1150 x 80 px

සයිටම් සමග ‘සමව බීම සහ සමව වැනීම’

සැප්තැම්බර් 15 වැනිදා ලංකාවට හරි අපූරු දවසකි. සයිටම් නමැති අයිටමය සමග සමව බොන සහ සමව වැනෙන, ජනතා බදු මුදලින් ඉගෙන ගත් සුදු කබාකරුවන්ගේ ‘විරෝධතා සළුපාළිය’ හතර වටින් කොළඹ ආවේ මෙදා ය. 

මේ විරෝධතා සළුපාළිය කොළඹ ට ආවේ මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාවය ප්‍රකට කිරීමටලු. ඒ මදිවාට ඔවුන් මේ පියවරට එළඹෙන්නේ වර්ජනයකුත් කරන ගමන් ය. වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනවලට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති නමුත් සයිටම් වර්ජනය ඒ සියලු වර්ජන අතරින් සුවිශේෂී ය. එය කෙතරම් සුවිශේෂී ද යත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මුලින් දිස්ත්‍රික්ක 08කටත් පසුව තවත්  දිස්ත්‍රික්ක 06කත් වැඩ වර්ජනයට සමගාමී ව ක්‍රියාත්මක වී හලාවත, අවිස්සාවේල්ල, පස්යාල හා කෑගල්ලෙන් පැමිණි  මේ සළුපාළිය ලිප්ටන් වටරවුමට පැමිණෙන අවස්ථාව වන විට, නොනගතයක් උදා වන බව කලින්ම දැනගෙන සිටි කොළඹ ජනයා, සියලු වැඩ අත්හැර කලින්ම කාර්යාලවලින් නික්මී, ඒත් යා ගත නොහී, තෙරපෙමින් ද තද වෙමින් ද වැඩවර්ජනකරුවන්ගේ මව්වරුන් සිහි කරමින්ද මහා මාර්ගයේ තදබද වෙමින් සිටියහ. ඔය අතරවාරයේ, පෙර කල්හි මැදමුලන රජ තෙමේ යන යන තැන ගෙන ගිය ජංගම වැසිකිළිය වැනි අයිතමයක් වූ පිරිස් අමතන ජංගම වේදිකාවක් සහිත ලොරියක් ජාතික රෝහලට පිවිසෙන තැන අවහිර කරමින්  මහානුභාව සම්පන්න ලෙස නතර කර තිබුණාහුය. අන්න ඒ වෙලාවේ ජීවිතයත් මරණයත් අතර වෙව්ලුම්කමින් සිටි රෝගියෙකු සහිත ගිලන් රියක් පවා ජාතික රෝහල අබියස සිර වී තිබුණේය!!

ලිප්ටන් වටරවුම අසල රැස්වී පැය එකහමාරක් පමණ පිකටිං කළ සුදුකෝට් නියෝජිතයෝ ඉනික්බිති සතුටින් විසිර ගියෝය. ජනතාව එයින් ද පැය ගණනාවක් යන තෙක්, ඔවුන් විසින් ඇතිකළ තදබදය සහ රථවාහන අවුල හේතුවෙන් ලක් මෑණියන්ගේ ද මව්ගුණ ගයමින් මහපාරේ වැඩ වාසය කළහ.

දැන් ජනතාවට තිබෙන ප්‍රශ්නය මොවුන් මෙසේ විරෝධතාවය පළ කරන්නේ පාලකයන්ටද නැතිනම් ජනතාවට ද යන්නයි.

ඉතා සරලව කියන්නේ නම් ආණ්ඩුව වැරැද්දක් කරනවා නම් ඔවුන් කළ යුතුව තිබෙන්නේ ආණ්ඩුවට එරෙහිව නීති මගින් ක්‍රියා කරමින් නඩු දැමීමයි. නීතිමය ක්‍රියාමාර්ග රැසක්, සරල නැතැයි අපිදු ඉත සිතින් පිළිගන්නා මේ ගැටලුව තුළ නිසැක වශයෙන්ම තිබෙනවා ඇත. එනිසා ඒ අවුල ලිහානොගෙන මෙසේ ජීවිත උඩ පිනුම් ගැසීම තුළින් ලංකා ඉතිහාසය තුළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් අලුත් සමීකරණයක් ලියැවෙමින් තිබේ. එම සමීකරණයේ වම්පස සිටින්නේ සයිටම් නාමයෙන් රෝගී ජීවිත බිල්ලට ගන්නා වෛද්‍යවරුන් ය. දකුණු පස සිටින්නේ ජනතා අපේක්ෂා බිල්ලට දුන් දේශපාලකයන් ය. මෙය සමීකරණයක් බැවින් වම් පස හා දකුණු පස අතරමැද තිබෙන්නේ සමාන ලකුණකි.!

තවත් සරලව කියන්නේ නම් මේ වෛද්‍යවරයෙක් සහ නරුම දේශපාලකයෙක් අතර මේ වන විට කිසිම වෙනසක් නැත. විටෙක ඔවුන් දෙපිරිසම කරන්නේ ජනතාව තළා පෙළා ආතල් ගැනීමයි. දෙපිරිසම ජනතාව ඇපයට ගනිති. ‘තොපිමනෙ අපිව පත් කළේ... ඉතින් බලං හිටපල්ලා” වැනි අර්ථයකින් ජනතා ඡන්දයෙන් තේරී පත්වූ දේශපාලකයන් බලය ලැබුණු විට හිතුමතේ කටයුතු කරන අන්දමටම මේ වෛද්‍යවරු ද “තොපිමනෙ අපිට ඉගෙන ගන්න සල්ලි දුන්නෙ.. දැන් දෙකට නැමිල අපි ගාවට දොස්තර මහත්තයෝ කියාගෙන වරෙල්ලා..” වැනි අර්ථයකින් රස්සාව කරති. නමුත් වෛද්‍යවරුන් නමැති ආසියානු සමාජයේ වැඩිපුරම බුහුමන් ලබන සහ ජීවකයන් යැයි විරුදාවලි ලත් ‘ඉගෙන ගත්ත ළමයි’ මෙසේ හැසිරෙන විට එය හැම තැනම කතා කළ යුතු දෙයක් බවට පත් වේ. දැන් මේ සටන් කරන්නේ යමක් දිනාගන්නට විය යුතුය. ගැටළුව තිබෙන්නේ ඒ දෙය දිනාගත යුත්තේ කාගෙන්ද? ජනතාවගෙන්ද? ඉතා සරලව අසන්නේ නම් “මිනිස්සු පළිද“? කුස පිටට ඇළෙන තෙක් කම්කරුවන් ලෙස වැඩ කර, ඒ ලැබෙන සොච්චමෙනුත් සබන් කොළයේ පටන් ඔසප් පෑඩය දක්වා බදු ගෙවන රටක ඒ බදුවලින් ඉගෙන ගෙන මෙසේ කිරීම අදාළ වන්නේ, සේවයට බැඳෙන දින කියූ අර ‘හිපොක්‍රටික් ප්‍රතිඥාවේ’ කුමන වගන්තියටදැයි දැනගනු රිසියෙමි.

තවද මේ මහා ජනතා හිතවාදී වෛද්‍යවරුන් මෙකී වර්ජන කාලයේ සේවයට වාර්තා කර රෝහල් කාමරවලම රැඳී සිටියාද, පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණේම නැතිද යන්න ගැන ද ජනතාවට උත්තර දිය යුතුය. ජනතාව මේ අසමින් සිටින්නේ නුඹලා සියඹලා ගෙනාවේම නැත්ද කියා ය.!      

අප ඉතා හොඳින් දන්නා පරිදි විදෙස් රටවලින් වෛද්‍ය උපාධි ලබාගෙන මෙරට සේවය සඳහා පැමිණ, වෛද්‍ය සභාවේ අදාළ විභාගය සමත් වන වෛද්‍යවරුන් යුධ සමයේ සහ පශ්චාත් යුධ සමයේ මුල් අවධියේදී කෙළින්ම අනියුක්ත කළේ උතුරු නැගෙනහිර රෝහල්වල සේවයට ය. එයට ප්‍රධානම හේතුවක් වූයේ පිළිගත් යැයි කියන වෛද්‍ය විද්‍යාලවලින් පිටවන වෛද්‍ය තරුණ තරුණියන් ‘ඒ කට්ට කන්නට’ කොහෙත්ම සූදානම් නැති වීමයි. මෙසේ ඒ කාලයේ උතුරු නැගෙහිර සේවය කළ කණ්ඩායමට මේ රටේ හෝ වෙන රටක පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ වෘත්තීයභාවය සහ එහි භාවිතය පිළිබඳ කෙළින් කතා කරන්නට කොන්දක් නැතිවීම සහ ඒ වෙනුවට වෙන වෙන දේවල් කතා කරමින් සිටීම සහ එමගින් සංස්ලේෂණාත්මක සංවාදයක් ගොඩ නැගීමට දායක නොවීම වෙනම කාරණයකි. කෙසේ වෙතත් විදෙස් උපාධි ලබා අද වන විට රජයේ රෝහල්වල ස්වයේ නියුතු වෛද්‍යවරුන් සහ මේ කියන ‘නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා ‘මාර විදිහට කැපවී’ හුදෙක් රෝගී ජීවිත පිළිබඳ උපන් මහා කරුණාවෙන් පාගමන් යන වෛද්‍යවරුන් කරන ප්‍රතිකාර අතර වෙනසක් හඳුනාගත හැකිද යන්න සොයාබැලීම යෙහෙකි. පෙර කී අයුරින් තමන්ගේ පුද්ගලික මුදලින් ඉගෙන ගත් වෛද්‍ය උපාධිවලින් උතුරු නැගෙනහිර රෝගී ජීවිත කීයක් බේරාගෙන ඇත්ද, මානසික වශයෙන් ආතුර වූ සිත් කීයකට උපදේශන සේවා සපයා ඇත්ද යන්න වෙනම ගණන් හදා බැලිය යුතුය. ඔවුන් නිසා රෝගීන් මළා නම් එය ද සොයාබැලිය යුතු බව අපි කියමු.  ඔවුන් ද ඉගෙන ගත්තේ මේ රටේ හැම දෙයකටම ඊනියා වර්ජනකරුවන් විසින් තොරොම්බල් කරන පරිදි ‘මහජන මුදලින්’ නොවේ. තමන්ගේ පෞද්ගලික මුදලිනි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ‘වැඳල කියන්නම්, වැඩ වර්ජන නම් කරන්න එපා” යැයි මුලසුනේ සිට කියද්දී පවා මේ ‘වර්ජන සභාව’ සිනහ නගන්නේ ඒ නිසා ය. “අපි හතර වටින් කොළඹට එනවා.. කොළඹ අඩපණ කරනවා.. අපිව තරහ කරගෙන පුළුවන්ද බලහල්ලා” යැයි කියන සුදු කෝට්කරුවන්ගේ හෘද සාක්ෂිය ගැන මේ වන විට රටේ සමස්ත ජනතාවට තිබෙන්නේ මහා අපැහැදීමකි. 

රජයේ විශ්ව විද්‍යාලවලින් පිටකරන “මගෙ බල්ල බිරුවත් ස්ට්‍රයික්” (Mage Balla Biruwath Strike) (MBBS) (එම්.බී.බී.එස්) අයට වඩා පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් පිටවන වෛද්‍යවරුන්ගේ එම්.බී.බී.එස් ඩිග්‍රියට යම්කිසි මානුෂික භාවයක් හෝ තාර්කිකභාවයක් ඇත්ද යන්න පරීක්ෂා කිරීමටවත් අවම වශයෙන් අප විසින් කාලය ලබාදිය යුතු වාතාවරණක් මේ අනුව මේ වෛද්‍යවරුන් විසින්ම රට තුළ ඇති කරමින් තිබේ. කෙසේ වෙතත් එසේ කාලය ලබාදීම, නැවත වරක් අසරණ රෝගී ජීවිත සමග දැන් කරන සෙල්ලමේ වෙනත් සංස්කරණයක් නොවීම පිණිස මේ රටේ පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මය සාධනීය තලයකට ගෙන ආ යුතුය. ඒ ගැන  විවාදයක් හෝ පාර අවහිර කිරීමක් කොහෙත්ම නැත.

සාධාරණත්වය පතන්නෙනි, පිරිසිදු දෑතින් පැමිණෙන්න!!!

සංවාදයට විවෘතයි!

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

 

 

Top