1150 x 80 px

පහේ රේස්

ඥාති පුතෙකු ශිෂ්‍යත්ව විභාගයට මෙවර පෙනී සිට සමත් වීමේ පුවත අසන්නට ලැබුණි. ඔහු ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 163 ක් ලබාගෙන සමත් වී තිබුණි. ඒ පුවත ඇසුණු සැණින් මා ඔහුට කතා කර සුභ පැතීමට අමතක නොකළෙමි.

‘ ආ.. පුතා මම කෝල් කලේ ඔයා පාස්වුනාට සතුටු බව දනුම් දෙන්න. හොදයි ඔයා. හොඳට ලකුණු ඇරන් තියෙනවා.’

නමුත් දුරකතනයේ අනෙක් පසින් ආවේ දුක්බර හඩකි. ‘වැඩක් නෑනෙ එක ලකුණෙන්නෙ පාස් වුනේ’

මෙතරම් ලකුණු රැගෙන පාස් වූ  දරුවාට ඒ සතුට විද ගන්නටවත් අවස්ථාව ලබා නොදීමට තරම් සමාජයේ ‘‘දියුණුව’’ හා අප රටේ අධ්‍යාපන ක්‍රමය කෙතරම් පහළ මට්ටමකට වැටී ඇත.

එම ඥාති දරුවාගේ මවටද සුභ පැතීමට අමතක නොකළමි.  මා ඇයටද දුරකතනයෙන් කථා කළෙමි.

‘මට නම් සතුටුයි පුතා විභාගෙ සමත් වුන එක ගැන.’ මම කීවෙමි.

ඇගේ කතාවට මගේ ඇඟ කිලිපොලා ගියේය.

‘මොනව කරන්නද ඔහොම හරි පාස් වුනා මදෑ. නැත්නම් අපට පාරෙ බැහැලා යන්නවත් බැරි වෙනවා’

දරුවෙකු විභාගය අසමත්වීම දෙමාපියන්ට ලැජ්ජාවක් වන්නේ කෙසේද? දරුවන් ලොකු වැරැද්දක් කර තිබේනම් දරුවන්ට මග පෙන්වන්නන් ලෙස දෙමාපියන් ලැජ්ජා විය යුුතුව ඇත. අනිත් අතින් ශිෂ්‍යත්ව විභාගය යනු දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක විභාගයක් නොවේ. හොදින් මේ විභාගය සමතුන් බොහෝ දෙනෙකු ජීවිතයේ කඩ ඉම් වන සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවලදී ඒ හා සමාන ලකුණු ලබා නොගනී.

දරුවාට සෙල්ලමට තියා කන්න බොන්න වෙලාවක්වත් නොදී දරුවා සමග පන්ති දුවන අම්මලා තාත්තලාගෙන් ඇසිය යුතු එක පැනයක් තිබේ. එනම් ඔතරම් මහන්සි වී දරුවන්ට උගන්වන  අපේ රටේ දාර්ශණිකයන් බිහි නොවන්නේ ඇයි?

මනා මානසික හා කායික සෞඛ්‍යයක් සහිත නීරෝගී දරුවෙකු බිහි කිරීම දියුණු රටවල පවතින අධ්‍යාපනය ක්‍රමය ඉඩ කඩ සලසා දෙයි. ලෝකයේ දියුණුම අධ්‍යාපන ක්‍රමයක් ඇති රට ලෙස  ( World Economic Forum හි වාර්තා අනුව ) නම් කරන්නේ පින්ලන්තයයි. පින්ලන්තය, ලෝකයේ හොඳම සොයාගැනීම් සිදුකරන රටවල් 5 අතරේ (Global Innovation Index 2016 අනුව ) පසුවෙයි. එම රටේ පවතින විශ්වවිද්‍යාල 5 ක්ම ලොකයේ හොදම විශ්වවිද්‍යාල 50 අතර සිටී. ( ලංකාවේ එකදු විශ්වවිද්‍යාලයක්වත් ලෝකයේ හොදම විශ්වවිද්‍යාල 1000 තුලවත් නැත.) එබැවින් පින්ලන්තයේ අධ්‍යාපනය ක්‍රමය දියුණු එකක් ලෙස පිලිගත යුතුය.
පින්ලන්ත දරුවන්ට ගෙදර වැඩ ( Home work ) නැත. පාසැලෙන් ගෙදර යන දරුවාට දෙමාපියන් සමග සිටීමට නැත්නම් සෙල්ලම් කිරීමට, පරිසරය සමග ජීවත්වීමට අවස්ථාව හා වේලාව ලැබේ. එනිසා  දරුවා

නිදහස් මනසකින් සහ හොඳ සෞඛ්‍යකින් පසුවෙයි. නිරෝගී මනසක් සහිත දරුවාගේ චින්තන ශක්තිය වැඩි දියුණු වේ.
පින්ලන්තයේ පාසැල් සියල්ලම එක සමානයි. සෑම දරුවෙකුටම අධ්‍යාපනයේ සම අයිතිය හිමිවේ. වැඩි පහසුකම් ඇති හෝ ජනප්‍රිය පාසැල් නැත. එනිසා දරුවාව ළඟම පාසැලට යැවිය හැකියි. එනිසා අප රටේ මෙන් ජනප්‍රිය පාසලේ කුඩා ඉඩක් ඇති පන්ති කාමරයේ එක් ගුරුවරයෙකු යටතේ ළමයි 50 බලා ගැනීමේ උවමනාවක් මතු නොවෙයි. එසේම පාසැලේ විදුහල්පතිවරයාට පාසැලේ අඩුපාඩුවක් හදා ගන්න යැයි අල්ලස් දී දරුවා පාසැලට ඇතුළත් කර ගැනීමටද අවශ්‍ය නොවේ.  දියුණු අධ්‍යාපන ක්‍රමය තුළ  එක් පන්තියක සිටිය යුතු වන්නේ දරුවන් 15-20 කි.

අනිකුත් කරුණ නම් දියුණු ඉගෙනුම් ක්‍රමවල  දරුවන්ට ඇගයීම් ලකුණු (grading) නැත. යම් විෂයක් සම්බන්ධයෙන් දරුවාට ලකුණු දීම දරුවාගේ මනස පීඩාවට පත්කරන  යල්පැන ගිය එකක් බව අධ්‍යාපන විශේෂඥයන්ගේ පිලිගැනීමයි.   ලකුණු දී ඇගයීමකින් දරුවාගේ සැබෑ දැනුම තක්සේරු කළ නොහැක. ලකුණු ක්‍රමයෙන් එකිනෙකා අතර තරඟය වැඩි වෙනවා විනා අන් යමක් නොලැබේ. ලංකාවේ නම් අනෙක් දරුවාට වඩා තම දරුවාගේ  ලකුණු වැඩි කර ගැනීමට දෙමාපියන් අතර පවා තරඟයක් දක්නට හැකිය. දියුණු අධ්‍යාපන ක්‍රමවල  දරුවන් ඇගයීම සඳහා විභාගද නැත.  මනා පුහුණුවක් හා දරුවන් ගැන මනා අවබෝදයක් ගොඩ නගා ගත්  ගුරුවරුන්ට දරුවන් ඇගයීමට ලක් කළහැක. දරුවන්ගේ දුර්වල කම් සොයා බලා ඒ සඳහා විශේෂ අවදානයක් දිය හැකිය. පින්ලන්තය වැනි රටක් ගත් විට  දරුවන්ට පාසැලේ විභාග ඉතාම දුර එකකි. දරුවාට මුල්ම විභාගයට පෙනී සිටීමට සිදුවන්නේ වයස අවුරුදු 16 දීය.

සංවර්ධිත රටක නම් අඩු ආදායම් සහිත පවුලක දරුවකු ඉපැදුන දා සිටම රජයෙන් සහන සැලසේ.   ආදායම අඩු පවුල්වල දරුවන් පාසැල් යැවීම සඳහා රජයෙන් උපකාර ලැබේ. දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙන් දෙමාපියන්ට වැඩි බරක් නොඑයි. නමුත් ආසියාවේ ආශ්චර්ය වන මේ රටේ දරුවෙකු ඉපදුනු වහාම ඒ දෙමාපියන්ට මහත් බරක් එකතුවේ. දරුවාව පෝෂණය කිරීමට දරුවාට හොද අධ්‍යාපනයක් ලබාදීමට මුදල් සොයා ගන්නේ කෙසේද? හොද පාසැලකට ඇතුලත් කර ගන්නේ කෙසේද? යන පැන දෙමාපියන්ට එයි.

ශ්‍රී ලංකාවේ ගුරුවරුන් ලෙස බඳවා ගන්නේ විෂය දැනුම ඇගයීමට ලක් කිරීමකින් තොරවයි. තරඟ විභාගයක් පවත්වන්නේ නම් පොදු තරඟ විභාගයකි.  විද්‍යාපීඨ හැරුණු කොට ගුරුවරයෙකු ලෙස පත්වීමේදී පෙර පුහුණුවක් කිසිදාක නොලැබේ. රටේ තීරණාත්මකම වෘත්තීය වන ගුරු වෘත්තියට පිවිසීමේදී අඩුම තරමේ සුදුසු පෙර පුහුණුවක්වත් දිය යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ සේවයට පත්වන නව ගුරුවරයෙකු විසින් ඉදිරියට කළ යුතු විෂය තෝරා දෙන්නේ මුලින්ම පත්වීම ලබන පාසැලේ විදුහල්පතිවරයාය. සමහර විට මේ විදුහල්පතිවරයා දිගු සේවා කාලය හේතුකොට ගෙන විදුහල්වති වූවෙකි. කෙසේ හෝ විදුහල්පතිවරයා පාසැලේ පුරප්පාඩු ඇති විෂයට අදාළව නව ගුරුවරයාට වැඩ භාරදෙයි. එතැන් සිට එම වෘත්තියේ සිටින තාක් එම ගුරුවරයා එම විෂය ඉගැන්වීම් කරගෙන යයි. එහිදී විෂය දැනුම අදාළ නැත. මේ න්‍යාය අනුව දේශපාලන විද්‍යාව ගැන ගෞරව උපාධියක් ඇති කෙනෙකුට ලැබෙන්නේ ප්‍රාථමික අංශයේ පලමු ශ්‍රේණිය උගන්වන්ටය. නැතිනම් ක්‍රීඩා උගන්වන්නටය. මෙවන් තත්වයක් තුළ දරුවන් දැනුමෙන් පෝෂණය වී බුද්ධිමතෙකු වේදැයි සිතිය යුතු කරුණකි.

අධ්‍යාපනය දියුණු රටවල ගුරුවරයෙකු වීම දුෂ්කර කාර්යකි.  ගුරුවරයෙකු බවට පත්වීමට පෙර පවත්වන පුහුණුවට බඳවා ගන්නේ ඉහළ දක්ෂතා දක්වන අයවළුන් පමණි. පින්ලන්තයේ පශ්චාත් උපාධියක් නොමැතිව ගුරුවරයෙකු ලෙස සේවය කළ නොහැකියි.  ශ්‍රී ලංකාව තුල බොහෝ ගුරුවරුන්ට අලුත් දැනුම හා තාක්ෂණය ඉතා දුරය. අප රටේ විශ්‍රාම යන තෙක්ම බොහෝ ගුරුවරු එකම ශ්‍රේණියේ නොසිටින්නේ සේවාකාලය අනුව ශ්‍රේණිය උසස් කිරීමට රජයේ ඇති චක්‍ර ලේකවලට පින් සිදුවන්ටය. මේ පසුබිම තුළ දරුවන්ට යල් පැන ගිය විධික්‍රම මගින් ඉගැන්වීම සාමාන්‍ය දෙයක් වෙයි.

එසේම ලාංකික ගුරුවරයෙකුට ලැබෙන්නේ සොච්චම් වැටුපකි. ඒ වැටුපත් පන්ති කාමරයේ අලුත් දැනුම එකතුකරමින් ඉගැන්වීමේ මානසික විවේකය අඩුයි. රජයේ පාසැලක ගුරුවරයෙකු වූ විට ජීවත්වීමට අමතර ආදායමක් ලැබිය යුතුම වේ. ඒ අනුව පාසැලේ දරුවන්ට හෝ අනිකුත් දරුවන්ට ටියුෂන් පන්ති පැවැත්වීම පිළිබඳව දොස් කීමටද බැරි කරුණක් වී ඇත.  මක්නිසාද යත් සියල්ල කරනුයේ ජීවත්වීම වෙනුවෙනි.

පින්ලන්තයේ ගුරුවරුන් පැය 4 ක් පාසැලේ උගන්වා තව පැය 2 අධ්‍යාපන සංවර්ධන කටයුතු කළ යුතුවේ. එනිසා ගුරුවරු දිනෙන දින දැනුමෙන් පෝෂණය වේ.

මේ අතර ගුරු වෘත්තීය සමිතිවලටද කාර්යක් ඇති බව මතක් කළ යුතුයි. ගුරු පඩි වැඩි කිරීම් වැනි ආර්ථික කාරණා වලට පමණක් තම සටන් සීමා නොකර වෘත්තීයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් තම සටන පුළුල් කරන්නේ නම් ගුරු වෘත්තියට බොහෝ ගෞරවයක් නුදුරු අනාගතයේදී අත්වනු ඇත.


දියුණු රටවල උපාධිය පමණක් නොව PhD පවා නොමිලේ ඉගෙන ගත හැකිය. පෞද්ගලික විශ්වවිද්‍යාල එපා යැයි තම අධ්‍යාපනයද කඩා කප්පල් කර ගනිමින් විශ්වවිද්‍යාලයට නාකි වෙන්නට වෙර දරන අපේ තරුණ පරම්පරාව දිවි පරදුරවට තබා සටන් කළ යුත්තේ මෙවැනි හොද අධ්‍යාපන ක්‍රමයක් පාසැල් තුල හා විශ්ව විද්‍යාල තුළ ඇති කිරීමටයි.එසේ නොමැතිව මිනිසුන්ගේ බදු මුදල්වලින් නඩත්තුවන පොදු දේපළ හානි කිරීමට නොවේ.

කේ. විජයවර්ධන

Top