1150 x 80 px

නාය යාමේ අවදානමෙන් බේරී සිටින්නේ කෙසේද? 


කුඩා හෝ වර්ෂාපතනයක් පතිත වුවහොත් නාය යාමේ අවධානමක් ඇති වේදැයි බියෙන් පසුවන මිලියන 6 ක ජන කොටසක් (සමස්ථ ලංකාවේ ජනගහනයෙන් 30% ක්) ලංකාව පුරා විසිරී සිටී.  මෙම මිනිසුන් වැසි බර දිනවල තම නිවෙස් වල හෝ ඒ අවට ජීවත් වන්නේ ගිනි ජාලාවක් පපු කුහරය තුල හිරකරගෙනයි. 

 නමුත් පුදුමයට කරුණ නම් මෙසේ නාය යාමේ අධි අවදානමක් තිබියදීත් එම ප්‍රදේශවලින් ඉවත්ව වෙනත් ස්ථානයක පදිංචි වීමට මේ ජනතාව දක්වන මැලිකමයි. මෙසේ තම නිවෙස්වල සිටීමට සාධාරණ හේතුද නැත්තේ නොවේ.තම ජීවිත කාලය පුරාවට උපයා ගත් දේ සහ ඉදිරි දශක එකක හෝ  දෙකක  කාලයකට ණය වී ගොඩනගාගත් තම දේපළ අතහැර දමා යාම සම්බන්ධයෙන් තීරණ ගැනීම ඉතා අසීරු කරුණක් බව සත්‍යයකි.

ශ්‍රී ලංකාව තුළ දැනට පවතින නාය යාමේ අවදානම

land slide area

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (National Building Research Organization- NBRO) කරන ලද සමීක්ෂණවලින්,  ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 20% ක් නාය යාමේ අවදානම ඇති බව හදුනා ගෙන තිබේ.  එම අවදානම  දිස්ත්‍රික්ක 13 ක් පුරා පැතිරී ඇත. මෙයිනුත්  බදුල්ල, නුවරඑළිය, මාතලේ,මහනුවර, කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්වලට වැඩි බලපෑමක් ඇත.  මොණරාගල, කුරුණෑගල, ගම්පහ, ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි සමහර කදු ප්‍රදේශ වල සුළු අවදානමක් ඇත.  

ජනතාවගේ නොසැලකිල්ල සහ නොදැනුවත්භාවය

ජනතාව නාය ආපදාවන්ට ලක් වන්නේ, නායයෑම් පිළිබඳව ඔවුන් සතුව පවතින අල්ප දැනුම, අඩු අවදානය  හා අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පෙර සූදානම නොමැති වීම වැනි කරුණු මූලික කර ගනිමින්ය. අනතුරින් බේරීමට ප්‍රජාව මූලික කර ගත් ව්‍යාපෘතියක් (ප්‍රජා මූලික ආරක්ෂණ ක්‍රමයක්) හදුන්වා දී, ජනතාව ව්‍යසනයෙන් බේරා ගැනීමේ ජාතික වැඩපිළිවෙලක්  ආරම්භ කිරීමට ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය (NBRO) කටයුතු සම්පාදනය අවසන් කර ඇත.

එහිදී අවදානම් කලාප වල ජීවත්වන ජනතාවට එම අවදානම සමග ජීවත්වීමට පුහුණු කිරීමත්,  කල් ඇතිව නාය යාම් අවදානම හදුනා ගැනීමට ක්‍රම සැකසීමත්, පූර්ව අනතුරු ඇගවීමට ක්‍රමවේදයන් සැකසීමත් , ජනතා සහභාගීත්වයෙන් සිදුකරයි. මෙම ව්‍යාපෘතිය “ප්‍රජා මූලික නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීමේ ව්‍යාපෘතිය (Community Based Landslide Early Warning Project- CBLEW) ලෙස නම් කර ඇත.


ව්‍යාපෘතියේ දැනට තත්වය

බදුල්ල, නුවර එළිය හා කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි ‍තෝරා ගන්නා ලද නාය අවදානම් සහිත ගම්මාන 130 ක පමණ මේ  ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 

ව්‍යාපෘතිය මගින් අනතුර වලක්වන ආකාරය

අදාළ ප්‍රදේශවල ග්‍රාම නිළධාරීන් , ආපදා නිළධාරීන් ඇතුළු අනිකුත් නිළධාරීන් පුහුණු කරමින්  ඔවුන් හරහා අදාළ ප්‍රදේශයන්හි ක්‍රියාකාරී පිරිස් එකතුවෙන් ගොඩනගා ගන්නා ලද ආපදා කමිටු හරහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. 

මුලින්ම ප්‍රදේශය තුල ඇති නාය යාමේ අවදානම් කළාප හදුනාගෙන සිතියම් ගත කිරීමට අවශ්‍ය දැනුම මෙම ආපදා කමිටුව වෙත ලබාදෙයි. 

ඉන් පසු පූර්ව අනතුරු ඇඟවීම සඳහා භාවිත කරනු ලබන උපකරණ පරිහරණය, ඒවා උපයෝගී කර ගනිමින් දත්ත ලබා ගැනීම හා  දත්ත විශ්ලේෂණය කිරීම මගින් අවදානම හදුනාගැනීමට මනා පුහුණුවක්  ආපදා කළමණාකරණ කමිටුව වෙත ලබා දෙයි. 

දත්ත මගින් නාය යාමේ අවදානමක් පෙන්වා දෙන අවස්ථාවන්හි දී ආපදා කමිටුව ක්‍රියාත්මක වී නාය යාම සම්බන්ධයෙන් කළින් සකස් කළ  සිතියම උපයෝගී කරගනිමින් අවදානම් කළාප, ආරක්ෂිත කළාප ආදිය සම්බන්ධයෙන් ගම්වාසීන් දැනුවත් කිරීම සිදුවේ. එයට සමගාමීව  ග්‍රාම නිළධාරී, ප්‍රාදේශීය ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදී  වගකිව යුතු ආයතන හා නිළධාරීන් ව  දැනුවත් කිරීමද මෙම කමිටුව විසින් සිදු කරනු ලබයි.

 

project

නාය යාම සම්බන්ධයෙන් වන තොරතුරු ගලායන ආකාරය ඉහතන් දැක්වේ

නාය යාම් නිර්ණයට අදාළ උපකරණ නොමිලේ  

මෙහිදී නාය යාම් පිළිබඳව කල් ඇතුව දැන ගැනීම සඳහා උපයෝගී කර ගත හැකි  වර්ෂාමානය හා විතැතිමානය ආදී උපකරණ නොමිලේ සපයා දීමට  NBRO ආයතනය කටයුතු කරනු ඇත. 

instrument
 

වර්ෂාමානය භාවිතා කර නාය යාමේ අවදානම පුරෝකතනය කිරීම

අවදානම ඇති කළාප වල වර්ෂාපතනය හා ඊට අදාළ අවදානම පහත වගුවෙන් පෙන්නුම් කෙරේ.  

rain fall

ඉදිරි පියවර 

මෝසම් වර්ෂාවට පෙර හෝ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි  උපයෝගී කරගෙන හෝ අදාළ ආපදා කමිටු හා නිලධාරීන් දැනුවත් කර අවදානම් ප්‍රදේශවල ජීවත්වන  ජනතාව පෙර  සූදානමකට ලක් කිරීමටද කටයුතු කෙරේ. 

එසේම ලබා ගනු ලබන වර්ෂාව සම්බන්ධයෙන් වූ දත්ත එක්රැස් කරගෙන ඒවායින් දත්ත ගබඩාවක් ස්ථාපිත කරනු ඇත. 

මීට අමතරව අදාළ බලධාරීන් සහ ජනතාව දැනුවත් කිරීම සඳහා පොත් පිංචක් නිර්මාණය කිරීමට නියමිත වේ. 

නාය නිර්ණයට ඉදිරියේදී නවීන තාක්ෂණික මෙවලම් හා  දියුණු ක්‍රමවේදයන්

ව්‍යාපෘතියේ ඉදිරි පියවරක් ලෙස ආතති පැළුම් සහිත ස්ථාන සඳහා ස්වයංක්‍රීය ආතතිමාන (Automated Extensometer) සවිකිරීමටත්, පොළවේ ජලප්‍රමාණ පිළිබඳ උත්තේජක (Moisture Sensor) සවිකරීමටත් සැලසුම් සකස්කර ඇත. නාය අවදානම් තත්වයක් ඇති වූ විට මෙම උපකරණ මඟින් ස්වයංක්‍රීයව හඬක් නිකුත් කර පූර්ව නායයෑම් අනතු‍රු ජනතාව වෙත ලබා දීමට මෙමඟින් බලාපොරොත්තු වේ. එසේම එම දත්ත ස්වයංක්‍රීයව ජනතාව වෙත හා NBRO කාර්යාල වෙත අන්තර් ජාලය හරහා ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග සකස් කරනු ලැබේ. ඒ අනුව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද දෙකක් (Manual and automated systems) භාවිත කිරීම මගින් අනතුරුදායක අවස්ථාවකදී සිදුවිය හැකි අතපසුවීම් අවම කර ගැනීමටත්, වඩා විශ්වාසදායක තොරතුරු ජනතාවට ලබාදීමටත් බලාපොරොත්තු වේ.  මේවා  ක්‍රියාත්මක කිරීම සඳහා අවම වශයෙන් වසර 5 ක වත් කාලයක් ගත වනු ඇතැයි  පැවසේ.

නායයාම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය මගින් සම්පාදිත ලිපියක් ඇසුරින් සකස් කරන ලද්දකි.

විශේෂ ස්තූතිය - ජාතික  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම පර්යේෂණ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂක ජේෂ්ඨ භූවිද්‍යාඥ ගාමිණී ජයතිස්ස මහතාට

Top