ෂණික ආහාරයක් ගෙන පොත් ගොන්නක් අත පත ගා එන්නට සැප්තැම්බරයේ ඊගඵගෂගක්‍ග්‍ය  යන බොහෝ දෙනෙක් අතර සැබෑ සාහිත්‍ය ඇල්මක් සහිතවුන් සිටින්නේ අතලොස්සකි. ජංගම දුරකථනයක අඟල් හතරක් තුළින් ලෝකය දකින්නට තැත් කරන්නන් අතර එවන් සුළුතරයක් හෝ සිටීම ගැන සතුටු විය යුතුය. මිට දශක කීපයකට පෙර බසයක්, දුම්රියක් තුළ පොතක් පත්තරයක් කියවන අයෙක් සාමාන්‍ය දර්ශනයක් වුවද අද බහුතරයක් දෙනා අත ඒ වෙනුවට දැක ගත හැක්කේ ජංගම දුරකථනයකි. කෙසේ වෙතත් පවතින සමාජ අවශ්‍යතා ඉක්මවා යමින් තාක්ෂණික ක්‍රියාවලිය වෙත නැඹුරු වී අතරමං වී සිටින සාහිත්‍යලෝලී වන නොවන සියලු දෙනාටම අමතක වි ගිය කාරණයක් වන්නේ අනාගත සමාජ ක්‍රියාවලිය බාර ගන්නට සිටින වත්මන් ළමා පරපුරේ වටිනාකම් වර්ධනය කරන ළමා සාහිත්‍ය නම් අංගයක් පවතින බවය.

සමාජය ළමා පරපුර වෙතින් බලාපොරොත්තු වන අනාගත ක්‍රියාවලිය වඩා සාර්ථකව ඉටු කිරීමට නම් ඔවුන් තාක්ෂණයෙන් නොව බුද්ධියෙන්, රසඥතාවයෙන්  හා පරිකල්පන ශක්තියෙන් අනූන පිරිසක් බවට පත් කළ යුතුව ඇත. පොත් කඳු අතර  සිටින ඡායාරුප සමාජ ජාල වලට මුදා හරිමින් තම බහුශ්‍රැත භාවය ප්‍රදර්ශනය කරන්නට තතනන බොහෝ දෙනෙක්ට තම දරුවාගේ බහුශ්‍රැත භාවය වර්ධනය කළ යුත්තේ කෙසේද යන්න අමතකව ගොස් ඇති සැටියකි.

හොඳම දේ දරුවන්ට යැයි කියමින් බහුජාතික වෙළෙන්දන් පෙන්වන සියලු දේ දරුවාට කවමින් පොවමින් ශරීරය, මොළය දුර්වල කරවමින්, නව තාක්ෂණ කාන්තාරයේ දරුවන් හුදෙකලා කරවන අතරම සාහිත්‍ය ක්‍රියාවලියෙන් ද ඔවුන් දුරස්ත කරවමින් වගකීම් රහිතව ක්‍රියා කරන බොහෝ වර්තමාන දෙමාපියන් දරුවාගේ අනාගත අසාර්තකත්වයේ සොහොන් බිම තමන් අතින්ම නිර්මාණය කරමින් සිටිති. ආහාර, ඇඳුම්, පැළඳුම් ආදී සියලු අවශ්‍යතා ලාබදායි ලෙස පියවා ගැනීමට උත්සාහ දරන්නන් තම දරුවාගේ රසවින්දන හා බුද්ධි වර්ධන ක්‍රියාවලියද ලාබදායි ලෙස විසඳා ගැනීමට උත්සාහ ගන්නා ආකාරය බොහෝ විට දැක ගත හැකි වේ. පදික වෙළෙඳුන් සීයට පහයි, දහයයි කියමින් බස්රථ, දුම්රිය තුළ විකුණන කිසිඳු හරවත් බවින් තොර පොත පත දරුවාට රැගෙන දෙන්නේ එහි අන්තර්ගතය පිළිබඳව කිසිඳු අවධානයක් නොදක්වමිනි. සිතිය යුත්තේ කවරයේ සඳහන් මිල පිළිබඳව නොව අන්තර්ගතය කොතරම් වටිනාකමකින් යුක්තද යන්න පිළිබඳව බව වැඩිහිටියා වටහාගත යුතුව ඇත. විද්‍යුත් මාධ්‍ය වෙත තදින් ඇබ්බැහි වීම හේතුවෙන් ප්‍රචණ්ඩකාරීත්වයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්වන වත්මන් ළමා පරපුර මෙවැනි පොත පත හරහා ලබන්නේ ද යහපත් සමාජ දැනීමක් නොව කාගේ හෝ මුදල් අවශ්‍යතා පියවා ගැනීම සඳහා මුද්‍රණය වූ හිස් අදහස් ගොන්නකි. නැතහොත් තවත් ප්‍රචණ්ඩකාරී අදහස් සමූහයකි. මෙවැනි හේතුන් නිසා වත්මන් ළමා පරපුර වැඩිහිටියා නොරුස්සන, පීඩකාරී මානසිකත්වයකින් යුක්ත ළමා අදහස් වලින් වියුක්ත වෙමින් සිටින පිරිසක් බවට පත් වෙමින් තිබේ. වරද නම් දරුවාට නිසි රසඥතාවයක් හා සාහිත්‍ය අවබෝධයක් ලබා දීමට සමත් පොත පත පරිශීලනය කිරීමට අවස්තාවක් නොලැබීමයි.

අනෙක් අතට ළමා සාහිත්‍ය වැනි සුවිශේෂී අංගයන් ඉදිරියට පවත්වාගෙන යෑමේ වගකීම පැවරෙන්නේ සමකාලීන සමාජයේ සාහිත්‍යකරණයේ නියැලෙන පුද්ගලයන් වෙතය. නමුත් ස්වර්ණ පුස්තකය සිහිනෙන් දකිමින් ග්‍රන්ථකරණයේ යෙදෙන බොහෝ ලේඛකයන් සිතන්නේ තම සමාජ වගකීම පිළිබඳව නොව තම බඩගෝස්තරය රැක ගැනීම පිළිබඳව බව අමුතුවෙන් කිවයුතු නැත. වත්මන් ලේඛකයන් සම්මාන වෙනුවෙන් තම සියලු කටට්යුතු සිදු කරන බව ලේඛකයන් විසින්ම පිළිගන්නා කරුණකි. චරිත දෙක තුනක් කුදේ සිට සවස් වන තුරු කන, බොන, ඇවිදින ආකාරය විස්තර කරමින් පිටු පුරවන්නන්, යොවුන් සාහිත්‍ය යයි කියමින් බොළඳ කතා වපුරන්නන් ළමා සාහිත්‍යකරණයේ යෙදෙන්නට පටන් ගතහොත් කවරාකාර තත්වයක් උද්ගත වේදැයි සිතා ගැනීමටවත් නොහැකිය. සියල්ල් රුපියල් ඩොලර් වලින් මනින සමාජයක ළමා සාහිත්‍ය ධනෝපායන මාර්ගයක් බවට පත් වී තිබේ.

දරුවෙකුට සාහිත්‍ය රසාස්වාදය සැපයීම, සංස්කෘතික වටිනාකම් අවබෝධ කර දීම පහසු හා සරල කාර්යයක් බව බොහෝ දෙනාගේ අදහසයි. අවම සාහිත්‍ය වටිනාකමකින් යුතු ග්‍රන්ථ ප්‍රකාශයට පත් වීම මෙහි ප්‍රතිඵලයයි. කුඩා දරුවන් සෑම විටම ඕනෑම දෙයක් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරති. ඔවුන්ට සෑම දෙයක් ගැනම දැන ගැනීම සම්බන්ධයෙන් සාපේක්ෂව දැඩි කුතුහලයක් පවතී. ඒ අනුව පොත් පත්හිසඳහන් කරුණු පිළිබඳවද ඔවුන්ගේ අවධානය දැඩිව යොමු වේ. ළමා කෘතියක එක් වචනයක් පාසා මනා අවධානයකින් යුතුව රචනයේ යෙදිය යුත්තේ එබැවිනි. මහ ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්, ආනන්ද රාජකරුණා, සිබිල් වෙත්තසිංහ වැනි ලාංකීය සාහිත්‍යධරයන් මෙන්ම තොල්ස්තෝයි, තතායෙව් වැනි ජාත්‍යන්තර ලේඛකයන් ළමා මනසට වඩාත් සමීප වූ විශිෂ්ට නිර්මාණ බිහි කළහ. සාහිත්‍යකරුවා ළමා මනසේ සිතුම් පැතුම් හඳුනා ගැනීමය තරම් සංවේදීතාවයකින් යුක්ත වීම මෙහි මූලිකම අවශ්‍යතාවයයි.මඩොල් දූව වැනි කෘතීන් වර්තමාන ළමා පරපුර අතර පවා අතිශය ජනප්‍රියව පැවතීම මීට කදිම උදාහරණයකි. අනෙක් අතට ඉන් ඔබ්බට දේශීය ළමා සාහිත්‍යයක් වර්ධනය නොවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේද ඉහත කී සංවේදීතාවය වත්මන් බොහෝ සාහිත්‍යකරුවන් තුළ නොමැති වීම බව මුපකල්පනය කල  වේ. එසේ නැතිනම් එය ආර්ථිකමය හෝ සම්මානනීය වශයෙන් වැදගත් නොවන බව ඔවුන් සිතනවා විය යුතුය. එබැවින් මෙරට ළමා සාහිත්‍යයේ අපගමනය සම්බන්ධ වගකීමෙන් වැඩි කොටසක් ලේඛකයන් විසින් බාර ගතයුතුව ඇත. 

දරුවාගේ හැසිරීම් රටාව චින්තන ක්‍රියාවලිය සම්බන්ධ විධිමත් මෙහෙයවීමක් සිදු කෙරෙන්නේ පාසල් අධ්‍යාපන කාලය තුළදී ය. ඔවුන්ගේ සාහිත්‍ය අවබෝධයද විධිමත් අතට යොමු කිරීමද ගුරුවරයාගේ ප්‍රධාන වගකීමයි. නමුත් බොහෝ විට වර්තමාන ගුරුවරුන් පවා වේවැල් කෝටු න්‍යායයෙන් සාහිත්‍යාවබෝධයද ලබා දීමට උත්සාහ ගනිති. ගුරුවරුන් බොහෝ දෙනෙක් ද යාන්ත්‍රික සමාජයක අතරමංවූ තත්වයක් තුළ  අන්තර්ජාලයෙන් උකහාගත හැකි දැනුම් සම්භාරය පිළිබඳවවත් අවබෝධයකින් තොරව ක්‍රියා කරති. මුණු පොතින්, මැසෙන්ජරයෙන් එහා අන්තර්ජාලයක් ගැන බොහෝ දෙනා දන්නේද නැත.

මෙනයින් බලන කළ ළමා මනස සංවර්ධනය සම්බන්ධයෙන් වගකිව යුතු ඉහත කී කිසිඳු පාර්ශවයකට ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බව පෙනී යයි. අනෙක් අතට රටක ප්‍රතිපත්තිමය තීරණ ගන්නා සාහිත්‍ය හා අධ්‍යාපනය වැනි විෂයයන් සම්බන්ධ මහජන නියෝජිතයන් ද මේ පිළිබඳ කිසිඳු අවධානයක් යොමු කරන්නේ නැත. සංස්කෘතික අරමුදලේ ආදායම පිළිබඳව කලබලයට පත් වන ඇතැමුන් රටේ සංස්කෘතිය අනාගතයට රැගෙන යන්නට සිටින පිරිස ගැන කලබල නොවීම රටේත් ජාතියේත් අවාසනාව නොවේද?

එළඹී තිබෙන මෙම සාහිත්‍ය මාසයේ දී හෝ ලාංකීය වැඩිහිටියා වත්මන් දරුවාගේ සාහිත්‍ය අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් පූර්ණ සංවේදීතාවයකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍යය. එසේ නොවුනහොත් අනාගතයට ළමා සාහිත්‍යයක් තබා එකඳු ළමා මනසක් වත් ඉතිරි නොවනු ඇති බවට අනතුරු ඇඟවිය යුතුව තිබේ.පසිඳු මඩුලුපුර

Top