1150 x 80 px

පවුල්වාදය, වැඩවසම්වාදය සහ විධායක ජනාධිපති ක‍්‍රමය

ලංකාවට නිදහස ලැබී 70 වසරක් පිරීම නිමිත්තෙන් පසුගිය දා පැවති විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වෙමින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වැදගත් ප‍්‍රකාශයක් කෙළේය. එනම්, පාර්ලිමේන්තුව වඩාත් ශක්තිමත් සහ බලවත් කිරීම සඳහා තමන් නොපසුබටව කටයුතු කරන බවයි. එම කතාවේදී කිසි තැනක විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවක් ඔහු කීවේ නැත.

ඊට දින කිහිපයකට කලින්, ඇමරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහ සභා සැසිවාරය අමතමින් ඔහු ජාත්‍යන්තර ප‍්‍රජාවට තවත් වැදගත් දෙයක් මතක් කර දුන්නේය. එනම්, තමාගේ බලය තමන් විසින්ම අඩු කර ගත් එකම රාජ්‍ය නායකයා තමන් වන බවයි. එහිදීත්, ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට තමන් බලාපොරොත්තු වන බවක් ඔහු කීවේ නැත.    මේ සම්බන්ධයෙන් අප දෙපැත්තකින් සලකා බැලිය යුතුව තිබේ. එක පැත්තක් වන්නේ, ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන තවමත් ඉතා සීරුමාරුවෙන් කතා කිරීමට ජනාධිපතිවරයා විශේෂ පරිශ‍්‍රමයක් ගන්නේ මන්ද යන්නයි. එහිදී, ඔහුගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මේ සම්බන්ධයෙන් කරන කියන ප‍්‍රකාශ සහිත පසුබිම අපේ මතකයට එයි. ජනාධිපති ක‍්‍රමය දිගටම පවත්වා ගැනීමට පක්ෂයක් වශයෙන් තමන් තීරණය කොට ඇතැයි නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් පුනපුනා කියති. මේ සියලූ දෙනාගේ විශේෂ ලක්ෂණය වන්නේ ඔවුන් එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායකගේ හෝ සිරිමා බණ්ඩාරනායකගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නොව, මහින්ද රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් පිරිසක් වීමයි.

එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ෆෙඩරල් ක‍්‍රමයක් ලංකාවට යෝජනා කළ දකුණේ ප‍්‍රථමයා සහ ප‍්‍රමුඛයා ය. ඒ 1920 ගණන්වලදී ය. එසේ වෙතත්, ඉන් පසුව අපේ ජාතීන් අතර ප‍්‍රශ්නය ඔඩු දුවන්ට පටන් ගත් තත්වය තුළ, ෆෙඩරල් ක‍්‍රමය පිළිබඳ මතය දකුණේ චින්තනය තුළ විපර්යාසයකට භාජනය වීම ස්වාභාවික තත්වයක් වශයෙන් කෙනෙකු ගෙනහැර දැක්වීමට ඉඩ තිබේ. මේ නිසා, දකුණේ පක්ෂයක් වශයෙන් බණ්ඩාරනායකගේ ෆෙඩරල් චින්තනය ඉදිරියට ගෙන යාමේ හැකියාවක් නොපැවති බවට ඔවුන් තර්ක කළොත්, ඒ මතයට කෙනෙකු කැමති වෙතත් නැතත්, බැලූ බැල්මට එම තර්කයේ යම් සත්‍යයක් ඇතැයි කෙනෙකුට පෙනෙන්ට පුළුවන. ඒ ගැන අපේ බරපතල ආරෝවක් නැත.

එසේ වෙතත්, බලය බෙදා හැරෙන ෆෙඩරල් ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කිරීමෙන් නොනැවතී, බලය කේන්ද්‍රයකට ඒකරාශී කෙරෙන සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවෙන් ඔබ්බට ගිය විධායක ජනාධිපති ක‍්‍රමයක් විසින් සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ව්‍යුහය සහ පර්යාදර්ශය දූෂ්‍ය කරනු ලබන ආකාරයෙන් තනි පුද්ගලයෙකු රජ කරවන ක‍්‍රමයක් 1978 දී ජේ. ආර්. ජයවර්ධන ඇති කර ගන්නා විට, සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට එරෙහිව නැගී සිටි බව අපි දනිමු. ඔවුන් එදා පිටකොටුවේ බෝ ගස යට සත්‍යග‍්‍රහ කරමින් කීවේ, ෆෙඩරල් ක‍්‍රමයක් අවශ්‍ය බව නොව, ජනාධිපති ක‍්‍රමයක් අනවශ්‍ය බවයි. 

දැන් මේ සමස්ත ඉතිහාසය සංක්ෂිප්ත කළොත් ඒ මෙසේ ය: ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය වන්නේ, ෆෙඩරල් ක‍්‍රමය අතහැර දැමූ සහ විධායක ජනාධිපති ක‍්‍රමය කොන්දේසි විරහිතව ප‍්‍රතික්ෂේප කරන ප‍්‍රතිපත්තියක් වන බවයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලියාපදිංචි උප්පැන්නය අනුව දැන් එහි වයස අවුරුදු 65 කි. මේ දීර්ඝ කාලය තුළ, ඉහත කී දර්ශනයේ දෙවැනි අංගය කණපිට හැරුණේ අවසාන අවුරුදු 5 දී පමණි. එනම්, මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ, 2010 සිට 2015 දක්වා වන කාලය තුළ දී ය. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ‘බලහත්කාරයෙන්’ සම්මත කර ගත් මොහොතේ පටන්, මහින්ද රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, මේ කාරණය සම්බන්ධයෙන්, 1978 පැවති ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂයත් ඉක්මවා ගියේය. ඒ වනාහී, එක විට, එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායකත්, සිරිමා බණ්ඩාරනායකත් නායකත්වය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඔළුවෙන් සිටුවීමකි.

මේ නිසා අද නිමල් සිරිපාල සිල්වා ඇතුළු පිරිස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක් ගැන කතා කරන විට ඔවුන් කතා කරන්නේ, ඉහත කී අවසාන අවුරුදු පහේ පැවති මහින්ද රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන බව අප සිහි තබා ගත යුතුව තිබේ. පක්ෂ ඉතිහාසය පැත්තෙන් ගත්තත්, පක්ෂ දෘෂ්ටිවාදය සම්බන්ධයෙන් ගත්තත්, ඇත්ත වශයෙන්ම මේ පිරිස තවමත් පය ගසාගෙන සිටින සැබෑ (මහින්ද) කඳවුර පැත්තෙන් ගත්තත්, ඔවුන් බොක්කෙන් නියෝජනය කරන්නේ, බණ්ඩාරනායකලාගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොව, රාජපක්ෂලාගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයකි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මොන පවුලට අයත් විය යුතු ද යන්න අපට ප‍්‍රශ්නයක් නොවේ. එය, බණ්ඩාරනායකලාට අයත් වුවත් රාජපක්ෂලාට අයත් වුවත් සිරිසේනලාට අයත් වුවත් අපට කම් නැත. එහෙත් මේ කියන පවුල් නාම පසුපස්සෙන්, සුවිශේෂී වූ දේශපාලන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක වන්නේ නම් සහ එකිනෙකින් වෙනස් දෘෂ්ටිවාද ඒ නම් සමග ඈඳෙන්නේ නම්, එම පවුල් නාමවල යම් අර්ථයක් අපට තිබේ. අප මේ කතා කරන්නේ ඒ ගැන මිස පවුල් තෝම්බු ගැන නොවේ. 

ලංකාව වැනි රටවල පක්ෂ ‘අයිතිය’ ක‍්‍රියාත්මක වන්නේ බොහෝ විට වැඩවසම් ආකාරයකිනි. ලංකාවේ ප‍්‍රධාන ධනපති පක්ෂ දෙකම ඊට දෙස් දෙයි. එහෙත්, විවිධ ඓතිහාසික සහ භෞතික හේතු පෙරදැරිව එක්සත් ජාතික පක්ෂය ඒ වැඩවසම් රාමුවෙන් කැඞී වෙන් වුණි. සේනානායකලාගෙන් පසු ‘පවුල් අයිතියකට’ ඒ පක්ෂය යට වුණේ නැත. ඔවුන්ගේ සමස්ත කාලය තුළ කොතලාවල, ජයවර්ධන, පේ‍්‍රමදාස, වික‍්‍රමසිංහ ආදී වශයෙන් එහි ‘අයිතිය’ විටින් විට මාරු වී තිබේ. වික‍්‍රමසිංහගෙන් පසු අනිවාර්යයෙන්ම ඒ පක්ෂයේ ‘අයිතිය’ නැවත වතාවක් වෙනස් වනු නොඅනුමානයි. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, අවුරුදු 65 ක කාලය තුළ අයිති කරගෙන සිටියේ පවුල් දෙකක් විසින් පමණි. (එයිනුත් අවුරුදු 55 ක්ම එක පවුලක් විසිනි). එයින් අවුරුදු 25 ක් (1978 දක්වා) අගමැති ක‍්‍රමයක් යටතේ ය. අවුරුදු 40 ක් ජනාධිපති ක‍්‍රමයක් යටතේ ය.

පක්ෂ අයිතිය පවුල්වාදයට යට වීම වැඩවසම් ක‍්‍රමයේ ප‍්‍රතිවිපාකයකි. වැඩවසම් ක‍්‍රමයේ අඩුවැඩිය මුළුමණින් ඉවත්ව නැති සමාජයක ජනාධිපති ක‍්‍රමයක් වේවා, අගමැති ක‍්‍රමයක් වේවා, පක්ෂ අයිතිය පවුල්වාදයට යට වීමේ හැම ඉඩකඩක්ම තිබේ. එහෙත් එවැනි වැඩවසම් සමාජයක ජනාධිපති ක‍්‍රමයකුත් ඇතොත්, පක්ෂයේ අයිතිය පමණක් නොව, රටේ අයිතියත් පවුල්වාදයකට යට වීමේ ඉඩකඩ බොහෝ ය. ජේ. ආර්. ගෙන් පසුව, ආර්. පේ‍්‍රමදාසගෙන් පසුව සහ රනිල් වික‍්‍රමසිංහගෙන් පසුව එම පවුල් අයිතිය එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් දක්නට නොලැබුණේ සහ නොලැබෙන්නේ, විශේෂිත ‘බාධක’ හෙවත් ව්‍යතිරේක පෙරදැරිව බව අපි දනිමු. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ එවැනි බාධක සහ ව්‍යතිරේක රහිතව ‘පවුල් ගස්’ සමෘද්ධිමත්ව රෝපණය වුණි. කෙසේ වෙතත් අපට වැදගත් වන්නේ, මේ වැඩවසම් පරවේණිය සහ විධායක ජනාධිපති ක‍්‍රමය අතර ඇති අපූරු නෑකම රටේ අනාගත දේශපාලනික සංස්කෘතියට කෙසේ බලපායි ද යන කාරණයයි. 

පුද්ගලයා සහ පවුල යනු ධනපති සමාජ-ආර්ථික ව්‍යුහයේ කේන්ද්‍රීය ඒකකයි. පැරණි රජ ක‍්‍රමය තුළ එය උපත ලැබූ අතර ධනපති ක‍්‍රමය තුළ එය තාරුණ්‍යයට පත්විය. ඒ කෙසේද යත්, ධනපති ක‍්‍රමය තුළට සමාජය මුහුකුරා යද්දී, පුද්ගලයා සහ පවුල යන පටු ඒකකයෙන් බලය නිදහස් කර ගත යුතු වීමෙනි. ඒ මන්ද යත්, ප‍්‍රාග්ධනයට සිය නිදහස් සංසරණය සඳහා වඩාත් ව්‍යාප්ත වූ වපසරියක් අවශ්‍ය කළ බැවිනි. අද අප දකින ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය එහි ප‍්‍රතිඵලයයි. 

එම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ, බලය ජනාධිපති ක‍්‍රමයක් යටතේ ඒකරාශී කෙරෙන හැම අවස්ථාවකම, ඊට සමානුපාතිකව එම බලය වාරණය කෙරෙන සහ තුලනය කෙරෙන සමගාමී විකල්ප බල කේන්ද්‍ර ඇති කර ගත යුතු විය. උදාහරණයක් වශයෙන් ඇමරිකාවේ ශක්තිමත් විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇති කර ගන්නා ගමන්ම, ඊට සමගාමීව බලය අභ්‍යාස කළ හැකි සහ විධායක බලය තුලනය කළ හැකි පාර්ලිමේන්නුවක්, ප‍්‍රාන්ත රාජ්‍ය ක‍්‍රමයක්, අධිකරණයක් සහ ස්වාධීන නීති ව්‍යුහයක් ආදී බල කේන්ද්‍ර ගොඩනගා ගැනුණි. සන්සන්දනයක් වශයෙන් ලංකාව ගතහොත් සිදු වුණේ එහි අනිත් පැත්තයි. විධායක ජනාධිපති ධුරය පාලනය කිරීම සහ එම ධුරයේ බලය තුලනය කිරීම සඳහා නොව අපේ පාර්ලිමේන්තුව, පළාත් සභා ක‍්‍රමය, අධිකරණය, පොලීසිය සහ නීති පද්ධති පෙල ගැසුණේ එය තවත් තරබාරු කිරීම සහ ‘හැබිචෝල්’ කිරීම සඳහා ය. දැන් අපි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාවට යළි පිවිසෙමු. පාර්ලිමේන්තු ක‍්‍රමය ශක්තිමත් කළ යුතු බව ඔහු අවධාරණය කරද්දී එයින් අදහස් විය යුත්තේ එකම කාරණයකි. එනම්, සාමූහික බලයට තිරිංග විය හැකි ප‍්‍රධාන බාධක ඉවත් කර ගත යුතු බවයි. ඒවා කවරේද?

මේ ලිපියේ ඉඩහසර ගැන සළකා එයින් දෙකක් පමණක් කෙටියෙන් ගෙනහැර දක්වමි. එකක් වන්නේ, වැඩවසම් චින්තනයයි. ඒ තුළ අපේ රටට රජ කෙනෙකු අවශ්‍ය යැයි සිතයි. ‘ඒකීය භාවය’ සහ ‘බුද්ධාගමට ප‍්‍රමුඛ ස්ථානය දීම’ වැනි කරුණු සාක්ෂාත් කර ගත හැක්කේ රජ කෙනෙකු යටතේ පමණකැයි සිතයි. දෙවැන්න වන්නේ, ඒ අභිලාෂය සඳහා ආසන්නතම ව්‍යවස්ථාමය පරිසරය ගොඩනගා ගත හැක්කේ විධායක ජනාධිපති ක‍්‍රමයක් යටතේ යැයි විශ්වාස කිරීමයි. අද වන විට, මෛත‍්‍රීපාල සිරිසේන මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව (නිතර නොකියා) ඉතා අරපිරිමැස්මෙන් යුතුව පමණක් කියන්නේ වෙන කිසිවක් නිසා නොව, අර වැඩවසම් චින්තනය සහ ක‍්‍රමය විසින් ඇති කොට තිබෙන යාන්ත‍්‍රණයක් තුළ ඔහු ද (අකමැත්තෙන් වුවත්) සිරකරුවෙකුව ඇති බැවිනි. 

මෛත‍්‍රීපාල සිරිසේන, ගතානුගතික දේශපාලඥයාගේ සිට විශිෂ්ට රාජ්‍ය තාන්ත‍්‍රිකයා බවට පරිණාමය විය යුත්තේ මෙහිදී ය. තමා හෝ තම පක්ෂයේ අනාගතය ගැන වෙනුවට රටේ අනාගතය ගැන ඔහු සිතා බැලිය යුතු මොහොත මෙයයි. ඇමරිකාවේදී ඔහු කියූ පරිදි, තමා ගැන නොසිතා බලයෙන් කොටසක් ඔහු ස්වේච්ඡුාවෙන් අතහැරීම රටේ ප‍්‍රශංසාවට හේතු වෙයි. ඒ ආකාරයෙන්ම, ‘‘තමන්ගේ නොවන තමන්ගේ පක්ෂයක්’’ ගැන සිතීමට වඩා රට ගැන සිතීමටත් ඔහුට දිරිය තිබේ නම්, නිදහසෙන් පසු ශ‍්‍රී ලංකාව බිහි කළ ප‍්‍රථම සහ එකම රාජ්‍ය තාන්ත‍්‍රිකයා ඔහු වනු නියතයි. 


- ගාමිණි වියන්ගොඩ

Top