1150 x 80 px

ලලිත් සහ අනූෂ ලංකා දේශපාලනය ගැන උගන්වන ඛේදනීය පාඩම



පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහජන මුදල් අවභාවිත කරමින් රු. මිලියන 600 ක් වටිනා සිල් රෙදි තොගයක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දීප ව්‍යාප්තව බෙදා හැරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (07) ලබා දෙන ලදි.

ඒ අනුව, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලිසංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට මෙම නඩුවට අදාළ සියලු චෝදනාවලට වැරදිකරුවන් ලෙස තීන්දු වී තිබේ. මීට අමතරව වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ රු. ලක්ෂ 20 බැගින් දඩ මුදල් ගෙවන ලෙසද ඔවුන්ට නියම කර ඇත. මට මේ දෙදෙනා සුද්ද කිරීමේ හෝ ඔවුන් වෙනුවෙන් කණගාටු වීමේ හෝ කිසිදු වුවමනාවක් නැත. වගකිවයුතු පුටුවල ඉඳගෙන වගකීම්සහගතව වැඩ කරන්න ඇති අසමත්කම හෝ නොකැමැත්ත සමාව දිය හැකි වරදක් නොවේ. එය සමස්ථ රාජ්‍ය තන්ත්‍රයම නඩත්තු කරන පුරවැසියාට සිදු කරන බරපතල අපරාධයකි. එහෙත්, කතාබහට ලක් විය යුතු කාරණය වන්නේ එසේ වූයේ ඇයි? යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුරයි. මෙය අප ජීවත් වන සමස්ථ දේශපාලනික යථාර්ථයේම මුග්ධකම සහ අශිෂ්ටත්වය විශද කරන්නකි.

මේ නඩු තීන්දුවට අදාළ සිද්ධිය (සහ මෙවැනි තවත් බොහෝ අපරාධ හා මහජන මුදල් කොල්ලකෑම්) සිදු වූයේ මහින්දගේ රාජාණ්ඩුරූපි රෙජීමය යටතේ බව අපි දනිමු. අනෙක් අතට මේ සිල්රෙදි වංචාව දියත් කෙරුණේද රාජපක්ෂවරුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ වාසි තකා බවද අපි දනිමු. මේ ක්‍රියාවලින් ඍජු හෝ වක්‍ර ගතමනාවක් (සිදු විය හැකි පරිදිම) ලලිත් සහ අනූෂ හම්බකර ගත්තාද යන්න මේ මූලික කාරණයට අදාළ නොවන නිසා අපි එය පසෙකින් තබමු. මේ දෙදෙනා වැදගත් තනතුරු දෙකක් දරමින්, ටයි කෝට් පැළඳගෙනම මහජනතාවගේ මුදල් හොරකම් කරමින් තම තරමට නොගැලපෙන වැඩවල නිරත වූයේ කා සඳහාද? කාගේ අණින්ද? මහින්දගේ රෙජීමයේ හැටි අත්දැකීමෙන්ම දන්නා මොවුන් කීකරු කුකකන් මෙන් ඉහළින් ලැබෙන අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කළේ නම් ප්‍රතිඵලය සරල වන්නටද ඉඩ තිබුණු බවද ඇතැම් විට මේ දෙදෙනාට සිතෙන්නට ඇත. එක්කෝ පුටුවෙන් නෙරපීම නැතහොත් 'උස්සා හැංගීම' මහින්දගේ ප්‍රියතම ප්‍රතිචාර දැක්වීමේ ස්වභාවයක් වූ බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. මේ නිසා, ලලිත් සහ අනූෂ වැන්නන් හොරකම් කළා හෝ හොරකම් කරන්නට අනුබල දුන්නා හෝ කියනවාටත් වඩා මේ දූෂිත දේශපාලන ක්‍රමය විසින් හොරකමේ යෙදෙවුවා යැයි කිවහොත් වඩා නිවැරදිය.. මේ නාටකයේ ලස්සනම ජවනිකාව නම් හොරකම් කරන්නට අණ දුන් අය ඉතාම ආරක්ෂිත දේශපාලන ගමනක් යද්දී හොරකමේ යෙදවුණ අය පමණක් හිරේට නියම වීමයි. රාජ්‍ය සේවයේ කවුරු කවුරුත් ලලිත්ලාට සහ අනූෂලාට ඉගෙන ගන්නට කදිම පාඩමක් මේ නිසා මෙයින් ලැබේ. එහෙත් දැන් නැවතත් ප්‍රශ්නයක් මතු වේ. මේ දේශපාලන ක්‍රමය තුළ රස්සාවක් කරගෙන බඩවියත රැකගැනීමට නම් ඒ පාඩම ඉගෙන ගත්තා කියා කළ හැක්කක් තිබේද?

මහින්දලාගේ ම්ලේච්ඡ රෙජීමයේ තවත් සාහසික ගොදුරක් වූ තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට අත් වූ ඉරණමද ස්වභාවය අතින් මීට සමාන එකකි. අනුර යනුද හොඳක් කියන්නට බැරි වෘත්තීය ඉතිහාසයක් ඇති පුද්ගලයෙකු බවට වාර්තා ඉදිරිපත් වන නමුදු ඒ නිශ්චිත සිද්ධියේදී පාලකයන්ට කඩේ යාමෙන් අනුරට 'කෙළ වූ කෙළවිල්ලද' ලලිත් හා අනුෂ සිද්ධියට දෙවෙනි නැත. තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නාවුක හමුදාවේ රණවිරුවෙකු වන යෝෂිත රාජපක්ෂ සහ නීති විශාරදයෙකැයි කියන නාමල් රාජපක්ෂ යන දෙදෙනාගේ නම් නිතර නිතර සඳහන් වුවද අවසන් නඩු තීන්දුවේදී මෙපරිද්දෙන්ම පාලකයන්ගේ අණ මත අන්තිමටම ක්‍රියාත්මක වූ කෙනෙකු හෝ කිහිප දෙනෙකු වැරදිකරුවන් වනු ඇත. රාජපක්ෂලා එදාටත් තමන් හෝ තම හෙංචයියෙකු ඊළඟට මේ රටට අරක් ගැනීම වෙනුවෙන් පිඹුරුපත් සකසමින් සතුටින් කාලය ගෙවමින් සිටිනු ඇත. මේ නිසා, ඉහළ පුටු හොබවන වංක රාජ්‍ය නිලධාරීන්ගේ දූෂ්‍ය ක්‍රියා සම්බන්ධයෙන් මෙවැනි අධිකරණමය තීන්දු ලැබීම යුක්තිය පැත්තෙන් සතුටට කාරණයක් වුවද අතිශයින්ම දූෂිත, ආත්මයෙන් තොර දේශපාලනයක් ක්‍රියාත්මක වන ක්‍රමයක් තුළ රාජ්‍ය සේවකයාගේ ඉරණම සම්බන්ධයෙන් භයානක හැඟවුම්ද ඉන් ඉස්මතු වේ. ඉහතද කීවාක් මෙන්, තම අනාගතය ගැන ඇති වන දෙගිඩියාව මත ලලිත්, අනූෂ හෝ අනුර වැනි අය එවැනි ක්‍රියා ප්‍රතික්ෂේප කළා නම්, එසේම දැනට සිටින අය මෙයින් පාඩම් උගෙන තම අනාගතය වෙනුවෙන් එසේ කරන්නට සිතනවානම් ඔවුන්ට අත්වන වෘත්තීය හා ජීවන ඉරණම කෙබඳු වනු ඇතිද?

කලකදී ඉතාම ස්වාධීනව ක්‍රියාත්මක වූ සිවිල් සේවය හුදෙක්ම දේශපාලඥයාගේ ඕනෑ එපාකම් ඉටු කරන බළල් අතක් බවට පත් වීමේ ඛේදනීය තත්ත්වය මේ සිදුවීම් කිහිපයෙන් මනාව වටහා ගත හැකිය. අදටත් රජයේ රැකියාවකට අයැදුම් කරන්නේ නම් තම ස්වාධීනත්වය, නිදහස, අදහස් පළ කිරීමේ හිමිකම සහ හෘද සාක්ෂිය වැනි වටිනාම සම්පත් ගැන 'ඒ තරම් බරපතලෙට නොහිතා' එසේ කරන්නට මිනිසුන් පෙළඹෙන්නේ මේ තත්ත්වය අමුතුවෙන් කතා නොකළ යුතු තරමටම ජනප්‍රිය නිසාය. අනෙක් අතට, වත්මන් පොලිස්පති ජූජිත් ජයසුන්දර වැනි අවිනීත හා නොගැලපෙන පුද්ගලයින් රටේ නීතිය හා සාමය රැකීම අරමුණු කරගෙන පිහිටුවා ඇති ආයතනවල ප්‍රධානීන් බවට පත් වීමට හේතුවද රාජ්‍ය සේවය දේශපාලනයේ මෙවලමක් බවට පත් වීමයි.
රාජ්‍ය නිලධාරීන් වූ ලලිත්ලා හිරේට නියම වූයේ මුදල් හොරකම් කිරීමේ වරදට වුවත් අදටත් සක්‍රීය දේශපාලඥයන් වන රාජපක්ෂලාට මිනීමැරීම්, වධදීම්, මිනිසුන් අතුරුදන් කරවීම්, ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් ආදී ඊට වඩා බරපතල චෝදනා රැසක් දැනටමත් එල්ල වී තිබේ. වෙන එකක් තබා බරපතල වංචා චෝදනා ලබා සිටි බැසිල් රාජපක්ෂ වත්මන් ආණ්ඩුව පත් වීමෙන් කෙටි කලකට පසුව විමර්ශන පිණිස පෙරළා ලංකාවට පැමිණියේ හොරකම් චෝදනා ලබා සිටි සැකකරුවෙකු වශයෙන් නොව වීරයෙකු වශයෙනි. කවදත් හොරුන් රැකීම තම බඩවියත රැකගැනීමේ උපාය බවට පත් කරගත් ඇතැම් චීවරධාරීන් ඔහු වෙනුවෙන් පිරිත් නූල් පවා බැඳ ආශිර්වාද කළ හැටි අපට මතකය. රටේ මුදල් යකාට යවා මහින්දගේ බාල පුතාගේ නාසා එකටවත් සොයා ගැනීමට නොහැකි රොකට්ටු ගැන දැන් කියන්නේ ''රොකට් සයන්ස් නොදන්නා අයට මේවා තේරෙන්නෙ නෑ'' වැනි විසිළු කතාය (ඊළඟ විහිළුව නම් මේ කතා අහන්නට අපට සිදු වන්නේ යහපාලන ආණ්ඩුව යටතේ වීමය). හොරකම් සහ මිනීමැරුම් චෝදනා එල්ල වූ පාලකයන් සැමදා වැජඹෙන අතරේ ඔවුන් යටතේ සිටි රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි ඉරණම් අත්වීම අප කිසිසේත්ම බරපතලෙට ගත යුතු නැත. මෙය රාජපක්ෂ රෙජීමයට පමණක් නොව වත්මන් හා අනාගත ආණ්ඩුවලටද අදාළ කාරණයකි.

එහෙත් ඒ කියා මේ ක්‍රමය ඇතුළේ අපට කරන්නට පුළුවන් කෙංගෙඩියක්ද නැත!
අශාන් වීරසිංහ

Top