1150 x 80 px

53’ අගෝස්තු ජනතා නැගිටීම - ප්‍රේමපාල හේවාබටගේ

ඊනියා හර්තාලයක් නොව වහල්භාවයේ යදම් බිඳලීමට හෙලූ යකුලූ පහරකි.

 

”.... නිර්ධන පංති විප්ලවයක් ගැන පාලක පංතිය බියෙන් තැති ගත්තාදෙන්, නිර්ධනීන්ට සිය වහල් බැමි විනා නැති වීමට අන් කිසිවක් නොමැත. දිනා ගැනීමට ලෝකයක් ඇත” - කොමියුනිස්ට් ප‍්‍රකාශනය -

1953 ලංකාවේ අගෝස්තු විප්ලවීය ජනතා නැගිටීම තවමත් ලංකා දේශපාලනයට ආගන්තුක වචනයකි. හර්තාලය යනු ඉන්දීය නිදහස් සටනේ දී ‘ගාන්ධිවාදී’ අවිහිංසාවාදී විරෝධය පෑමේ ක‍්‍රමයකි. හර්තාලය යන්නේ සාමාන්‍ය තේරුම වන්නේ විරෝධය පෑමක් හෝ ශෝකය පලකිරීමක් හෝ ප‍්‍රකාශ කරනු වස් කඩ සාප්පු, කාර්යාල ආදිය වසා තැබීමයි. සමහරවිට කළු කොඩි එසවීමක් ද කෙරේ.

තවත් විශේෂණ පදයක්
ලංකා සමසමාජ පක්‍ෂයේ ප‍්‍රමුඛ නායකයෙක් වූ කොල්වින් ආර් ද සිල්වා තවත් විශේෂණ පදයක් එයට එකතු කළේය. ඒ ‘නොනගතය’ යන්නයි. කවුරුත් දන්නා පරිදි නොනගතය යනු සිංහල - හින්දු නව අවුරුදු චාරිත‍්‍රවලට සම්බන්ධ දෙයකි. ඒ අනුව අදාල කාලය තුළ කිසිඳු වැඩක් පලක් නොකර නිකරුනේ කාලය ගත කිරීම ඉන් අදහස් කෙරේ. සමහරු කොල්වින්ට ප‍්‍රශංසා කරන්නේ, එදින වැඩ වර්ජනය කර සිටීම කම්කරු පංතිය ප‍්‍රමුඛ ලංකාවාසී ජනතාවට තේරුම් කර දීමට මෙම පදය නැතහොත් එම උපමාව යොදා ගැනීම ඥානාන්විත ක‍්‍රියාවක් හැටියටය. 19 සියවසේ අග දශකයේ සිට වැඩ වර්ජනය යනු කුමක් දැයි දැන සිටින ජනතාවකට මෙවැනි උපමා කුමකට ද? එවැනි අවබෝධයක් ඇති ජනතාවකට කලබල නොකර නිවෙස්වලට වී සිටින්නැයි අවවාද කිරීම මොන තරම් විකාරයක් ද?

දෙගිඩියාවෙන්
පංති අරගලයේ දී හැමවිටම පසුගාමී දේශපාලන චරිතයක් වූ මේ ඊනියා සම සමාජ නායකයා 53 ජනතා නැගිටීම ගැන ද දෙගිඩියෙන් සිටි බව වසන් කිරීමට අසමත්ය. පසුව ඔහු කළ ප‍්‍රකාශයක් මෙසේය. ”....ඉන්දියාවේ දී 1942 සිදු වූවාක් මෙන් එය (හර්තාල් අරගලය) විප්ලවීය වර්ධනයක් ඇතිවිය හැකි ජනතා අවියක් වූයේය”. එය එසේම විය. 53 අගෝස්තු ජන අරගලයේ දී සිද්ධීන්ගෙන් ඔප්පු වූවාක් මෙන් සාමකාමී හර්තාල් විධික‍්‍රමය, කම්කරු පංතියේ වැඩ වර්ජන අරගලය පවා අභිබවා ඉදිරියට ගියේය. 53 අගෝස්තු ජන අරගලය ‘හර්තාලයක්’ හෝ ‘නොනගතයක්’ නොවී විප්ලවීය ජන අරගලයක් දෙසට නැඹුරු වූයේ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවන්නේ ද එහෙයිනි. ඒ අරගලය ඉතා තියුණු පංති සටන් අරගලයක් වූයේය.

පංති සටන යනු කුමක් ද?
පංති සටනට අතීතයක්, වර්තමානයක් මෙන්ම අනාගතයක් ද ඇත. මනුෂ්‍ය සංහතියේ ඉතිහාසය පංති සටන් ඉතිහාසයක් යැයි මාක්ස් අදහස් කළේ එහෙයිනි. පංති සටනේ ඉතා විශේෂ ලක්‍ෂණය වන්නේ එහි අනාගත කාර්යභාරයයි. සුරා කෑමෙන් තොර පංති විරහිත, එහෙත් මනුෂ්‍ය වර්ගයාගේ සකලවිධ නිදහස අර්ථවත් කරන විවිධත්වයෙන් තොර නොවූ ලොවක්, සමාජයක් එහි අනාගතයයි. එම නව ලොව පුරවැසි සමාජයකි. එම නව පුරවැසි සමාජය සඳහා වූ අරගලයට බොහෝ දුර අතීතයක් ද විය. ආදි වහල් ක‍්‍රමයට විරුද්ධ සමයේදී ත් එය අර්ථවත් විය. යුක්තිය, නිදහස, සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ සියලූම අරගල පංති සටන් ඓතිහාසික ක‍්‍රියාවලියේ විවිධ අවධිවල විවිධ ආකාර ගත්තේය. එහෙත් කම්කරු පංති නායකත්වයෙන් යුක්ත ජන අරගලය එහි දියුණුම අවස්ථාවයි.

විරෝධය පෑම, වැඩවර්ජන, සත්‍යග‍්‍රහ, උපවාස, වීදි සටන්, පෙළපාලි, නා නා විධ උද්ඝෝෂණ ක‍්‍රියාවන්, සන්නද්ධ කැරලි, බලය සඳහා වූ සංවිධානාත්මක ජනතා සටන්, ජාතික විමුක්ති ව්‍යාපාර සහ සටන්, සංස්කෘතික විප්ලව සටන් (චීනයේ දී මෙන්) ගොවි - තරුණ - ශිෂ්‍ය - ස්ත‍්‍රී සටන් යනාදී මේ සියල්ලක්ම පංති සටන් කි‍්‍රයාවලියේ විවිධත්වයේ ආකාරයන්ය.

ලංකාවේ 53 අගෝස්තු ජන අරගලය මින් කවර ආකාරයේ අරගලයක් වීද? නොඑසේ නම් අරගල කීපයක සංයුක්තයක් ද?

53 අගෝස්තු ජන අරගලය ගැන මෙතෙක් සිදු කර ඇති සම්ප‍්‍රදායක් බඳු විචාරයන්ට වෙනස් මගක් ගත් විවරණයක් අවශ්‍ය වී තිබුණේ කලක සිටය. ලංකා දේශපාලනයේ අනාගතය හෙවත් නව පුරවැසි ලොව සහ 53 අගෝස්තු ජන අරගලය අතර ඇති ඓන්ද්‍රීය සබඳතාවය තවත් එක් ඓතිහාසික සිදුවීමක තත්වයට ලඝු කළ නොහැක. එම සටනේ අනන්‍යතාවය නව නිර්වචනයකට ලක් කළ මනාය. 1953 අගෝස්තු 12 වන දා සිදුවූයේ හර්තාලයක් නොව කම්කරු පංති නායකත්වයෙන් යුක්ත විප්ලවීය ජනතා නැගිටීමකි. එහි කෙටි නාමය මින් ඉදිරියට ‘53 අගෝස්තු ජනතා නැගිටීම’ නම් වේ.
53 අගෝස්තු ජනතා නැගිටීම ඊටම ආවේනික වූ සංවර්ධන ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයකි. එක් අතකින් ලංකාවේ කම්කරු පංති ව්‍යාාරයට සාපේක්‍ෂව 53 අගෝස්තු ජනතා නැගිටීම කම්කරු පංතියේ දේශපාලන සටනකි. ලංකාවේ කම්කරු පංති ව්‍යාපාරයට 19 වන සියවසේ අග දශකයන් තරම් ඈත සිට සටන්කාමී අතීතයක් තිබුණි. බොහෝදුරට එම අරගලය කිසියම් සංසිද්ධියක අරගල තත්වයේ වූයේය. 1893 මුද්‍රණ කම්කරුවන්ගේ අරගලය සහ එහි නායකයෙකු වූ විලියම් සිරදඬුවමකට පවා යටත් විය. දුම්රිය කම්කරු නායකයන් වූ යකා ජෝන්, හමිබන් විලියම් සහ මාර්ෂල් වැනි කම්කරු සටන්කාමීන්ගේ නාමයන් මෙවැනි කුඩා ලිපියක හෝ සටහන් කර තැබීම වටී.
1923 දී සංවිධානාත්මක වෘත්තීය සමිති නායකයා වූයේ ඒ. ඊ. ගුණසිංහ ය. මේ කාලය අතර ඇති වූ කම්කරු සටන් බොහෝය. ට‍්‍රෑම් රථ වර්ජනය හා මරදාන පොලීසියට පහර දී ගිනිලෑම වැනි අරගල ද විය. 1923 සමස්ත මහා වැඩ වර්ජනය, 1929 විදුලි රථ (ට‍්‍රෑම් කාර්) වර්ජනය ඉතා තියුණු බලවේග සහිත විය. මරදාන පොලීසිය වටලා දින දෙකක් ජනතාව විසින් පොලීසියට පහර දෙන ලදී. 1947 සමස්ථ මහා වර්ජනය ද තීරණාත්මක විය. 1929 පොලීසියට කළ පහර දීමේ දී පොලිස් වෙඩි පහරින් කම්කරුවන් කිහිප දෙනෙක් මරුමුවට පත්වූහ. එහෙත් කම්කරුවන් බියපත් වූයේ නැත. පසුදින වරාය ආදී ස්ථානවල කම්කරුවන් 20000 ක් පමණ පොලීසියට පහර දෙන ලදී. 1947 රාජ්‍ය සේවක වර්ජනයේ දී දිවි පිදූ කන්දසාමි, වතු කම්කරු අරගලයේ දී දිවිදුන් ගෝවින්දන් කම්කරු වීරයෝ වූහ. 53 අරගලයේ දී කම්කරු පංති දේශපාලන නායකත්වයක් කරා මෝරා වැඩුනේ මෙවන් අරගල ක‍්‍රියාදාමයකි. 53 අගෝස්තු ජනතා අරගලය දේශපාලන මුහුණුවරක් ගත්තේ ඉහත සඳහන් අතීත සටන් අභිබවා දේශපාලන අරමුණක් පෙරදැරිව වර්ධනය වීම නිසාය.

1935 ලංකා සමසමාජ පක්‍ෂය සහ 1943 ලංකා කොමියුනිස්ට් පක්‍ෂය වැනි වාම දේශපාලන ව්‍යාපාරයන්ගේ බලපෑම කම්කරු පංති ව්‍යාපාරය තුළ කම්කරු පංති නායකත්වයක් බිහි වීමට ද හේතු විය. 1952 මහා මැතිවරණයෙන් බලයට පත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙස කරන ලද බලපෑම 53 අගෝස්තු ජන අරගලයේ කම්කරු පංති සටන් පාඨය විය. එම දේශපාලන සටන් පාඨය බොහෝ දේශපාලන විචාරකයෝ පහසුවෙන් අමතක කරති. ආණ්ඩුව ඉල්ලා අස් වී නව ආණ්ඩුවක් තෝරා ගැනීමට අවස්ථාව දිය යුතු යැයි හඬක් නැගීමට වාම දේශපාලන පක්‍ෂවලට පවා සිදු වූයේ කම්කරු පංතියේ හා වාම දේශපාලන පක්‍ෂවල පහලින් පැමිණි තෙරපුම නිසාය.

ලංකා සමාජ ආර්ථික දේශපාලනයේ සුභසාධක ප‍්‍රතිපත්තිය අත්හැරීම


53 අගෝස්තු ජනා නැගිටීමට තුඩු දුන් සමීප සංවේදී හේතූන් හැටියට ප‍්‍රකාශ වන්නේ ආහාර සහනාධාරයේ සහ අනෙකුත් සේවාවන්වල මිල ඉහල යාමය. එහෙත් අප රට අනුගමනය කළ සමාජ - ආර්ථික සුභසාධක ප‍්‍රතිපත්තිය අත්හරින ලෙස විශාල බලපෑමක් ලෝක බැංකුව විසින් එල්ල කළේ 1952 මහා මැතිවරණයෙන් පසුවය. 1952 මහා මැතිවරණයේ දී ”ඉර හඳ පවතින තුරු හාල් සේරුව ශත 25 යි” කියූ එ.ජා. පක්‍ෂයට වසරක් ගතවීමට පෙර සහල් සළාකය අඩු කිරීමට හා එය ශක 25 සිට ශත 70 දක්වා වැඩි කිරීමට සිදු වූයේ සුභසාධක ආර්ථික ප‍්‍රතිපත්තිය අත්හරින ලෙස ලෝක බැංකුව විසින් කරන ලද බලපෑම නිසාය. සීනි මිල ශත 15 කින් වැඩි කළේ 1952 සැප්තැම්බර් මාසයේදී ය. 1953 ජූලි මාසය වනවිට සහල් සළාකය අඩු කිරීම, එහි මිල වැඩි කිරීම, පාසල් ළමුන්ගේ දිවා ආහාරය අහෝසි කිරීම, විදුලි පණිවුඩ - තැපැල් හා දුම්රිය ගාස්තු වැඩි කිරීම ආදී එකවර කඩා වැටුනු ආර්ථික පීඩනයකට පොදුවේ ජනතාවම ලක් වූයේය.


විරෝධය පෑම ඇරඹෙයි

ලංකා සමසමාජ පක්‍ෂයේ මූලිකත්වයෙන් මහජන අත්සන් 70,000 ක් මගින් විරෝධය පෑමක් ප‍්‍රකාශ කෙරින. ග‍්‍රාමීය ජනතාවගේ විරෝධය පෑමේ ක‍්‍රියා වඩාත් උත්සන්න වූයේ ආණ්ඩුවේ මර්දනකාරී ක‍්‍රියා පිලිවෙත උත්සන්න කිරීමට ප‍්‍රතිචාර වශයෙනි. ජනතා විරෝධයේ බලවත්ම සංඥාව ප‍්‍රකාශ වූයේ දකුණු පළාතෙන්ය. දකුණු පළාතේ බලපිටිය හා අම්බලන්ගොඩ අතර ‘රන්දොඹේ’ නැමැති ගමේ ජනතාව මහපාරේ වැතිර ගමනාගමනය වළක්වාලූහ. මෙහිදී ස්ත‍්‍රීන්ගේ ක‍්‍රියාකාරීත්වය කැපී පෙනින. ගැමි ජනතාවගේ විරෝධය සටන්කාමී මගක් ගත්තේ ආණ්ඩුවේ හිතුවක්කාර මර්දනකාරී ක‍්‍රියාපිලිවෙත නිසා පමණක් නොවේ. එය ආසන්න ප‍්‍රධාන හේතුව පමණි. එහෙත් සමසමාජ දේශපාලන බලපෑම සහිත ප‍්‍රදේශවල සටනටවන් ජනතාව අත වූ රතු ධජය ඊට වඩා ඉදිරි ගමනක සළකුණක් බඳු විය. දකුණේ ගාලූ දිස්ත‍්‍රික්කයේ රන්දොඹේ සටන ඇති වූයේ 1953 ජූලි 21 දාය.

උතුරේ ජනතාවගේ විරෝධය

එහෙත් ඊට පෙර, එනම් 1953 ජූලි 18 වන දා යාපනයේ පැවති මහජන රැලිය ෆෙඩරල් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය. මෙහි කැපී පෙනුන ලක්‍ෂණය වූයේ අරගලය ආරම්භය දකුණට පෙර උතුරෙන් ප‍්‍රකාශ වීමයි. මොරටුවේ නගර සභාව, වාද්දුවේ නගර සභාව ආණ්ඩු විරෝධී යෝජනා සම්මත කරන විට යාපනයේ නගර සභාව ද ඒ පෙළට එකට සිටියේය.
කුණාටුව හමයි
මෙම සටන රන්දොඹේ සිට ජූලි 22 දින වනවිට බලපිටියට ද මාදම්පෙ, අකුරල, තොටගමුව, කරන්දෙනිය, ඌරගහ සහ අහුන්ගල්ල වැනි ප‍්‍රදේශ කරා ඇවිලී ගියේ ලැව්ගින්නක් පරිදිය. ජූලි 24 වන දා අහුන්ගල්ලේ ජන විරෝධය ආයුධ සන්නද්ධ පොලිස් බලයට එරෙහි පසු නොබස්නා ප‍්‍රති ප‍්‍රහාරාත්මක සටනක් විය. ගැමි කාන්තාවන්ගේ සටන්කාමීත්වය මෙහිදී කැපී පෙනේ. පොලිස් භටයන් අත වූ බැටන් පොලූ හමුවේ ඉදිරියට පැමිණි කාන්තාවන් අත වූයේ පොල් ලෙලි තලන කිතුල් පොලුය. කිතුල් පොලු වලින් සන්නද්ධ කාන්තාවන් පිරිමින් අභිබවා ඉදිරියට ආවා පමණක් නොව ප‍්‍රචණ්ඩ ලෙස හැසිරුනු පොලස් නිලධාරියෙකුට එක් කාන්තාවක් අතුල් පහරකින් සංග‍්‍රහ කිරීමට තරම් නිර්භීත වූවාය. එයම, අරගලයේ ස්වභාවය සංකේතවත් කරන්නක් නොවේ ද?

මතු සම්බන්ධයි
පුරවැසියා මාසික පුවත්පතේ අතිරේකයෙන් උපුටා ගන්නා ලද්දකි.

Top