1150 x 80 px

ඒකීය රාජ්‍යය-ඔරුමිත්ත නාඩු: නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ‍්‍රී ලංකාවක් උදෙසා (2)   ඞී. බී. එස්. ජෙයරාජ්

කෙසේ වෙතත්, වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ සැලකිල්ලට ගත යුතු වැදගත් පැතිමාන දෙකක් තිබේ. මුලින්ම, එම ක‍්‍රියාවලිය ද්වි-පාර්ශ්වික එකකි. දෙවැනුව, එය බහු-වාර්ගික එකකි.

මෛත‍්‍රිපාල සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ දේශපාලනික සුජාත භාවය පිළිබඳ සැකසාංකා තිබිය හැකි වෙතත්, නෛතික අරුතින් එම නායකත්වයේ කිසි දෝෂයක් නැත. ඒ අනුව, ලංකාවේ ප‍්‍රථම වරට එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ කාර්යයේදී එක්ව කටයුතු කරනු දක්නට ලැබේ. ඒ වගේම, දෙමළ ජාතික සන්ධානය විසින් නායකත්වය සපයනු ලබන දෙමළ ජනතාවත්, රවුෆ් හකීම් සහ රිෂාඞ් බද්යුද්දීන් විසින් නායකත්වය සපයනු ලබන මුස්ලිම් ජනතාවත් ඉහත කී ප‍්‍රධාන පක්ෂ දෙක සමග මේ කාර්යයේදී සහයෝගයෙන් වැඩ කරති. 1972 දෙමළ එක්සත් පෙරමුණ රටේ දෙමළ ජනතාවට නායකත්වය සපයන අවස්ථාවේ සහ 1978 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දෙමළ ජනතාවට නායකත්වය සපයන අවස්ථාවේ එවැනි තත්වයක් මේ රටේ පැවතියේ නැත. එදා එම අවස්ථා දෙකේදීම එම දෙමළ නායකත්වය ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියෙන් ඉවත්ව සිටියේය.

වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ ආසන්නතම ප‍්‍රතිඵලය වශයෙන් පවතින්නේ මෑතකදී ප‍්‍රසිද්ධියට පත්කළ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවයි. මන්ත‍්‍රීවරුන් 21 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවේ සෑම සාමාජිකයෙකුගේම අනුමැතිය ඊට ලැබී එම අතුරු වාර්තාව තුළ දක්නට ලැබෙන වැදගත්ම ලක්ෂණයයි. එහි අදහස වන්නේ, මෙහෙයුම් කමිටු අදියර සම්බන්ධයෙන් සළකන කල, එම වාර්තාව පොදු එකඟතා ප‍්‍රකාශනයක් වන බවයි.

මතුපිටින් බැලූ විට මෙම වාර්තාව කලඑළි බැසීම බලවත් සංතෘප්තියට කාරණයක් වෙතත්, වෙනත් ඇතැම් කරුණු නිසා යම් කුකුසක් ද දනවයි. ඒ සම්බන්ධයෙන් සලකන කළ, ව්‍යවස්ථා ක‍්‍රියාවලිය තුළ අපට හමුවන ප‍්‍රභාමත් අවස්ථාවක් වශයෙන් මෙම වාර්තාව දොහොත් මුදුනින් පිළිගැනීමට බාධා කරන ප‍්‍රධාන කාරණා දෙකක් හඳුනාගත හැකිය.

අතුරු වාර්තාවේ සම්පාදකයෝ

මුලින්ම, මීට අත්සන් තැබූ ඇතැම් අය මෙම වාර්තාවට එක් කළ යම් නිරීක්ෂණ හරහා වෙනස් ස්ථාවරයන් දරා සිටින බවක් පෙනේ. ඒවායින් සමහරක්, වාර්තාවේ මූලික ප‍්‍රස්තුතයන්ටත් ඉඳුරා ප‍්‍රතිපක්ෂව සිටී. පෙනෙන විදිහට, මේ පක්ෂ තමන්ගේ පැරණි ස්ථාවරයන් වෙනස් කොට ඇති සෙයකි. කිහිප දෙනෙකු, ‘වාර්තා සම්පාදකයන්’ නැමැති යෙදුම පාවිච්චි කරමින් එම වාර්තාවෙන් හැකි තාක් තමන් ඈත්ව සිටීමටත් වගබලාගෙන තිබේ. එහි අදහස වන්නේ, තමන් එම වාර්තාව අනුමත කොට ඇතත්, වෙනත් අයවළුන් විසින් සම්පාදනය කරන ලද එම වාර්තාවේ ඇතැම් අන්තර්ගතයන් පිළිබඳව තමන් මොනම එකඟත්වයක්වත් නොදක්වන බව ප‍්‍රකාශ කොට සිටීමකි. ඇතැම් මතිමතාන්තර අතර බරපතල විරසකයක් තිබේ. ඒවා සමනය කර ගන්නේ කෙසේද යන්න ඇත්තෙන්ම ප‍්‍රශ්නයකි.

ඊළඟට, මේ අතුරු වාර්තාව ප‍්‍රකාශයට පත් කිරීමට ගත් කාලයත් අතිශය දීර්ඝ එකකි. එය මීට බොහෝ කලකට පෙර අවසන් කොට තිබුණත්, එය මහජනතාවගේ දැන ගැනීම සඳහා ප‍්‍රකාශයට පත් කිරීම කල් ගොස් තිබුණි.
ඒ වෙනුවට සිදුවුණේ, ඇතැම් දේශපාලන පාර්ශ්වයන්හි පොරබැදීම් සමග එක දිගටම මේ ක‍්‍රියාවලිය ඇදෙමින් තිබීමයි. එයින් පෙන්නුම් කෙළේ ඒ ඒ දේශපාලන පක්ෂ අතර ඒ ගැන ඇති අව්‍යාජත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් සහ කැපවීමේ දුර්වල බව ප‍්‍රකාශයට පත්වීමක් ය. එවැනි තත්වයක් අලූත් ව්‍යවස්ථාවක් පිළිබඳ අනාගතයට එතරම් සාධනීය දෙයක් නොවන්නේය.

මුලින්ම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය පටන් ගැනුණේ ඉතා සාධනීය ආකාරයකිනි. සියලූ පාර්ශ්ව එකතු කර ගනිමින්, සියල්ලන් ඇතුළත් කර ගන්නා ක‍්‍රියාවලියක් ආරම්භ කිරීම කෙරෙහි අගමැතිවරයා දැක්වූ කැප වීම විශිෂ්ට ය. මේ කාර්යයේදී ඔහුගේ සහයෝගශීලී ප‍්‍රවේශය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොන්ග‍්‍රසය ආදී සියලූ පක්ෂවල ප‍්‍රශංසාවට ලක්විය. ඇතැම් අංශ වෙතින් සැක සාංකා මතුවෙමින් පැවතියත්, ක‍්‍රියාවලිය එක දිගට ඉදිරියට ගියේය. කොටින්ම, මේ මුල් කාලයේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය කෙරෙහි බරපතල විරෝධයක් එල්ල වුණේ නැත.

අලූත් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ අලූත් මැතිවරණ ක‍්‍රමයක් ඇති කර ගැනීම වැනි කාරණා වෙනත් ව්‍යවස්ථා සංශෝධන හරහා ඇති කර ගත හැකි බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා තිබුණි. මෙවැනි ප‍්‍රකාශ කර තිබියේ වී නමුත්, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට එරෙහි බරපතල විරෝධයක් ඔහු දැක්වූයේ නැත. මහින්දවාදී ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන සහ ප‍්‍රසන්න රණතුංග වැනි මෙහෙයුම් කමිටුවේ සිටි අයවළුන් පවා එක දිගටම කමිටුවේ සිටි අතර එය කඩාකප්පල් කිරීමට ඔවුන් තැත් කෙළේ නැත.

අනුකමිටු වාර්තා

අනුකමිටු වාර්තා සහ මෙහෙයුම් කමිටුවේ ප‍්‍රථම කෙටුම්පත පවා ගිය වසරේ නොවැම්බර් මාසය වන විට අවසන්ව තිබුණි. එහි අඩංගු යෝජනාවන්ට සාමාජිකයන් 21 දෙනාගේම අනුමැතිය ලැබී තිබුණි. කෙසේ වෙතත්, ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ අනුකමිටු වාර්තා පමණි. මෙහෙයුම් කමිටු යෝජනා පක්ෂ අතරේ බෙදා ගැනුණි. ඒ අවස්ථාවේ ඒවා අධ්‍යයනය කිරීමටත්, යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමටත් තව කාලය අවශ්‍ය බව ඇතැම් පක්ෂ කියා සිටියේය. ඒ අතරින් ප‍්‍රමුඛ වුණේ, මෛත‍්‍රිපාල සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

කලින්ද කී පරිදි, අනුකමිටු හයේ කාර්ය භාරය වුණේ තමන්ට අදාළ විෂය පථයන් සම්බන්ධයෙන් සකසා ගත යුතු ව්‍යවස්ථාමය ප‍්‍රතිපත්ති සකස් කොට ඒවා මෙහෙයුම් කමිටුවේ අවධානය සඳහා යොමු කිරීමයි. එම කරුණු අවසානයේ අලූත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේදී මෙහෙයුම් කමිටුව විසින් සැලකිල්ලට ගෙන ‘ව්‍යවස්ථා මන්ත‍්‍රණ සභාව’ වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණි. කෙසේ වෙතත්, එම වාර්තා ප‍්‍රකාශයට පත්වීමත් සමග දැඩි ව්‍යකූලත්වයක් හටගැනුණි. එම අනුකමිටු වාර්තා, අවසාන ව්‍යවස්ථාව යැයි ඇතැම්හු සලකන්ට වූහ.

ඉන් අනතුරුව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ වේගය මන්දගාමී වන්නට පටන් ගත්තේය. ආණ්ඩු-විරෝධී බලවේග මේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීමට පටන් ගත් අතර නොයෙක් ආකාරයෙන් ඊට විරෝධය පාන්නට විය. මේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය හරහා හොර රහසේ ෆෙඩරල් ක‍්‍රමයක් ඇති කිරීමට තැත් කරතියි මේ අතරේ චෝදනා නැගුණි. එම කි‍්‍රයාවලිය පසුපස, ජාත්‍යන්තර කොටස්, රහස් න්‍යාය පත‍්‍ර සහිත රාජ්‍ය නොවන සංවිධාන සහ දෙමළ ඩයස්පෝරාවේ කොටි බෙදුම්වාදී කණ්ඩායම් සිටිතැයි චෝදනා නැගුණි. එම විරෝධයට ඇතැම් බෞද්ධ සංඝයා වහන්සේලාද එක් වූහ.

පස්ස ගැසීමේ ප‍්‍රවණතාව

මේ තත්වය තුළ දේශපාලන පක්ෂ කිහිපයක් තුළ සැකසාංකා මතු වන්නට විය. ඒ අනුව තමන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා තව තවත් කාලය අවශ්‍ය බව ඔවුහූ කියා සිටියහ. මෙම පක්ෂවල සාමාජිකයන් මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් වුවත්, මෙම ක‍්‍රියාවලිය තුළ එවැනි සැක කටයුතු කිසිවක් නැති බව ඔවුන් හොඳින් දැන සිටියත්, මෙම තත්වය තුළ අර කී පක්ෂ පස්ස ගසන්ට වුහ. ඒ අනුව, මෙහෙයුම් කමිටුවේ ව්‍යවස්ථා කළලයේ මූලික ස්වභාවයට පවා ඇතැම් පක්ෂ එරෙහි වන තත්වයක් වර්ධනය වුණි.

ශ‍්‍රී ලංකා දේශපාලනයේ ‘කුප‍්‍රකට’ නමක් ඇති ‘ෆෙඩරල්’ යන්න මෙම සංවාදය තුළ මතු කෙරුණි. අලූත් ව්‍යවස්ථාව හරහා ශ‍්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීමේ සූදානමක් ඇතැයි මේ අය චෝදනා නැගූහ. මීට අදාල අදහස් උදහස් මෙහෙයුම් කමිටුව තුළ සාකච්ඡුාවට ගැනී තිබුණත් ඒ සම්බන්ධයෙන් කිසි අවසාන තීරණයකට එළැඹ තිබුණේ නැත. අවසාන ලියැවිල්ලක් හෝ වාර්තාවක් හෝ තිබුණේ නැත. කෙසේ වෙතත්, විරෝධතා ප‍්‍රචාරණය එක දිගටම ගෙන යන ලදි. අවාසනාවකට එම චෝදනා ඉදිරියේ ඇත්ත තතු පහදා දීමට ආණ්ඩුව අපොහොසත් විය. මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් විපක්ෂයේ කණ්ඩායම් සමග එක් වූ බෞද්ධ මහ නායක හිමිවරු අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව කියා සිටියහ.

මේ තත්වය තුළ ඇතැම් පක්ෂ මේ සම්බන්ධයෙන් වන තමන්ගේ ආස්ථානයන් ගැන නැවත සිතා බලන්ට වූහ. විමල් වීරවංශ, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියෙන් මුලින්ම ඉවත් විය. ඔහු සහ ඔහුගේ පක්ෂයේ මන්ත‍්‍රීවරු හතර දෙනෙක් පසුගිය ජුලි මාසයේ තමන් ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ ඉවත් වන බව කතානායක කරූ ජයසූරිය වෙත ලිඛිතව දන්වා සිටියහ. ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපියේ, ඉල්ලා අස්වීමට හේතු කාරණා වන කරුණු 10 ක් ඉදිරිපත් කොට තිබුණි. කිසිවක් පිළිබඳ අවසාන තීරණයක් තවම ගෙන නැති බව පෙන්වා දෙමින්, ඔවුන්ගේ ඉල්ලා අස්වීම අධෛර්යමත් කිරීමට කතානායකවරයා උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැත. කෙසේ වෙතත්, ‘ඒකාබද්ධ විපක්ෂයේ’ සෙසු පිරිස් ඔවුන්ව අනුගමනය කෙළේ නැත. විවේචන ඉදිරිපත් කරමින් වුවද ඔවුහූ එක දිගටම ක‍්‍රියාවලිය තුළ රැුඳී සිටියහ.

මහින්ද රාජපක්ෂ

තවත් පැත්තකින්, සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදය වර්ධනය වන්නට විය. එම කණ්ඩායමේ ඇතැමුන්ට ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියෙන් ඉවත් වීමට අවශ්‍ය විය. තවත් සමහරුන්ට මහින්ද රාජපක්ෂ සමග යළි එක් වීමට අවශ්‍ය විය. තවත් සමහරුන්ට, මහින්ද රාජපක්ෂ සහ මෛත‍්‍රීපාල සිරිසේන අතර පාලමක් යා කිරීමට අවශ්‍ය විය. ඒ සියල්ල අස්සේ, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ආස්ථානය දුර්වල වන බවක් පෙනෙන්ට තිබුණි.

දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට විධායක ජනාධිපති ක‍්‍රමය තබා ගැනීමට අවශ්‍යව තිබේ. එවැනි බරපතල ප‍්‍රතිපත්ති වෙනසක්, ජනාධිපතිවරයාගේ අනුදැනුම නොමැතිව ඇති කර ගැනීමේ හැකියාවක් ඔහුගේ පක්ෂයේ සාමාජිකයන්ට තිබිය නොහැකි බව ඇතැමුන් පෙන්වා දෙනු ලැබේ. එම තත්වය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතරේ බලවත් නොපෑහීමක ලකුණු පහළ වන්ට විය. අලූත් ව්‍යවස්ථාවක් පිළිබඳ ඇතැම් පක්ෂ නැවත වරක් සිතා බලමින් සිටි තත්වය තුළ බොහෝ පක්ෂ දැන් ඒ සම්බන්ධයෙන් මෙතෙක් දරමින් සිටි ප‍්‍රතිපත්ති සංශෝධනය කර ගැනීම හෝ දියාරු කර ගැනීම දක්වා තල්ලූ විය.

කෙසේ වෙතත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ ඊට එකඟ නැත. මේ අන්තර්-වාර යෝජනා සම්බන්ධයෙන් කලින් ඇති කර ගත් එකඟත්වයන් හැකි තාක් එසේම තබා ගැනීම ඔහුගේ අවශ්‍යතාවයයි. එසේම, ප‍්‍රධාන වාර්තාවක් සහ ඒ සමග ඉදිරිපත් කෙරෙන වෙනත් විසම්මුතික වාර්තා වශයෙන් මෙය ඉදිරිපත් කිරීමටත් ඔහු එකඟ නැත. මෙහෙයුම් කමිටුව තුළ තිබිය හැකි විවිධ මතිමතාන්තර සහ විසම්මුතික අදහස් උදහස් සැලකිල්ලට ගන්නේ වී නමුත් අවසානයේදී ඒ සියල්ල ඇතුළත් කර ගත් තනි වාර්තාවක් ඉදිරිපත් කිරීම ඔහුගේ අභිලාෂයයි.

එබැවින් ඉදිරිපත් වූ විවිධ අදහස් සැලකිල්ලට ගත් මෙහෙයුම් කමිටුව ඒවා සහසම්බන්ධී නිර්දේශ වශයෙන් ප‍්‍රධාන වාර්තාවට ඇතුළත් කෙළේය. වැදගත්ම කාරණය වන්නේ, මේ අවසාන යෝජනා සංගෘහිත කිරීමේදී මෙහෙයුම් කමිටුව ඉතා විවෘත ආකාරයකින් කටයුතු කිරීමයි. ඒ අනුව, දැඩි තීන්දුවල එල්බ ගන්නවා වෙනුවට, පාරිභාෂික කෝෂයත් වඩාත් නම්‍යශීලීව තබා ගැනීමට ඔවුන් උත්සුක විය. ‘පහත සඳහන් සූත‍්‍රය සලකා බැලිය හැකිය.’ ආදී වශයෙන් එහි සඳහන් වෙයි. එහි අදහස වන්නේ, යෝජනා කරන ලද සෑම කරුණක්ම සාකච්ඡුාවට ගත හැකි බවත්, කිසිවක් බලහත්කාරයෙන් නොපැටවිය යුතු බවත් ය. එසේම, වෙනම ලේඛන වශයෙන් තමන්ගේ වෙනස් අදහස් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව සලසා දෙන ලදි. ඒවා අතුරු වාර්තාවට ඇමුණුම වශයෙන් එක් කළ යුතුව තිබුණි.

කෙසේ වෙතත්, ඒ සඳහා පාවිච්චි කරන ලද පාරිභාෂික යෙදුම වුණේ, ‘නිරීක්ෂණ’ යන්නයි. ඇමිණුම් වශයෙන් ඒවා හැඳින්වීමට අගමැතිවරයාගේ කැමැත්තක් නොවීය. ඒ බව වාර්තාවේ හරියටම සඳහන් වන්නේ මෙයාකාරයෙනි: ‘‘මෙම වාර්තාවේ සඳහන් ප‍්‍රතිපත්ති සහ සූත‍්‍ර පිළිබඳ මෙහෙයුම් සභා සාමාජිකයන්ගේ නිරීක්ෂණ සහ අදහස් මේ වාර්තාවට ඇතුළත් වෙයි.’’

ව්‍යවස්ථා සම්පාදන අභ්‍යාසය මාස ගණනාවක් තිස්සේ සෑහෙන වේගයකින් ගමන් කළත්, එහි ප‍්‍රගතිය මෑතක සිට අඩාල වී තිබේ. අවශ්‍ය කරන වේගය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවමත් පරිස්සම්කාරී සහ ඇල්මැරුණු ස්වභාවයක් දරණ බව පෙනේ. ඊට ප‍්‍රධාන වශයෙන් හේතු වන්නේ, රට පුරා ඇති වෙමින් පවතින ව්‍යවස්ථා-විරෝධී ප‍්‍රචාරණයත්, ව්‍යවස්ථාවට අදාළ ප‍්‍රශ්න, විශේෂයෙන් විධායක ජනාධිපති ධුරය සම්බන්ධ ප‍්‍රශ්න අරභයා එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින මතභේදයි. ඒ නිසා වැඩියත්ම කණස්සල්ලට පත්වන්නේ දෙමළ ජාතික සන්ධානයයි. අලූත් ව්‍යවස්ථාවක් සඳහා වන සන්ධානයේ ප‍්‍රධාන බලවේගයක් වන දෙමළ ජාතික සන්ධානය, සමානාත්මතාව සහ සහජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා අලූත් ව්‍යවස්ථාවක ඇති අතිශය වැදගත්කම අවධාරණය කරයි. ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය කෙරෙහි ආණ්ඩුවේ කැපවීම සහතික කර ගැනීම සඳහා අවශ්‍ය කරන ජාත්‍යන්තර බලපෑම් ඇති කර ගැනීමටත් දෙමළ ජාතික සන්ධානය කටයුතු කෙළේය.

(ඉතිරිය ඉදිරියට)

2017 සැප්තැම්බර් 30 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ   2017 සැප්තැම්බර් 30 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ   Aekiya Raajya-Orumiththa Nadu: For an Undivided, Indivisible Sri Lanka

නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

එ්කීය රාජ්‍යය-ඔරුමිත්ත නාඩු: නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ්‍රී ලංකාවක් උදෙසා (1) - ඩී.බී.එස්. ජෙයරාජ්

 

 

Top