1150 x 80 px

ඒකීය රාජ්‍යය-ඔරුමිත්ත නාඩු: නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ‍්‍රී ලංකාවක් උදෙසා (3) - ඩී. බී. එස්. ජෙයරාජ්

ඉහළ පෙළේ පැමිණීම්

ප‍්‍රධාන පෙළේ වැදගත් විදේශ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් දෙදෙනෙකු ශ‍්‍රී ලංකාවට පැමිණීම, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට යම් තල්ලූවක් සැපයීය. ඉන් එක් අයෙකු වුණේ, දකුණු ආසියාව පිළිබඳ ඇමරිකානු වැඩ බලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මියයි. දෙවැන්නිය වුණේ, ඉන්දියානු විදේශ කටයුතු ඇමති සුෂ්මා ස්වරාජ් මහත්මියයි. දෙදෙනාම, කොළඹ පැවති ඉන්දියානු සාගර සමුළුව ඇමතූහ. එසේම ලංකාවේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ ප‍්‍රගතිය ගැන සොයා බැලීමට සේම, හැකි ඉක්මණින් ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘතිය අවසානයක් කර ගැනීම සඳහා ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කිරීමටත් දෙදෙනාම එය අවස්ථාවක් කර ගත්හ.

 අපේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය, ශ‍්‍රී ලංකාවේ අන්තර්-වාර්ගික යුක්තිය සහ වාර්ගික සංහිඳියාව සඳහා මහෝපකාරී වන බව වොෂින්ටනයේ සේම නව දිල්ලියේ ද විශ්වාසයයි. ඉහත කී සංචාරයන්ට අමතරව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සයිඞ් අල් හුසේන් ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ මන්දගාමීත්වය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරය අමතමින් විවේචනාත්මක ප‍්‍රකාශයක් කිරීමත් එක්තරා ආකාරයකින් ලංකාවේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට තල්ලූවක් සැපයීය.

මේ ආකාරයට එවන් ජාත්‍යන්තර බලපෑම්වල සංයෝගයෙන් ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ ඉදිරි ගමනට සහායක් ලැබුණි. එසේ ගොඩනැගෙමින් පැවති ‘විදේශීය’ තෙරපුම ඉදිරියේ විසඳුමකට තිබුණේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් යම් කාර්යයක් ඉටු කිරීම බවට හැඟීමක් ලංකා ආණ්ඩුව තුළ ඇති විය. ඒ අනුව ව්‍යවස්ථා ක‍්‍රියාවලිය යළි පණ ගැසීය. ඒ ආකාරයෙන් ජාත්‍යන්තර තෙරපුම තිබියදී ලංකාව ඇතුළෙන් ඇති වූ තෙරපුමත් ඊට ඉවහල් විය. 

එක්සත් ජාතික පක්ෂ/ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව මේ අවස්ථාවේ ඡුන්දවලට මුහුණදීමට වැඩි කැමැත්තක් නොදක්වයි. පළාත් පාලන හෝ පළාත් සභා ඡන්දවලට ගියොත් මේ පක්ෂ දෙක එදිරිවාදි ස්ථාවරයන්ට අවතීර්ණ වීමට හොඳමට ඉඩ තිබේ. ආණ්ඩුව ඇතුළේ සිිටින කුඩා පක්ෂත් වෙනම තරග කළ හැකි අතර ඒ පක්ෂත් ප‍්‍රධාන පක්ෂ දෙකට ප‍්‍රතිපක්ෂව සිටිය හැකිය. ඒ සියල්ලටමත් වඩා බරපතල කාරණය වන්නේ, එක්සත් ජාතික පක්ෂය, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පිල සහ මහින්ද පිළ අතර සිදු විය හැකි තුන් කොන් සටනකින් මෛත‍්‍රී පිළ තුන්වැනි ස්ථානයට පත්වීමේ අවදානමයි. එසේ වුවහොත්, අද මෛත‍්‍රීපාල සමග සිටින ඇතැම් අය පවා මහින්ද පිළට එක් වීමෙන් වර්තමාන ආණ්ඩු පක්ෂ බල තුලනයේ බරපතල වෙනසක් ඇති වීමට ඉඩ තිබේ. 

අලූත් ව්‍යවස්ථාවක් හෝ ප‍්‍රධාන පෙළේ ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දයක් සේම ජනමත විචාරණයකින් ජය ගැනීමක් ද අවශ්‍ය කෙරේ. ජනමත විචාරණයක් ජය ගැනීම සඳහා දැනට ආණ්ඩුවේ සිටින පාර්ශ්වකරුවන් එක කඳවුරක් වශයෙන් විශ්වාසවන්තව සටන් කළ යුතුව තිබේ. ඒවා සතු ශක්‍යතාවන් සහ සම්පත් ඒකබද්ධව පාවිච්චි කළ යුතුව තිබේ. අනිත් අතට, පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණ කලින් පැවැත්වීමෙන් සිදුවන්නේ, ආණ්ඩුව තුළ අද පවතින එක්සත් භාවය හානියට පත්ව, එය ව්‍යවස්ථා සම්පාදනය කෙරෙහි අහිතකර ආකාරයෙන් බලපෑමට ඉඩ තිබීමයි. 

මේ නිසා, ව්‍යවස්ථා සම්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන ජනමත විචාරණයකට පෙරාතුව වෙනත් ඡුන්දයකට යාමෙන් වැළැකී සිටීමට ආණ්ඩුවට අවශ්‍ය කොට තිබේ. ජනමත විචාරණයකින් ලබන සාර්ථකත්වයක් හරහා ආණ්ඩුවේ බලය ස්ථායී කර ගැනීමට මෙන්ම රාජපක්ෂ බලය දුර්වල කිරීමටත් හැකි වෙතැයි ආණ්ඩුව විශ්වාස කරයි. 

පුළුල් චිත‍්‍රය 

පළාත් පාලන මැතිවරණ සහ පළාත් සභා ඡන්දවලට අදාළ නීති සංශෝධන කෙරෙහි ආණ්ඩුව යොමු වීම පසුපස පැවති හේතු ඒවා ය. එම සංශෝධනය ගෙන ඒමේදී ආණ්ඩුව අනුගමනය කළ ක‍්‍රියාමාර්ගය, එනම් කමිටු අවස්ථාවේදී සංශෝධන ඇතුළත් කිරීම, දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. එම චෝදනාවන්ගෙන් බොහොමයක් සාධාරණ ය. එහෙත් ආණ්ඩුව පැත්තෙන් ඡුන්ද කල් දමා ගැනීම අත්‍යාවශ්‍යව තිබුණි. ආණ්ඩුවේ ප‍්‍රවේශය, නරක දෙකක් අතරින් අඩු නරක තෝරා ගැනීමක් වශයෙන් ආණ්ඩුවට අර්ථ දැක්විය හැකිය. පුළුල් චිත‍්‍රය තුළ බහා ඒ දෙස බැලිය යුතු යැයි ආණ්ඩුව කිව හැකිය. ආණ්ඩුව සිතන්නේ, පළාත් පාලන සහ පළාත් සභා ඡුන්ද පැවැත්වීම කල් දැමීමේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවට වඩා, ආණ්ඩුවේ එක්සත් භාවය රැුක ගැනීමත්, ප‍්‍රගතිශීලී ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමත් වැදගත් වන බව ය.

තමන්ට තිබෙන කාලය සීමිත බව ආණ්ඩුව වටහාගෙන තිබේ. ඡන්ද කල් දැමීම හැම දාමත් කළ නොහේ. පළාත් සභා සඳහා වන සීමා නිර්ණය කිරීම් සඳහා තව මාස කිහිපයක් ගත විය හැකි වෙතත්, පළාත් පාලන සහ පළාත් සභා ඡුන්ද දින නියමයක් නොමැතිව කල් දැමීම යුක්ති සහගත කිරීම අසීරු ය. එසේ වෙතත්, ජනමත විචාරණයකට කලින් මෙම ඡුන්දවලට යෑමට ආණ්ඩුවේ කැමැත්තක් නැත. 

එම ජනමත විචාරණය ජය ගනිමින් අලූත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම මගින් ආණ්ඩුවේ ශක්තිය වර්ධනය කර ගත හැකිය. ඉන් පසුව, පළාත් පාලන සහ පළාත් සභා ඡුන්දවලට වඩාත් ශක්තිමත්ව මුහුණදිය හැකිය. එසේම, ජනමත විචාරණයෙන් ජය ගැනීම හරහා මහින්ද රාජපක්ෂගේ සහ විපක්ෂයේ දේශපාලන හයියත් දුර්වල කළ හැකිය. මේ සියල්ල සාර්ථක කර ගැනීමට නම් ජනමත විචාරණය නොපමාව පැවැත්විය යුත්තේය. එසේ කිරීම සඳහා අදාළ ව්‍යවස්ථා කෙටුම්පත නොපමාව සකස් කර ගත යුතුය. ඒ සඳහා, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය වේගවත් කළ යුතු වන්නේය. බොහෝ කලක් තිස්සේ බලාපොරොත්තුව සිටි මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පසුගිය දා ආණ්ඩුව විසින් ඉදිරිපත් කෙළේ ඒ සන්දර්භය තුළ ය. 

මෙම අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමට ටික කලකට පෙර පටන්, එම වෑයම අඩාල කිරීමටත්, එහි අඩංගු ඇතැම් කරුණු මගින් පොදුවේ සිංහලයාව සහ විශේෂයෙන් බෞද්ධයාව පාවා දීමක් සිදුවන බවටත් ප‍්‍රචාරයක් දියත් කොට තිබුණි. වර්තමාන ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට හිමි තැන මේ අලූත් ව්‍යවස්ථාවෙන් අහෝසි කෙරෙන බවක් එහිදී කියැවුණි. එසේම, ශ‍්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමත් ඒ මගින් සිදුවෙතැයි විවේචකයෝ කීහ. 

ගෝඨාභය රාජපක්ෂ 

අලූත් ව්‍යවස්ථාවට එරෙහිව ගොඩනංවන ලද වඩාත් ප‍්‍රබල විරෝධය කුළුගැන්වුණේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් පැවති ‘එළිය’ තුළිනි. මේ ව්‍යාපාරයේ මුඛ්‍ය අභිලාෂය වන්නේ අලූත් ව්‍යස්ථාවට විරෝධය දක්වා එය නතර කිරීමයි. එහිදී කතා කළ ගෝඨාභය රාජපක්ෂ මෙසේ කීය:

‘‘තිස් අවුරුද්දක් තිස්සේ මේ රටේ පැවති ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු, රට එකසේසත් කළ පසු, එම ජයග‍්‍රහණය අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හරහා හෝ පාර්ලිමේන්තුව හරහා හෝ පාවා දීමට අපට ඉඩ දිය නොහැක. අද අලූත් ව්‍යවස්ථාවක් හරහා ඒ මහා ජයග‍්‍රහණය ආපස්සට හැරවෙතැයි අප තුළ මහා බියක් තිබේ.’’

‘‘ඒ අනුව, අලූත් ව්‍යවස්ථාවට එරෙහි වීමේ අවශ්‍යතාව මහජනතාව අතරට ගෙන යා යුතු බවට විද්වතුන් සහ වෘත්තිකයන් යෝජනා කරන ලදි. එම අදහස ජනතාව අතර සමාජගත කිරීම සහ අලූත් ව්‍යවස්ථාවට විරෝධය පෑම ‘එළිය’ ව්‍යාපාරයේ කාර්ය භාරයයි.’’ 

‘‘වර්තමාන ව්‍යවස්ථාව තුළ වැරදි නැතැයි මෙයින් නොකියැවේ. එහෙත් අලූත් ව්‍යවස්ථාව පසුපස සිටින පුද්ගලයන් ගැන සිතන විට, එය සකස් කරන්නේ කා වෙනුවෙන් සහ මොන කාරණයක් වෙනුවෙන් ද යන්න ගැන සිතන විට, අප තුළ බරපතල අනාරක්ෂාව පිළිබඳ හැඟීමක් ඇති වෙයි. මේ අලූත් ව්‍යවස්ථාව යන්නේ කොයිබට ද යන්න අපි දනිමු.’’ 

මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව එළිදැක්වුණේ, යෝජිත අලූත් ව්‍යවස්ථාව සඳහා වන එවන් විරෝධයක් ගොඩනැගෙමින් තිබූ පරිසරයක ය. එම අතුරු වාර්තාව එළිදැක්වීම නිසා, එතෙක් ඉදිරිපත් කෙරුණු බොහෝ විවේචන පදනම් විරහිත බව ඔප්පු වුණි. බුද්ධාගමට හිමි තැන එයාකාරයෙන්ම මේ අලූත් ව්‍යවස්ථාවේ ද සඳහන් වෙයි. එසේම, රාජ්‍යයේ ස්වභාවය ගැන සැළකීමේදී, නිර්මාණාත්මක අතරමැද එකඟත්වයක් මේ අලූත් යෝජනාවලිය තුළින් ඇති කරගෙන තිබේ. එකීය හෝ ෆෙඩරල් වශයෙන් හඳුන්වනවා වෙනුවට, ‘මැද තැනකට’ ගොස්, ශ‍්‍රී ලංකාව නොබෙදුණු සහ බෙදිය නොහැකි රාජ්‍යයක් වශයෙන් පවතිනු ඇතැයි එම වාර්තාව තුළ අවධාරණය කෙරේ. 

ඒකීය සහ ෆෙඩරල් 

මේ කාරණය අතුරු වාර්තාව තුළ පැහැදිළිව විස්තර කෙරේ. එහිදී මෙසේ සඳහන් වෙයි: ‘‘ව්‍යවස්ථා මන්ත‍්‍රණ සභාව පිහිටුවීමේ යෝජනාව ඉදිරියේ අදහස් දක්වමින් දකුණේ ජනතාව ‘ෆෙඩරල්’ යන වචනය ගැන බිය වන අතරේම උතුරේ ජනතාව ‘ඒකීය’ යන වචනය ගැන බිය වන බව ජනාධිපතිවරයා කීය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්, ජනතාව තුළ බිය දනවන ලියවිල්ලක් නොවිය යුතුය. ‘ඒකීය රාජ්‍යය’ නැමැති ඉංග‍්‍රීසි යෙදුම වෙනස්කම්වලට භාජනය වී තිබේ. ඒකීය රාජ්‍යයක් වන එක්සත් රාජධානියට අයත් උතුරු අයර්ලන්තයට සහ ස්කෝට්ලන්තයට දැන් වෙන් වීමේ හැකියාව තිබේ. එබැවින්, ඒකීය නැමැති ඉංග‍්‍රීසි යෙදුම ලංකාවට යෝග්‍ය නොවේ. ඒකීය රාජ්‍යය නැමැති සිංහල යෙදුම තුළ, නොබෙදුණු සහ බෙදිය නොහැකි යන අරුත ඉතා හොඳින් පැහැදිළි කෙරේ. ඊට සමාන දෙමළ යෙදුම වන්නේ, ‘ඔරුමිත්ත නාඩු’ යන්නයි. එම තත්වය තුළ පහත සඳහන් සූත‍්‍රය සලකා බැලිය හැක: ශ‍්‍රී ලංකාව නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජයක් වන අතර, ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි බලය අභ්‍යාස කෙරෙන මධ්‍යම සහ පළාත් ආයතනවලින් සැදුම්ලත් ‘ඒකීය රාජ්‍යයක්/ඔරුමිත්ත නාඩු’ වන්නේය. මේ වගන්තියේ සඳහන් ‘ඒකීය/ඔරුමිත්ත නාඩු’ යනු, නොබෙදුණු සහ නොබෙදිය හැකි රාජ්‍යයකි. එය තුළ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලය හෝ ව්‍යවස්ථාව අවලංගු කිරීමේ හෝ අහෝසි කිරීමේ බලය, මේ අලූත් ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි, පාර්ලිමේන්තුව සහ ශී‍්‍ර ලංකාවේ ජනතාව සතු වන්නේය.’’ 

කලින් ද සඳහන් කළ පරිදි, මේ වාර්තාවේ ශක්‍යතා අනාගතය ගැන අනාවැකි කීමට හෝ එහි සඳහන් කරුණු ගැන ගැඹුරින් සළකා බැලීමට හෝ මෙය අවස්ථාව නොවේ. කෙසේ වෙතත්, ඇතැම් දෙනා බලාපොරොත්තු වූ පරිදි, මහ විශාල විරෝධයක් මේ දක්වා මේ සම්බන්ධයෙන් මතු වුණේ නැත. ඒ නිහැඬියාව, සමහර විට නොපෙනෙන කුණාටුවකට කලින් පවතින සන්සුන් තත්වයක් විය හැකිය. ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය ළං වෙද්දී තත්වය උණුසුම් විය හැකිය. සටන් පෙරමුණු, ඒ විවාදයට මත්තෙන්, විවාදය අතරතුරේදී සහ ඉන් පසුව, පැහැදිළිව ගොඩනැගෙනු ඇත. 

ඉතිහාසයේ සන්ධිස්ථානය

අලූත් ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින්නන් ඉදිරියේ තිබෙන්නේ විශාල අභියෝගයකි. ඉදිරියේදි ඇති වීමට නියමිත දරුණු දේශපාලන අරගලය තුළ බොහෝ වෙනස්කම් සහ හැරවීම් ලක්ෂ්‍යයන් තිබිය හැකිය. මේ අභියෝගය ඉදිරියේ නොසැලී සිටීමට සහ පටන් ගත් කාර්ය භාරය අවසානයක් දක්වා රැුගෙන යාමට ආණ්ඩුවට සහ එහි පාර්ශ්වකරුවන්ට ශක්තිය තිබේද යන්න ඉදිරියේදී බලා ගැනීමට ඇති දෙයකි. ලාංකීය ජනතාව සිටින්නේ ඉතිහාසයේ සන්ධිස්ථානයක ය. රටේ දෛවය සමග බැඳී ඇති ඒ නොවැළැක්විය හැකි අභියෝගය වෙත, අධිෂ්ඨානශීලීව සහ එක්සත්ව මේ ‘ඒකීය රාජ්‍යයේ/ඔරුමිත්ත නාඩු රාජ්‍යයේ’ ජනතාව ගමන් කරාවිද?

2017 සැප්තැම්බර් 30 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ  Aekiya Raajya-Orumiththa Nadu: For an Undivided, Indivisible Sri Lanka නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

සබැඳි පුවත් - 

ඒකීය රාජ්‍යය-ඔරුමිත්ත නාඩු: නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ‍්‍රී ලංකාවක් උදෙසා (2) ඞී. බී. එස්. ජෙයරාජ්

එ්කීය රාජ්‍යය-ඔරුමිත්ත නාඩු: නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ්‍රී ලංකාවක් උදෙසා (1) - ඩී.බී.එස්. ජෙයරාජ්

Top