1150 x 80 px

ග්‍රාමශක්ති - රට නගන ගමේ වැඩක්

දරිද්‍රතාවය ගෝලීය ගැටලූවකි. මේ දසවසර තුළ දී එය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම ලොව පුරා බොහෝ රටවල ප්‍රධාන ඉලක්කයක් වී තිබේ. ශ්‍රී ලංකාව ද ඒ සඳහා අධිෂ්ඨානයක් ඇතිකරගෙන ඇති ප්‍රමුඛ රටකි. දිළිඳුකමින් තොර රටක් සඳහා වන මහා ජාතික කර්තව්‍ය ඒ සඳහා දරන ප්‍රමුඛතම වෑයමයි. ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය අද දවසේ ජනගත කිරීම ඒ සඳහා වන තවත් එක් යෝධ උත්සාහයක් ලෙසට සැලකිය හැකිය. 

 

ශ්‍රී ලංකාවට අදාළව සළකා බැලීමේදී දරිද්‍රතාවය යනු අප නිදහස ලබාගත් යුගයේ සිටම මුහුණ දී ඇති දැවැන්ත අභියෝගයකි. එදා මෙදා තුර බිහි වූ සෑම රජයක්ම ඒ දුරලීම සඳහා දරා ඇති උත්සාහයන් බොහෝය. රජරට ගොවිජනපද ඇති කිරීම සඳහා ආරම්භ කරන ලද කෘෂිකාර්මික පුනර්ජීවනය මහවැලි සංවර්ධන ව්‍යාපාරය වැනි යෝධ සංවර්ධන සැලසුම් වලට අමතරව ජනසවිය සමෘද්ධි හා ගැමි දිරිය වැනි බොහෝ වැඩසටහන් ද ඒ අතර විය. එකී ජාතික ව්‍යාපාරයන් මගින් අප ලබාගෙන ඇති ප්‍රගතිය හා අත්දැකීම් බොහෝවිය. එහෙත් රටක් ලෙස අප තුළ වූ එකී අධිෂ්ඨානය මේ මොහොත වනතුරු ද සපුරාගත නොහැකි වී තිබීම මත රටක් ලෙස නව ප්‍රතිපත්ති හා සැලසුම් කෙරෙහි යොමුවීමට බල කෙරී තිබේ. 2017 දිළිඳුකම පිටුදැකීමේ වර්ෂය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නම්කර ඇත්තේ ඒ අනුවය. 

එවන් පසුබිමෙක දැන් අප සලකා බැලියයුත්තේ අද වනවිට අප හමුවේ ඇති එකී අභියෝගයේ සැබෑ තත්වයයි. ශ්‍රී ලංකාව තුළ ජීවත්වන ජනගහණය අතරින් සියයට හයයි දශම හතක් සම්පූර්ණ දුගී භාවයෙන් පෙළෙන බව තහවුරු වී තිබේ. එය කටුක ඇත්තකි. එම ප්‍රතිශතය හඳුනාගැනීමට පදනම් කරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනගහණය අතර එක් එක් පුද්ගලයන් උපයන ආදායම යි. ඒ අනුව අප රටේ ජනතාව අතරින් සියයට හයයි දශම හතක් එක් දිනකදී උපයා ගන්නා ආදායම දළ වශයෙන් ඇමරිකානු ඩොලර්.1.5ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත. එය ශ්‍රී ලංකාවේ රුපියල් වලට හැරවීමේදී රුපියල් දෙසීයකට අඩු ප්‍රමාණයකි. පූර්ණ දුගී භාවයට ගොදුරු වී ඇති ජන පිරිස ලෙස සැලකෙන්නේ ඔවුන්ය. එයට අමතරව ජනතාවගෙන් තවත් සියයට තිස් තුනක ප්‍රතිශතයක් දිනකට උපයනු ලබන ආදායම ඇමරිකානු ඩොලර් 2.5ක ට සමාන කර තිබේ. එනම් රුපියල් තුන්සිය හැත්තැ පහක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. සාපේක්ෂ දුගී භාවයට ගොදුරු වී ඇති පිරිස ලෙස සැලකෙන්නේ එම තීරුවයි. එහෙත් ඒ සමගම අප තේරුම්ගත යුතු අනෙක් සත්‍යය වන්නේ ලෝකයේ බොහෝ රටවලට අදාළව මෙන්ම දකුණු ආසියාවේ බොහෝ රටවලට ද වඩා අප සිටින්නේ යහපත් තැනක බවය. 

ඒ එසේ වුවත් අද අප රට තුළ ජීවත් වන දරිද්‍රතාවයෙන් පෙළෙන සමාජ තීරුව රටේ ප්‍රගතිශීලි සංවර්ධනය තුළ කියැවෙන ආර්ථීක, සමාජයීය හා සංස්කෘතික ප්‍රගමනයට බලවත් බාධාවකි. එමෙන්ම එම මානව අභිමානය පදනම් කරගත් පුද්ගලාභිමානය කෙරෙහි ද අභියෝගාත්මක ලෙස බලපෑමක් ඇති කරයි. ඒ අනුව රට තුළ පවත්නා පූර්ණ දුගී භාවය මෙන්ම සාපේක්ෂ දුගී භාවය ද අවම කරගැනීම අද දවසේ දී රටක් ලෙස අප හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේය. ඒ සඳහා ප්‍රාතිහාර්යාත්මක ක්‍රියාමාර්ග නැත. පවත්නා භෞතික හා මානව සම්පත් නිසි අයුරින් කළමනාකරණය කරගැනීම ද දූෂණය හා නාස්තිය අවම කරගැනීම ද ඒ සඳහා ප්‍රවේශ වියහැකි නිවැරදිම මාර්ගය වී තිබේ. 

ඒ අනුව රජයක් ලෙස අද කළයුතුව ඇති ප්‍රමුඛ කාර්යය වන්නේ ජනතාව මත පදනම් වූ තිරසාර සංවර්ධනයක් පිළිබඳව විධිමත් සැලැස්මකට යොමුවීමය. ඒ සඳහා ජනතාව අතරට ගොස් උපරිම පහසුකම් හා උපදේශනයන් ලබාදීමය. ඒ සඳහා දැනුවත් කිරීමය. ඔවුන් ඒ සඳහා යොමුකිරීමය. එහිදී කළයුතුව ඇත්තේ රටේ දුප්පත් ජනතාව යැපුම් මානසිකත්වයෙන් මුදවාගෙන ව්‍යවසායක මානසිකත්වයක් කරා පරිවර්තනය කිරීමය. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් ඔවුන් තවදුරටත් සහනාධාර ඉල්ලා සිටින්නන් නොව ආදායම් උපදවන ව්‍යවසායකයන් දක්වා ගොඩනැගීමය. ඒ සඳහා ග්‍රාමශක්ති ව්‍යාපාරය ආරම්භයක් ලෙස රටපුරා ශක්තිමත් ග්‍රාමීය සමාගම් දහසක් නිර්මාණය කිරීම සඳහා සැලසුම් කර තිබේ. ඒ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හරහා ගම්මාන දහසක් තෝරාගැනීම තුළය. එකී ග්‍රාමයන්හි ජීවත්වන සියලූම ජනතාව එකී ග්‍රාමීය සමාගම් වල කොටස්කරුවන් වන අතර ඒ සෑම කොටස්කරුවෙක් සඳහාම රජය රුපියල් අටදහසක මුදලක් වෙන්කරනු ඇත. ඒ අනුව එවැනි එක් ගමක වෙසෙන ජනතාව දහසක් පමණ වනු ඇතැයි උපකල්පනය කරන්නේ නම් රජය එක් ගමකට වෙන්කරන මුදල රුපියල් දසලක්ෂ අටක් පමණ වනු ඇත. නිසැක වශයෙන්ම එය දැවැන්ත මුදලකි. 

රජය එවැනි දැවැන්ත මුදලක් එක් ගමක් සඳහා වෙන් කිරීම මගින් අපේක්ෂා කරන්නේ එකී ගම්මානයේ වෙසෙන සියලු ජනතාවගේ සහභාගීත්වය ගොඩනැගෙන ග්‍රාමීය සංවර්ධන සැලැස්මක් ඇතිකරගැනීමට ය. ගමට අදායම උපදවන නිෂ්පාදන ක්‍රියාකාරීත්වයකට දිරි දීමටය. මෙකී සැලසුමේ ඇති අනෙක් අගනා විශේෂත්වය වන්නේ මෙම ක්‍රියාවලිය සඳහා පුද්ගලික අංශයේ දායකත්වය ද සෘජුවම ලබාගැනීමය. ඒ තුළ එක් එක් ගම්මානයන්හි ජනතා සමාගම් හරහා නිෂ්පාදනය වන නිමැවුම් වෙත සංවිධිත වෙළෙ`දපොළක් ද යා කර තිබේ. 

සමස්තයක් වශයෙන් සළකා බැලීමේදී ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා එදා මෙදා තුර ගෙන ඇති තීන්දු තීරණ හා සැලසුම් පිළිබඳව සලකා බැලීමේදී ග්‍රාමශක්ති යනු ඉතා විධිමත් හා ඉදිරිගාමී සැලසුමක් ලෙස සැලකිය හැකිය. අද දවසේ ගම් දහසකින් ආරම්භ වන මෙම ක්‍රියාවලිය වසර 2020 වනවිට අවම වශයෙන් ගම්මාන පන්දහසක ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කර තිබේ. නිසැකවශයෙන්ම එය යෝධ උත්සාහයකි. නියතවශයෙන්ම ජයගත යුතු එමෙන්ම නියතවශයෙන්ම ජයගත හැකි දැවැන්ත අභියෝගයකි. 

- සුනිල් ජයසේකර 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

Top