1150 x 80 px

අවාසනාවට ඇත්ත කතාවක්

 


ශ‍්‍රී ලංකාවේ උපාධිධාරීන් රැකියා ඉල්ලමින් වීදිවල උද්ඝෝෂණය කරද්දී වෘත්තීය පුහුණුව ලැබූ තරුණ තරුණියන් රටට ජාතියට බරක් නොවී ජීවන සටන ජයගැනීමට කටයුතු කරන බව වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප‍්‍රකාශ කර තිබේ. එය ඉතා වැදගත් මෙන්ම මුළු මහත් රටේම අවධානය යොමුවිය යුතු ප‍්‍රකාශයකි. රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ මෙන්ම මේ රටේ අධ්‍යාපනඥයන්ගේත් අවධානය යොමුවිය යුතු කාරණයකි.

 

එය රටේ ප‍්‍රමුඛ අවධානයට යොමුවිය යුතු කාරණයක් වන්නේ මේ රටේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය පිළිබදව පමණක් නොව ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ සැලසුම් හා උපායමාර්ග පිළිබඳව ද රටේ තරුණ පරපුරේ සිතුම් පැතුම් හා ආකල්ප පිළිබදව ද ගැඹුරු අධ්‍යයනයක් සිදුකිරීමේ අවශ්‍යතාවය ඒ තුළ මැනවින් පැහැදිලි වන නිසාය.

එකී කරුණු සලකා බැලීමේදී ප‍්‍රථමයෙන්ම අවධානය යොමුවිය යුත්තේ අප රටේ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය පිළිබදව ය. එහි ගුණාත්මක භාවය පිළිබදව ය. අප රටට නිදහස් අධ්‍යාපනය හදුන්වා දුන්නේ 1945 වසරේදී ය. ඊට වසර දෙකකට පමණ පෙර 1943 වසරේදී ඉදිරිපත් කර ඇති රාජ්‍ය සභා වාර්තාවක සඳහන් වන්නේ නිපුණතා හා කුසලතා එක් සමාජ පන්තියකට හෝ කණ්ඩායමකට සීමා නොවිය යුතු බවය. ඒවා ඉස්මතු කරගැනීමට සැමට අධ්‍යාපන අවස්ථා ලබා දියයුතු වන බවය. එමගින් අවධාරණය කර ඇත්තේ නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවයයි.

ඒ අනුව ශ‍්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හඳුන්වා දී මේ වනවිට අවුරුදු හැත්තෑ දෙකකි. ඒ සමගම මතුවන අනෙක් ප‍්‍රශ්නය වන්නේ නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය මේ රටට හඳුන්වා දීමට එක් හේතුවක් වූයේ නිපුණතා හා කුසලතා ඉස්මතු කිරීම සඳහා සැමට අධ්‍යාපන අවස්ථා ලබාදීම නම් එකී කාර්යභාරය පසුගිය හැත්තෑ දෙවසරක කාලය තුළ දී ඉටු වී තිබේ ද යන්නය. විශේෂයෙන්ම නූතන ලෝක ප‍්‍රවණතාවයන්ට අනුව සලකා බැලීමේදී නිසි පරිදි එකී අපේක්ෂාව ඉටුවී ඇත්ද යන්නය. එහිදී පැහැදිළි වනු ඇත්තේ අද වනවිට අප රටේ තරුණ පරපුරට අදාළව සැලකීමේදී රැකියා වෙළෙඳපොළ අවශ්‍යතාවයන් හා උසස් අධ්‍යාපන සුදුසුකම් අතර බරපතළ පරතරයක් නිර්මාණය වී ඇති බවය. එහෙත් එය එසේ වී ඇත්තේ නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රශ්නයක් නිසා නොව. අධ්‍යාපන ප‍්‍රතිපත්තියේ යම් ගැටලූවක් නිසා වන බව ද අප තේරුම්ගත යුතුව තිබේ.

මේ බව ඉතා මැනවින් පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර සංවිධානයක් විසිනි. එනම් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසිනි. එමගින් සිදුකර ඇති අධ්‍යයනයකින් පසු 1971 වසරේදී නිකුත් කර ඇති වාර්තාවක :(Matching Employment Opportunities & Expectations: A Programme Of Action of Ceylon) සඳහන් වන්නේ ශ‍්‍රම වෙළෙඳපොල ඉල්ලූමට සරිලන නිපුණතා සහිත රටේ දියුණුවට දායකත්වයක් සැපයිය හැකි උපාධිධාරීන් බිහිකිරීමට දායකත්වයක් ලබාදීම සඳහා මේ රටේ විශ්වවිද්‍යාල අපොහොසත් වී ඇති බවය. 1971 වසරේදී නිකුත් වූ එකී වාර්තාව මගින් පෙන්වා දෙන ඒ යථාර්ථය ඊට අවුරුදු 46ක ට පසු අදටත් ඒ ආකාරයටම පවතී. එපමණක් නොව එදා මෙදා තුර මේ පිළිබඳව සිදුකර ඇති සෑම පර්යේෂණයකදී ම ඒ බව පුන පුනා පෙන්වා දී තිබේ. එහි සමස්ත හරය අන් කිසිවක් නොවේ. එනම් කලා විෂය ධාරාවන් හදාරා ඇති ඉංග‍්‍රීසි අධ්‍යාපනයේ ඌනතාවයකින් යුත් උපාධිධාරීන් බිහිකිරීම තුළ ඔවුන් අඩු ආදායම් රැුකියාවන්ට පමණක් සීමා කර ඇති බවය.

එහි ප‍්‍රතිඵල මේ රටට දෙයාකාරයකින් උදාකර තිබේ. 1971 හා 1988-89 වසර වලදී දකුණෙන් මතු වූ තරුණ කැරළි දෙකකට සෘජුවම ද උතුර පදනම් කරගනිමින් මුලූ රටම ඇවිළවූ වාර්ගික යුද්ධයට යම් ආකාරයකින් ද පදනම දමා ඇත්තේ ද එම තත්වය යි. එහි අනෙක් අහිතකර ප‍්‍රවණතාවය වන්නේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවන සෑම උපාධිධාරියෙක්ම ආණ්ඩුවේ රැකියාවක් අපේක්ෂා කරමින් ලතැවෙන පිරිසක් බවට පත්වීමය. එහි අනෙක් තේරුම වන්නේ පුද්ගලික හා බහු ජාතික සමාගම් මෙන්ම කර්මාන්ත ව්‍යුහයට අයත් රට තුළ හෝ විදේශීය රටක පවත්නා රැකියා අවස්ථාවන් හිමිකර ගැනීමට ඔවුන් අසමත් බවය. අද වනවිට මේ රටේ උපාධිධාරී තරුණ පරපුර ආණ්ඩුවේ රැකියාම ඉල්ලමින් මරාගෙන මැරෙන්නට එන්නේ මේ නිසාය.

උපාධිධාරි තරුණ තරුණියන් රැකියා ඉල්ලමින් වීදි වල උද්ඝෝෂණය කරද්දි වෘත්තීය පුහුණුවක් ලැබූ තරුණ තරුණියන් රටට ජාතියට බරක් නොවී රටතුළ මෙන්ම විදේශීය රටවල ද රැුකියා අවස්ථා ලබාගන්නා බව චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ එම යථාර්ථය ද සැලකිල්ලට ගෙන වියයුතුය.

ඒ අනුව රටක් ලෙස මෙකී තත්වය මැනවින් අවබෝධ කරගත යුතුය. අද දවසේ අධ්‍යාපනය හෙට දවසේ තරුණ පරපුරට යහපත් අනාගතයක් උදාකර දීම සඳහා විවර කරන මංපෙත වියයුතුය. ඒ ගැන සියල්ලන්ටම පෙර අවබෝධ කරගත යුත්තේ මේ රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් හා අධ්‍යාපනඥයින් ය.

සුනිල් ජයසේකර

Top