1150 x 80 px

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සුමතිපාලලාට, රණතුංගලාට සහ ධර්මදාසලාට විවෘත ලිපියක් - ගීතාල් ප්‍රනාන්දු

 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ලංකාවේ සහ පිටරට ජීවත් වන බොහෝ ක්‍රිකට් ලෝලීන්ව මම නියෝජනය කරමි.

පිටරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් අපේ පෞද්ගලික ප්‍රියසාද යොදා ගැනුණේ ක්‍රිකට් තරග මුල් කරගෙන ය. මේ විශේෂිත අවස්ථාවන්හිදී රූපවාහිනී යන්ත්‍ර ඉදිරිපිට වාඩි වෙන අපි, කට්ලට්, රෝල්ස් සහ වඬේ වැනි දෙයින් සප්පායම් වෙමින් අපේ ආදරණීය ක්‍රීඩකයන් පිටරට යෝධයන් එකින් එකාව වට්ටන හැටි නැරඹුවෙමු. ලංකාවේ මෙවැනි අවස්ථා සැමරෙන අසිරිය මේ යැයි අපට කිව නොහැකි වෙතත්, අපි අපේ ප්‍රමාණයෙන් එම සතුට ලැබුවෙමු. මුරලි ‘චකර්’ කෙනෙකු වශයෙන් හංවඩු ගැසුණු අවස්ථාවේ අපි ඔහු වෙනුවෙන් පෙනී සිටියෙමු. පන්දු යවන්නන් අපහසුතාවට පත්කරමින් සනා හතර වටේට පහර දෙන විට අපි ප්‍රීති ඝෝෂා කෙළෙමු. බ්‍රෝඞ්වේ රංග ශාලාව වෙත යනවා වෙනුවට සංගාගේ රංගනය දැක ගැනීමට අපි ප්‍රිය කෙළෙමු. ඒ අතරේ, අර්ජුන සහ මහේල වැන්නන්ගේ ක්‍රීඩා බුද්ධිය කෙසේ නම් අප අමතක කරන්න ද/

ඒ සියල්ලටමත් වඩා ක්‍රිකට් ක්‍රීඩාව අප සියල්ලන්ව එක් කෙළේය. අපි කිසි දවසක ජාතියක්, ආගමක් ගැන නොතැකුවෙමු. අපේ දෙමළ සහ මුස්ලිම් ක්‍රීඩකයන්ගේ සෑම පන්දුවක් වාරේම අපි ප්‍රීතිඝෝෂා කෙළෙමු. ක්‍රිකට් අපව එක්සත් කෙළේය. එක ශ්‍රී ලංකා ධජයක් යටතේ ක්‍රිකට් විසින් මුළු රටම එක්සත් කෙළේය. 1996 ලෝක කුසලානය අප දිනා ගත් අවස්ථාවේ අපේ ක්‍රීඩකයන්ට සුභ පැතීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය සටන් විරාමයක් ප්‍රකාශයට පත්කෙළේය. අපේ ක්‍රීඩකයන්ගේ සාර්ථකත්වය දැක ගැනීම උදෙසා ක්‍රිකට් ලෝලීන් ඒකරාශී වුණේ එලෙස ය. අවාසනාවකට, ඒ සියල්ල අද මේ තත්වයට මියැදී ඇත්තේ ඔබ සියල්ලන් නිසා ය.

ඔබට වාගේ මහා ක්‍රිකට් මොළයක් මට නැති විය හැකිය. එහෙත් මේ ක්‍රීඩාව සඳහා ඇති ආශාව මගේ ශ්‍රී ලාංකීය ලේවල දුවන බව මම සහතික වශයෙන් දනිමි. අපේ ක්‍රිකට් කණ්ඩායමේ අසහාය ලෝලියෙකු වන මට, ඔබේ නෑ-හිතමිතුරන් විසින් අපේ මේ පුංචි දිවයිනේ ක්‍රිකට් ක්‍රීඩාව තෙරක් නොපෙනෙන අගාධයකට අද ඇද දමනු ලැබ තිබීම, බලවත් අපේක්ෂා භංගත්වයක් ගෙන දෙයි. එබැවින් උද්ධච්ච සිතින් මේ ලිපිය පසෙක ලෑමට පෙරාතුව, ක්‍රිකට් ලෝලියෙකු අපේ ක්‍රිකට් පරිපාලනයෙන් අප අපේක්ෂා කරන මේ දෙය ගැන කරුණාකර මොහොතක් අවධානය යොමු කරන්න.

මට මතක හැටියට, හොඳට හෝ නරකට, අපේ ක්‍රිකට් පරිපාලනය තුළ ධර්මදාස, රණතුංග සහ සුමතිපාල යන නම් බොහෝ කලක් තිස්සේ ඈඳෙයි. මාවන් අතපත්තු එදා පැවති ක්‍රිකට් පරිපාලනය ‘රූකඩ’ රොත්තක් වශයෙන් හැඳින්නුවා මතකද? එවැනි නරක වහරක් පාවිච්චි කිරීමේ හේතු අපි කවුරුත් දනිමු. එහෙත් එම රූකඩම වර්තමාන පරිපාලනයත් අරක්ගෙන සිටිති. ඔබේ මැදිහත් වීම, ධනය සහ දේශපාලනය සමග සම්බන්ධ වන්නක් මිස මොන විදිහකින්වත් ක්‍රීඩාවට ඇති ආදරයකට සම්බන්ධ වූවක් නොවේ. යටිකූට්ටු කොමිෂන් හරහා උපයා ගත හැකි ධනය කොපමණදැ යි ඔබ දැක තිබේ. එවැනි යටිකූට්ටු වෙනුවෙන් මේ ‘මහත්මා ක්‍රීඩාවට’ ඔබ දේශපාලනය රැගෙන ආවේය. එය ද, සාමාන්‍ය දේශපාලනය නොව, ශ්‍රී ලංකාවේ ග්‍රාම්‍ය දේශපාලනයයි. අපේ කණ්ඩායමේ වර්තමාන කෙරුවාව දෙස බලන විට එහි ප්‍රතිවිපාක පැහැදිළිව පෙනෙන්ට තිබේ. අවසානයේදී කණ්ඩායමේ තරුණ නායකයාට පමණක් වගකීම භාර ගැනීමට සිදුව ඇති අතර ඔබ සියල්ලන් නිර්ලජ්ජී ලෙස ඔබේ තනතුරුවලම එල්ලී සිටිති.

ක්‍රිකට් මණ්ඩලයේ වර්තමාන සභාපති සුමතිපාල මහතා ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත, ‘ස්පෝටින් ස්ටාර්’ නැමැති ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ය. ‘ස්පෝටින් ස්ටාර්’ යනු රේස් ඔට්ටු සමාගමකි. මීට අමතරව ඔහු වර්තමාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයාත් වන්නේය. පුදුමය වන්නේ, ශ්‍රී ලංකාවේ ආරයට අනුව, මෙය බැඳියාවන් අතර ගැටුමක් වශයෙන් නොගැනීම ය. එනම්, රේස් ඔට්ටු සමාගමක අධ්‍යක්ෂවරයෙකු රටේ වඩාත් ලාභදායී ක්‍රීඩාවේ ප්‍රධානියා ද වීම ලංකාවට ප්‍රශ්නයක් නොවන බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ 7.2 (ආ) වගන්තියේ මෙසේ කියැවේ: “කිසි අධ්‍යක්ෂවරයෙකුට කිසි ව්‍යාපාරික සම්බන්ධතාවක් නොතිබිය යුතුය. එසේම, සූදුවට සම්බන්ධ කිසිවෙකු හෝ කිසිවක් සමග, කිසි (විධිමත් හෝ අවිධිමත්) ව්‍යාපාරික කටයුත්තකට නොඑළඹිය යුත්තේය”. එසේ වෙතත්, එම වැදගත් ප්‍රමිතීන්වලට ඔබේ ක්‍රිකට් ‘යහපාලනය’ තුළ වලංගු භාවයක් නැති බවක් පෙනෙන්ට තිබේ.

ආසියාවේ පැවති ලෝක ක්‍රිකට් කුසලානය අවස්ථාවේ ක්‍රිකට් මණ්ඩලයේ නායකත්වය හෙබැවුයේ ධර්මදාස (උපාලි සහ ජයන්ත) සහෝදරයන් ය. වඩාත් දූෂිත විරුදාවලිය එක පවුලකට පැවරිය හැකි වෙතොත් ඒ සඳහා ඔවුන් වඩාත් සුදුසු වනු ඇතැයි මම සිතමි. (තමන් අතරේ පවා එකාට එකා නැති) මේ අඥානයෝ, 2011 ලෝක ක්‍රිකට් තරඟාවලිය සඳහා යටිතල ගොඩනැගීම් කිරීමේ වේශයෙන් ක්‍රිකට් මණ්ඩලය බංකොලොත් කළහ. එහි ඇති උත්ප්‍රාසය වන්නේ, ඒ බංකොලොත් භාවයෙන් ගොඩ ඒම සඳහා ඔබ අරමුදල් බලාපොරොත්තු වෙද්දී එදා බලයේ සිටි දූෂිත රාජපක්ෂ ආණ්ඩුව පවා එය ප්‍රතික්ෂේප කිරීමයි. ධර්මදාස පවුලේ සාමාජිකයන් බොහොමයක් මේ පරිපාලනයේ ඉහළ තැන් හොබවමින් (ගෙදර සිට) ලක්ෂ ගණන් පඩි ලබන අතරේ, මාස ගණන් දීමනා නොලබමින් තමන්ගේ රට නියෝජනය කිරීමට කාලයක් ක්‍රීඩකයන්ට සිදු විය. ලෝක මට්ටමේ ක්‍රීඩකයන්ට වැටුප් නොලැබෙයි නම්, බිම් මට්ටමේ කාර්ය මණ්ඩලයේ දුෂ්කර තත්වය කවරාකාර වේදැ යි සිතා ගැනීම අපහසු නැත. එපමණක් ද/ ඒ කාර්ය මණ්ඩලය සමග තමන්ගේ චෙක්පත බෙදා ගත් මහේල ජයවර්ධනටත් වරක් ඔබේ මණ්ඩලය දොස් පැවරුවා නොවේද? චික් විතරක්/

එතකොට රණතුංගලා? එය, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මිශ්‍රාස්වාදය දනවන කතාවකි. නිශාන්ත, ‘ටයිම්ස් ඔන්ලයින්’ හි ඔබ දෙන ලද රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව ළඟදී මම නැරඹුවෙමි. ඔබ තුළ අල්පමාත්‍ර හෝ අවංක භාවයක් ඇතොත්, අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති අර්බුදය ගැන අවබෝධ කර ගැනීම සඳහා අපේ ක්‍රීඩාලෝලීන්ට ඔබේ අදහස් උදහස් අවශ්‍ය නොවන බව ඔබට වැටහිය යුතුය. ඔබ, මේ ක්‍රිකට් පරිපාලනය බංකොලොත් කළ, එහෙත් එහි එකම ගැලවුම්කරුවා වශයෙන් පෙනී සිටින ප්‍රධාන අපරාධකරුවන්ගෙන් කෙනෙකි. සී.එස්.එන්. නාලිකාවට රූපවාහිනී ආවරණ බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් තවමත් සිදුවෙමින් පවතින පරීක්ෂණවල ඔබ වගඋත්තරකරුවෙකු වන අතර, ඔබ එවක ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ ලේකම්වරයා වන අතරේම එක විට සී.එස්.එන්. නාලිකාවේද ප්‍රධාන විධායක නිලධාරියා විය. ඔබේ අනුශාසකත්වය යටතේ පැවති ක්‍රිකට් මණ්ඩලය එදා ලංකාවේ වඩාත් දූෂිත ආයතන අතරින් තුන්වැනි තැනට පැමිණ තිබුණි. (එය කිසි සේත් ආඩම්බරයට කරුණක් නම් නොවේ).

අර්ජුන, 1996 දී අපව ලෝක කීර්තිය වෙත රැගෙන ගිය පෙරගමන්කරුවා ඔබ ය. එහෙත් දූෂිත දේශපාලඥයෙකු බවට පත්වීමේ දී ඔබ ඔබේ ආත්මය විකුණා දැම්මේය. ෂේන් වෝන් ඔබට ‘තඩි පාහරයා’ යැයි අවමන් කළ අවස්ථාවේ ඔබේ ලෝලීන් ඔබ වෙනුවෙන් පෙනී සිටියා මිස ඔබව අතහැර ගියේ නැත. එහෙත් ඔබ, ක්‍රීඩා ඇමතිවරයා ද සමග එක්ව අද අපේ තරගකරුවන් ‘තරබාරු’ යැයි ප්‍රසිද්ධියේ කියයි. අපේ සදාදරණීය ක්‍රිකට් වීරයන්ට ගරහමින් ඔබ ප්‍රසිද්ධියේ ඔබේ කුණු රෙදි සේදීම ගැන ඔබ ලජ්ජා විය යුතුය. එදා අප ඔබව අතනෑර සිටියා සේම අදත් අපේ දූෂිත දේශපාලඥයන්ගේ බහට නූතන ක්‍රිකට් වීරයන් අතහැරීමට අප සූදානම් නැත.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ඔබ මහඟු සේවයක් කෙළේ යැයි කෙනෙකු කියන්නට පුළුවන. සමහර විට ඔබ එසේ කළා විය හැකිය. එහෙත් ඒ සමගම, සැබෑ මහත්වරුන්ව අපේ ක්‍රිකට් ක්‍රීඩාවට සේවයක් කිරීමෙන් ඉවත් කොට තබා ගැනීමටත් ඔබ තතනයි. ක්‍රිකට් පිළිබඳ විශිෂ්ට අවබෝධයක් ඇති ආනා පුංචිහේවා, සිදත් වෙත්තමුණි, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ චන්දික හතුරසිංහ මේ ක්‍රිකට් පරිපාලනයෙන් ඈත්ව සිටින්නේ, දූෂිත දේශපාලඥයන්ගේ තත්වයට වැටීමට ඔවුන් නොකැමැති නිසා ය. මහේලට, ‘පූර්ණකාලීන ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරුවෙකු වීමට තරම් අත්දැකීම් නැතැ’ යි, සුමතිපාල මහතා මෑතකදී කියා තිබුණි. සමහර විට ඔබලා කණ්ණාඩියක් ඉදිරියට ගොස්, මේ රටේ දේශපාලඥයන් වීමට සුදුස්සන් වුණේ කෙසේදැ යි බලා ගන්නේ නම් මැනවි. මෑතකදී කරන ලද සොයා බැලීමකට අනුව, වර්තමාන පාර්ලිමේන්තුවේ 225 ක් වන මන්ත්‍රීවරුන් අතරින් උපාධිධාරීන් සිටින්නේ 25 දෙනෙකු පමණි. අපේ ක්‍රීඩකයන්ගේ සුදුසුකම් ගැන ඔබලා කතා කරන්නේ නම්, ඒ වනාහී කකුළුවාගේ කතාවට නොදෙවෙනි වන්නකි. මේ ක්‍රිකට් පරිපාලනය තුළ අද දක්නට ලැබෙන කුහකත්වය ඇදහිය නොහැකි තරමි. සමහර විට, ඔබේ තරම ඔබම තේරුම් ගෙන අපේ රටේ මහත්මාවරුන්ට මේ ‘මහත්මා ක්‍රීඩාව’ කරගෙන යාමට අවස්ථාවක් සැලසිය යුතුව ඇති බව ඔබට ඒත්තු ගැන්වීමට තරම් මා තවම පොහොසත් නොවෙනවා විය හැකිය. එබැවින් ඔබ සියල්ලන්ගෙන්ම කෙරෙන මගේ අවසාන ඉල්ලීම වන්නේ, අපේ ආදරණීය ක්‍රීඩාවට සෙතක් සලසනු වස් එයින් විශ්‍රාම ගෙන ඔබේ දූෂිත දේශපාලනයටම පේ වෙන ලෙසයි.

2017 සැප්තැම්බර් 3 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ An Open Letter to Sumathipalas, Ranathungas and Dharmadasas of Sri Lankan Cricket නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

“වස විස නැති ජාතිය” සහ ඊට අයත් ග්ලයිෆොසේට් කළුකඩය - මහාචාර්ය චන්ද්‍ර ධර්මවර්ධන

 

Top