1150 x 80 px

බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට: තවත් ‘සර්ව පාක්ෂික’ සෙල්ලමක් - ගාමිණී වියන්ගොඩ
මේ ආණ්ඩුව බලයට පත් වූ වහාම කළ යුතු වූ ප‍්‍රධාන කාර්යයන් දෙකක් තිබුණි. එකක් වුණේ, අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඔස්සේ ජනාධිපති ක්‍රමය අහෝසි කොට, බලතල බෙදාහදා ගැනීමේ පාලන ක‍්‍රමයක් සහ අලූත් මැතිවරණ ක්‍රමයක් ඇති කර ගැනීමයි. දෙවැන්න වුණේ, පැවති රජය යටතේ සිදු වූ වංචා දූෂණ සහ අපරාධ පිළිබඳ වරදකරුවන් නීතිය ඉදිරියට පමුණුවා යුක්තිය ඉෂ්ට සිද්ධ කිරීමයි. මේවා ‘වහාම’ කළ යුතුව තිබුණේ වෙන දෙයක් නිසා නොව, කල් යන තරමට එවැනි ප‍්‍රතිසංස්කරණ සහ යුක්ති ක්‍රියාවලීන් සාර්ථක කර
ගැනීම දුෂ්කර වන නිසාය.
 
මෙයින් පළමුවැන්න අරභයා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ආදර්ශමත් ආරම්භයක් ගැනුණි. එහෙත් ඉන් එහාට කටයුතු කිරීම අවුරුදු තුනකට ආසන්න කාලයක් තිස්සේ තවමත් කල් ඇදෙමින් තිබේ. දෙවැන්න සම්බන්ධයෙන් ඒ තරමේවත් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට බලධාරීන්ට හැකි වී නැත. එනයින් බලන කල, මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති ගමන නතර කිරීම හැරුණු කොට ප්‍රජාතන්ත‍්‍රවාදී ඉදිරි දර්ශනයක් යටතේ රට ප‍්‍රමාණවත් ජවයෙන් ඉදිරියට ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවක් පෙනේ.
 
අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහාත්, ජනාධිපති ක්‍රමය අහෝසි කොට බලතල බෙදාහදා ගැනීම සඳහාත් ජනවරමක් මේ ආණ්ඩුවට නැති බවට නැගුණු තර්ක පමණටත් වඩා දැන් නිෂේධ කොට තිබේ. මේ රටේ සාමාන්‍ය ජනතාව ඊනියා බුද්ධිමතුන්ට වඩා එ් ගැන සංවේදීය. අලූත් ආණ්ඩුක‍්‍රම ඉල්ලමින් කිසි රටක ජනතාව පාරට බසින්නේ නැත. එහෙත් එසේ වූ පමණින් එවැනි අවශ්‍යතාවක් ජනතාවට නැති බවක් අදහස් වන්නේද නැත. මහින්ද රාජපක්ෂගේ පාලන තන්ත‍්‍රයට එරෙහිව, අද ‘සයිටම්’ විරෝධය තරමේවත් පාරේ උද්ඝෝෂණ එදා පැවැත්වුණේ නැත. එහෙත්, 2015 ජනවාරි 15 වැනිදා අවශ්‍ය තීන්දුව ජනතාව දුන්හ. 2015 ජනවාරි පෙරලියේදී පමණක් නොව, ඊට පෙර සිට පවා, එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක පළමු වරට ජනාධිපති ධුරයට පත් වූදා සිට, ඒ කාර්ය සඳහා අවස්ථා පහකදීම (1994, 1999, 2005, 2010, 2015) ජන වරමක් ලැබුණු බව ප්‍රතික්ෂේප කිරීමට අද කෙනෙකුට පුළුවන් කමක් නැත. (මේ ගැන මීට පෙර මෙම කොලමේ විස්තරාත්මකව කරුණු ගෙනහැර දක්වා ඇති නිසා නැවතත් එ් ගැන සඳහන් නොකරමි) එහෙත් වර්තමාන ආණ්ඩුවේ කිසි තනි පක්ෂයකට බහුතර බලයක් ලබා දී නැති නිසා, අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ඊට අදාළ ප‍්‍රතිසංස්කරණ හෝ ගෙන ඒමට ආණ්ඩුවට ජනවරමක් නැති බව පසුගියදා රූපවාහිනී සාකච්ඡාවකදී කියැවුණි. බැලූ බැල්මට එහි යම් ගැඹුරක් ඇතැයි පෙනී ගියත්, ඇත්තෙන්ම, ඊට පෙර මේ ‘ජනවරම’ පිළිබඳ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මතු කළ තර්කවලට වඩා මෙහි ගැඹුරක් නැති බව, ඒ ගැන විස්තරාත්මකව සොයා බැලූ විට කෙනෙකුට දැකගත හැකිය.
 
ඇත්ත, එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇත්තේ ආසන 106 ක් පමණි. සාමාන්‍ය බහුතරයක් සඳහා ආසන 113 ක් අවශ්‍ය කෙරේ. මැතිවරණමය ජනවරම යනුවෙන් අර කියන පිරිස් අදහස් කරන්නේ මේ කියන බහුතරය ජනතාවගෙන් ලැබී නැති බවයි. මේ තර්කය මතු කරන පිරිස් දරණ සාවද්‍ය ආස්ථානය වන්නේ, ජන වරමක් යනු ‘තනි පක්ෂයකට’ ආසන 113 ක් අයත් වීමක් වශයෙන් ගැනීමයි. එය එසේම විය යුතු නැත. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවසානයේදී සම්මත කර ගැනෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙනි. එනම් ආසන 150 ක ඡන්දයෙනි. එසේ කර ගත නොහැකි වුවහොත් කිසි ව්‍යවස්ථාවක් අලූතෙන් ඇති කර ගත හැකි නොවේ. ඊළඟට, එම අලූත් ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් අනුමත වීමක් ද අවශ්‍ය කෙරේ. එබැවින්, ඇති කර ගන්නා ඕනෑම අලූත් ව්‍යවස්ථාවක් සඳහා මේ දක්වා ‘ජනවරමක්’ ලැබී නැත්නම්, අවසානයේදී හෝ එම ජනවරම ලැබිය යුතුව තිබේ. කෙසේ වෙතත්, මැතිවරණයකට කලින් දෙන ලද පොරොන්දුවලට පමණක් සීමා වීමේ සදාචාරමය වගකීමක් පාලකයන්ට ඇතැයි යන විශ්වාසයක් අර කියන පිරිසේ තර්කය පසුපස තිබේ. එම කාරණය ප‍්‍රතිපත්තිමය වශයෙන් අප නොපිළිගත්තත්, තර්කයක් වශයෙන් එහි යම් අරුතක් තිබෙන බව ඇත්ත. එ් නිසා අපි
ඒ ගැනත් සලකා බලමු.
 
අලූත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවත්, ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බවත්, එක්සත් ජාතික පක්ෂය හැරුණු කොට, පසුගිය මහ මැතිවරණයේදී ජනතාව ඉදිරියට විත් කී වෙනත් පක්ෂ මොනවාද ? එ්වා නම්, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයයි. 2015 අගෝස්තු මහ මැතිවරණයේදී මේ පක්ෂ දෙකට පිළිවෙලින් ආසන 6 ක් සහ 16 ක් හිමි විය. දැන් අලූත් ව්‍යවස්ථාවක් සහ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව ඉදිරියේ දිනා ඇති මුළු ආසන සංඛ්‍යාව කොපමණ ද ? 128 කි. අලූත් ව්‍යවස්ථාව සඳහා ලැබූ සංයුක්ත ජනවරම එතැන තිබේ. එක දේශපාලන මතවාදයක් දරණ තනි පක්ෂයක් යම් කිසි කාරණයක් වෙනුවෙන් තනියෙන් ලබන ජනවරමකට වඩා, වෙනස් දේශපාලනික මතවාද දරණ පක්ෂ කිහිපයක් තනි කාරණයක් වෙනුවෙන් සාමූහිකව ලබන ජනවරම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරුතින් ගත්තත් වඩාත් වැදගත් වන්නේය.
 
මේ නිසා අලූත් ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් ලැබී ඇති බවට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.
 
අද ප‍්‍රශ්නය වන්නේ ජනවරමක් නොමැති කම නොව, ලැබුණු ජනවරම ක්‍රියාත්මක කිරීමට තරම් දේශපාලනික නායකත්වයක් නැති කමයි. එම නායකත්වය සැපයීමේ දේශපාලනික සහ සදාචාරමය වගකීම වැඩියත්ම දරන්නන් වන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාය. හිටපු ජනාධිපතිවරයාව මේ රටේ ජනතාව පරාජය කරන්නේ, (වෙනත් කරුණුවලට අමතරව) විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව එම නායකයා විසින් සපයන ලද ඉතා අහිතකර පූර්වාදර්ශ රාශිය බරපතල ලෙස සැලකිල්ලට ගැනීමෙනි. ඒ කෙතෙක් ද යත්, එම නායකයාම අද කියන පරිදි, ‘..පසුගිය ජනාධිපතිවරණයේදී යහපාලන පාර්ශ්වය ජනතාවට දුන් ව්‍යවස්ථාමය පොරොන්දුව වූයේ, 2015 අප්‍රේල් 20 වැනිදාට පෙර මැතිවරණ ක‍්‍රමය වෙනස් කොට, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව’ලූ. (සති දෙකකට පෙර ප‍්‍රසිද්ධියට පත් කරන ලද මහින්ද රාජපක්ෂගේ විශේෂ ප‍්‍රකාශනය) හිටපු ජනාධිපතිවරයා ප‍්‍රශ්න කරන්නේ, අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ජනවරමක් මේ ආණ්ඩුවට නැති බව මිස, විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමට ජනවරමක් නැති බව නොවේ. එසේ තිබියදී, වර්තමාන ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කියන්නේ මෙවැන්නකි:  ‘අද පවතින ආකාරයේ විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීම ප‍්‍රඥාගෝචර නොවන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි... රටේ ස්ථාවර භාවය පවත්වාගෙන යාම සඳහාත්, බලතල ප‍්‍රමාණයක් සහිතව යම් ජනාධිපතිවරයෙකු කෙලින්ම ජනතා ඡන්දයෙන් තෝරා ගත යුතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි.’ අලූත් ව්‍යවස්ථාවකට ජනවරමක් නැතැයි කියන පිරිසෙන් අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහත සඳහන් වර්තමාන ප‍්‍රකාශයට ජනවරම ලැබුණේ කොහෙන්ද සහ කවදාද යන්නයි.
 
මේ ප‍්‍රකාශ දෙක පිළිබඳවම ජනාධිපතිවරයා මුනිවත රකිමින් කටයුතු කරන බවක් පෙනේ. එක පැත්තකින්, විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වා ගත යුතු බවට ජනාධිපතිවරයාගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිල නිවේදන නිකුත් කරන අතරේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයන් වන සහ ඔහුගේ දේශපාලනික න්‍යාය පත්‍රය මත කටයුතු කරන ගිහි ජාතිවාදීන් සහ පැවිදි ජාතිවාදීන් පසුගිය මාස කිහිපය පුරාම තවත් කාරණයක් රට පුරා ගෙන ගියේය. එනම් බලතල නොබෙදිය යුතු බවයි. ඒ කඳවුරේ ප‍්‍රධානියෙකු වන
මැදගොඩ අභයතිස්ස හිමියන් පමණක් නොව, දේශ හිතෛශී ව්‍යාපාරයේ නායකකාරකාදීන් ද ගිය සතියේ සිට අලූත් තැටියක් වාදනය කරති. එනම්, බෙදුම්වාදයෙන් රට බේරා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ඇති බවයි.
 
ඊට සමගාමීව ගිය සතියේ සිට ජනාධිපතිවරයාත් අලූත් වාදනයක් ඉදිරිපත් කරයි. එනම්, අලූත් ව්‍යවස්ථාවක් සඳහා, තව ‘සර්ව පාක්ෂික සමුළු’ කිහිපයක් අවශ්‍ය කරන බවත්, අලූත් ව්‍යවස්ථාවක් සඳහා වන ප‍්‍රයත්නය පළාත් පාලන මැතිවරණ අවසන් වන තෙක් කල් දැමිය යුතු බවත්ය.
දැන් සරළ සමීකරණයකට අපට එළැඹිය හැකිය. අලූත් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක්‍රියාවලියට නායකත්වය ද වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ ජනාධිපතිවරයා මගහරිමින් සිටීම පිළිබඳ කාරණය එක පැත්තක තිබේ. ඒ කාලය තුළ ඔහුගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක‍්‍රමය ආරක්ෂා කර ගත යුතු බවට ජනමතයක් ඇති කිරීමට වෙර දැරීම තවත් පැත්තක තිබේ. ඒ සියල්ල මධ්‍යයේ, බලතල බෙදා හැරීම සහ ජාතික ප‍්‍රශ්නයට දේශපාලනික විසඳුමක් සැපයීම ප්‍රතික්ෂේප කරන ජනමතයක් ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටි මහින්ද රාජපක්ෂ කඳවුරේ සකල ජාතිවාදීන් ජනාධිපතිවරයා කෙරෙහි අලූතින් විශ්වාසයක් තබා තිබේ. අවසානයේදී ජනාධිපතිවරයාම, තවදුරටත් සමාජ සංවාදය සඳහා යැයි කියමින් අලූත් වටයකින් නැවතත් පරණ ‘සර්ව පාක්ෂික සමුළු’ තැටිය එළියට ගෙන තිබේ.
 
රටකට නායකයෙකු අවශ්‍ය කරන්නේ කුමක් සඳහා ද ? 
 
ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනතාව නායකයෙකු පත්කර ගන්නේ, තමන්ගේ අභිවෘද්ධිය සඳහා තමන්ව පාලනය කිරීමටයි. තමන්ගේ අභිවෘද්ධිය සඳහා තමන්ව පාලනය කළ යුත්තේ ‘කෙසේද’ යන දැනුම සහ විශේෂඥතාව තමන්ට වඩා නායකයන්ට ඇතැයි යන විශ්වාසයක් ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනතාවට තිබේ. විශේෂිත වූ පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඒ සඳහා ඔවුන් පත්කර ගන්නේ එබැවිනි. නායකයෙකුගේ හෝ පක්ෂයක බුද්ධිමත් ඉදිරි දැක්ම රටකට වැදගත් වන්නේ මෙහිදීය. එහිදී ඔහු සිටිය යුත්තේ ජනතාවට පසුපසින් නොව, ඉදිරියෙනි. නායකයා යන්නෙහි අර්ථයත් එයමැයි.
 
ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම, බලතල බෙදාහදා ගැනීම සහ අලූත් මැතිවරණ ක්‍රමයක් ඇති කර ගැනීම පිළිබඳ ප‍්‍රතිපත්තිමය අවසරය විවිධාකාරයෙන් ජනතාව විසින් ලබා දී තිබේ නම් සහ තමනුත් එම විශ්වාසය දරයි නම්, නායකයා කළ යුත්තේ තමන්ගේ ඉදිරි දැක්ම තුළ එම ජනතා අභිලාෂය විධිමත්ව ස්ථානගත කර ගැනීමයි. ඊට නායකත්වය දීමයි. හැම වංගුවකදීම, ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර නැවත නැවතත් ජනතාවගෙන් විමසීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යැයි ගැනීම, නොකෙරෙන වෙදකමකට දැනුවත්ව කර ගැසීමක් මිස, රටකට අවශ්‍ය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකත්වය සැපයීමක් නම් නොවේ.
Top