1150 x 80 px

‘නීල හරිත’ ආර්ථිකය සහ ‘නීල කාස’ ගොන් කතා!

මේ වන විට විවාදයට ලක් වෙමින් තිබෙන 2018 අයවැය යෝජනාවලියේ මූලික තේමාව ‘නීල-හරිත ආර්ථිකය’යි. මෙවර අයවැය යෝජනා සහමුලින්ම පාහේ රටේ ආර්ථික සංවර්ධනය වෙත යොමුව තිබේ යැයි ද කෙනෙකුට තර්ක කරන්නට පුළුවන.

නීල-හරිත ආර්ථිකය වචනාර්ථයෙන් මනරම් ය. නීල යනු නිල් පාට ය. හරිත යනු කොල පාට ය. මේ අනුව බැලූ බැල්මට නීල-හරිත සංකලනය, දූපත් දේශපාලනයේ නිල් සහ කොල මුසුව තැනෙන සම්මුතිමය එකඟත්වය සංකේතවත් කරයි. නමුත් මෙවර අය වැය යෝජනා ලේඛනය විමසිලිමත්ව කියවන්නෙකුට නීල-හරිත මුසුවේ තවත් අර්ථයක් සොයාගත හැකිය.

ලංකාව භූගෝලීය පිහිටීම අනුව දූපතකි. එනිසා දූපත වටා තිබෙන්නේ නීල සාගරයයි. අයවැය යෝජනාවලියේදී ‘නීල’ යන්නෙන් අර්ථ ගන්වා තිබෙන්නේ සමුද්‍රය ආශ්‍රිත සියලුම ක්‍රියාකාරකම් හි පූර්ණ ආර්ථික විභවතාවන් එක් කර, එහි සමස්ත වර්ධන ක්‍රමෝපායන් ඇසුරෙන් ගොඩනගන ආර්ථිකය’ යන්නයි. ‘හරිත’ යන්නෙන් අර්ථ ගන්වා තිබෙන්නේ ‘ග්‍රීන් ඇක්ටිවිටීස්’ හෙවත් හරිත ක්‍රියාකාරකම් ය. එනම්, පරිසර හිතකාමී සංවර්ධන ක්‍රමෝපායන්ගෙන් බලගැන්වුණු ආර්ථිකයකි.

ඇති තතු නොදැන බිරුම් හඬ නැගීම ලංකාවේ ‘දේශපාලකයන්ගේ’ නොව ‘දේශපාලුවන්ගේ’ පොදු භාවිතාවයි. එසේ බුරන බුරන වාරයක් පාසා උන්ට මයික් අල්ලන, මයික් අල්ලමින් උන්ගෙන් ‘පන්ච් වදන්’ ඉල්ලන මාධ්‍ය ද මේ දේශපාලන භාවිතාවට සියයට හැටකින්වත් වගකිව යුතුය. තවද ‘රටක හැටි ඒ රටේ පාලකයන්ගෙන් පෙනෙන නිසා’ දියවන්නාවෙන් එපිට සිටින කාණ්ඩයේ ගොන්වැඩ සම්බන්ධයෙන් රටේ ජනතාව ද උන් සමග ‘පොදුවේ පුන්නක්කු කෑ යුතු’ය. මන්ද, ඒ සිටින්නේ ජනතාව, තමන් වෙනුවෙන් නීති සාදන්නට, ප්‍රතිපත්ති සාදන්නට යැවුූ ‘තමන්ගේ අය’ හෙවත් ‘ජනතා නියෝජිතයන්’ වන නිසා ය!

මෙවැනි දේශපාලුවෝ දැන් දිගට-හරහට සහ හැඩට, අයවැය ගැන ටෝක් දෙති. ඒ ඇතැම් ‘ටෝකකට’ අනුව, එක රැඩිකල් අයියා කෙනෙක් මෙසේ කියයි. “දැන් මේ පඩිපාලක සභා ආඥාපනත සංසෝදනය කරන්ට යනවලු. ඒකෙන් තමයි පුද්ගලික අංසයෙ සේවය පැය අටට සීමා කළේ...” මොරදීම මෙතැනින් නතර නොවේ. “දැන් කම්කරු ආඥා පනතත් සංසෝදනය කරනවලු. ඒකෙන් තමයි කාන්තාවන්ව රාත්තිරි සේවයෙ යොදවනව නම් විසේස පරිස්සමක් දෙන්න ඕනෙ කිව්වෙ..” ඉතින් නෑ කිව්වේ කවුද? කුමක්ද ප්‍රශ්නය? මුදල් ඇමතිවරයා කියන්නේ, පුද්ගලික අංශයට තමන්ගේ සේවා කාලය රිසි පරිදි, සේවායෝජකයාගේ ද එකඟතාවය ඇතිව වෙනස් කර ගත හැකි බව ය. ඒ අරමුණ සඳහා පවත්නා නීතිය සංශෝධනය කරන බවය. ඒ හැර ඔය කියන ආකාරයේ දෙයක් කොරන බවක් අයවැය යෝජනාවල කිසිවිටෙක සඳහන් නොවේ.

රාජපස්ස යුගයේ ගෙන ආ විදේශිකයන්ට ඉඩම් හිමිකම අහිමි කිරීමේ නීතිය ආපස්සට හැරවීම ගැන ද කතාව මෙයාකාරම ය. එයින් සිදුවූයේ ඊනියා දේශමාමකත්වයක් තොරොම්බල් කර, විදේශිකයන් කෙරෙහි වෛරී සිත් ඇති කරලීමයි. එනිසාම විදේශීය ආයෝජකයෝ පසුගිය සමයේ ඇති තරම් අපේ රටට පස්සා හැරවූහ. එපමණක් නොව, තංගල්ල ප්‍රා.ස. විසින් මහ රෑ හෝටලයේ පිහිනුම් තටාකය අසලදී එංගලන්ත ජාතික කුරාම් ෂෙයික්ව මරා දමා ඔහුගේ සුදු ජාතික පෙම්වතිය දූෂණය කළ විට ලංකාවේ ෆේස්බුක් පිටුවල ‘අන්න කොල්ලො!’ වැනි වදන් පවා ලියැවුණේය. ‘ලොවෙන් උතුම් රට ලංකාවයි’ සහ ‘පරෙයියන්ගෙ වෙස් ගත්තත්-පරයො ඇහැකි අඳුනගන්න’ යනාදී දේශමාමක ගී ලියැවුණු රටක මෙවැනි දේ සිදුවීම අරුමයක් නොවේ.

‘විදේශිකයන්ට දක්වන බය’ ට කියන්නේ සීනොෆෝබියාව (xenophobia)කියා ය. වෛද්‍ය විද්‍යාවට අනුව එය තනිකරම භීතිකාවකි. එනම්, එක්තරා ආකාරයක ලෙඩකි. ලෙඩවලින් පෙළෙන්නෝ ලෙඩ්ඩු ය.! ඒ අනුව තවම මේ ලෙඩ්ඩු ෙම් තීරණාත්මක නිමේෂෙය්දී  ජාතියක්ම ලෙඩ කරමින් සිටින්නෝ ය.

මේ අයගේ තවත් අඳබාල තර්කයකට අනුව ලංකාවේ බියර් බොන්නේ සියයට 20 ක් පමණක් නිසා, බියර් මිල අඩු කිරීම ‘බහුතරයට දැනෙන දෙයක්’ නොවේ. කසිප්පු කර්මාන්තය වැඩි දියුණු කිරීම එයට වඩා යහපතිලු! හොඳයි. ප්‍රති තර්කය මෙයයි. සැර මත්පැන් පරිභෝජනය අතින් ලංකාව ලෝකයේම අංක 2 ය. ලංකාව බෞද්ධ රටක් නිසා ලංකාවේ සැර මත්පැන් අලෙවිය කප් ගසන්නේ පෝය දවසට කලින් දවසේ ය. ඒද, පෝය දවසට බාර් වසා ඇති නිසා ය. නැතිනම් මේ වාර්තාව මාසිකව පිහිටුවන්නේ පෝය දවසයි. එය නීත්‍යානුකූල බාර් හිමියන් හෙවත්, රටේ ආර්ථිකයට මත්පැන් බද්ද ආදායම සපයන නියැදියේම ප්‍රකාශයයි. මේ අනුව ලංකාවෙන් ලක්ෂ 13 ක් කසිප්පු බොන නිසාත්, ඒ ලක්ෂ 13 අතරින් 35%ක්ම දෛනික පදනම මත කසිප්පු බොන නිසාත්, ඒ අනුව කසිප්පු බීම ‘දේශීය අවශ්‍යතාවක්’ ලෙස පෙනෙන නිසාත් කසිප්පු කර්මාන්තය නමැති දේශීය විකල්පයට අය වැය වෙන් කරන තෙක්වත් බියර්-වයින් මිල අඩු කිරීම නරකද? මුදල් ඇමතිවරයා කියන්නේ ශරීරයට සැර මත්පැන් තරම් අහිතකර නැති බැවින් බියර්-වයින්වල මිල පහළ දමන බවයි. දැන්, නැවතත්, මෙතැන තිබෙන පොදු විරෝධතාවය, බියර් වයින් බොන්නේ ධනවතුන් යැයි අපේ ‘වැඩකරන පක්ස’ සිතාගෙන සිටින නිසාත්, ‘වයින්වාදය’ කෙරෙහි ‘සමාජවාදයේ’ විරෝධය එල්ල කළ යුතු බවද? මෙතැන තියෙන ‘අප්සැට් එක’ඒකද..? අර නීල කාස කම්බ හොරුන් රජකම් කළ පෙර රජ සමයේ මේ මල්ලිලා මෙසේ කෑ ගෑවේ නැත්තේ ඇයි?

ගාඩියන් පුවත්පත අද වන විට වාර්තා කරන ආකාරයට මේ ලෝකයේ තිබෙන ධනයෙන් හරි අඩක්ම ඒකරාශි වී තිබෙන්නේ ලෝක ජනගහනයෙන් 1% ක් වන ධනවතුන් සුළුතරය තුළ ය. ඉතින් අපි කුමක් කරමුද? මරාගෙන මැරෙමුද?!! කළ යුත්තේ එම ධනය ගෝලීය මට්ටමෙන්, බහුතරයකගේ යහපත සඳහා භාවිතා කළ හැකි මං සෙවීම හෝ ආයෝජන මාර්ග සෙවීමද? නැතිනම් ‘සා දුකින් පෙළෙනවුන්-දැන් ඉතින් නැගිටියව්-අරුං මුංව මරනට සැරසියව්’ යැයි මොර දෙමින් උන්ව කාබාසිනියා කරන මං සෙවීමද?

සමාජවාදී විප්ලව සමයේ කියුබාවේ තිබූ සුපිරි හෝටල්වලට කඩා වැදුණෝ විප්ලවවාදියෝ ය. උහු ඒවායේ අයිතිකරුවන් මරා දමා හෝ පන්නා දමා, පවුල් පිටින් හෝටල් කාමර අත්පත් කරගෙන ඒවායේ වැඩ වාසය කරන්නට පටන් ගත්හ. මුලින් කවුරුත් මොකුත් කීවේ නැත. විප්ලවවාදීන් නොවැ! නමුත් වැඩි කල් නොගොස්ම කස්ත්‍රෝට පෙනී ගියේ රටේ ආර්ථිකයට හත වදිමින් තිබෙන බව ය. අවසානයේ “ඔය පුතාල දැන් ආපහු ගෙවල්වලට යන්න” යැයි ඒ විප්ලවවාදීන්ට කියන්නට කස්ත්‍රෝට සිදුවිය. අදටත් සමාජවාදී කියුබාව යන්තමින් හෝ පණ ගැට ගසා ගන්නේ ධනවාදී යැයි කියන රටවලින් එහි ඇදී එන සංචාරකයන්ට පින්සිදු වන්නට ය. ලෝකය නමැති ඉතිහාස පොතේ පිටු පිරී තිබෙන්නේ මෙවැනි තාත්වික උදාහරණ වලිනි.

තවත් වැදගත් කාරණයක් මෙසේ ය. ලංකාව කොහොමටත් යල් පිනූ නීති එකසිය ගාණට පවතින රටකි. සමරිසි ප්‍රජාව දඩයම් කරන එක්දහස් අටසිය ගණන්වල දණ්ඩ නීති සංග්‍රහයේ පටන් ඒ සඳහා උදාහරණ දහස් ගණනක් දිය හැකිය. සුද්දා ලංකාවෙන් ගියේ 1948 පෙබරවාරි 4 වැනිදා ය. ඒ යන්නට යාම, අපට දැනුණේම නැත. එදා උදේ අපේ අය සුපුරුදු පරිදි නින්දට ගොස් ඇහැරුණු විට, වයලැස් යන්තරයේ ‘සුද්දා ඩොමීනියන් නිදහස අපට දී උගේ රටට ගිය බව’ කියැවුණු අතර, ලංකාවේ හුදී ජනයා එවිට පිරුපාහරන් මළ දිනයේ මෙන්ම රබන් ගසා කිරිබත් කෑහ. අප එදා සිතුවේ ‘කඩුව සුද්දගේ වුණත් සිංහයා අපේ’ බව ය. මුළු ලෝකයම අප දිනන බව ය. ඒ මිස එතැන් පටන් කළ යුත්තේ කුමක්ද කියා දීර්ඝ කාලීන සැලසුමක් රට කරවූ කිසිවෙකුට තිබුණේ නැත. අප එදා ඇඳගත් ඇඳගැනිල්ල, කොයි සා බලවත්ද යත් සිංගප්පූරුවේ ලී ක්වාන් යූ මහතා පවා ඉනික්බිති අප දෙස බලමින් ඇඳගත්තේය. ඔහු සිය මතක සටහන්වල ලංකාව වනාහී ‘පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබෙන ආදර්ශමත්ම රට’ ය යැයි සටහන් කරන්නට තරම් එදා අපේ අයියලාගේ ඇන්දිල්ල බලවත් වූ නමුත් ලී ක්වාන් යූ එසේ ඇඳගත්තේ ලංකාව සම්බන්ධයෙන් පමණි. ඉක්බිති අපේ අයියලා නැවත දැහැමෙන් සෙමෙන් ගල් යුගය වෙත ගිය අතර ලී ක්වාන් යූ ධනවාදී ප්‍රතිපත්ති මත පදනම් ව සිංගප්පූරුව තිරසාර ලෙස සංවර්ධනය කළේය. ඔහු එදා භාවිතා කළේ මෙවර අයවැයෙන් යෝජනාකර ඇති ‘නවෝත්පාදන වෙළඳපොළ ආර්ථිකය’ හැර වෙන අමුතු එකක් නොවේ. අවසානයේ අපේ අයියලා සිංගප්පූරුව දෙස බලමින් ලංකාව ‘කුඩා සිංගප්පූරුවක් කරමි’ යි ඡන්දෙ කාලෙට නැවත නැවත් මර හඬ තළන තරමට සිංගප්පූරුවෙ ඉස්සරහට ගියේය. අපි තවමත් පස්සා පැත්තෙන් ඉස්සරහට යමින් සිටින්නෙමු!

මේ අර්ථයෙන් එදා අපේ අය සුද්දාව ද ඇන්දවූහ. 48 දී ‘අපට භාර දුන් අපේ රට’ ගැන එංගලන්තයේ පත්තරවල ශීර්ෂ පාඨ ලියැවුණේ මෙසේ ය. ‘ස්වභාවික සම්පත සහ මිනිස් සම්පතෙන් ආඩ්‍ය හෙයින් මේ පුංචි රට පෙරදිග ස්විට්සර්ලන්තය බවට නුදුරේදීම පත්වනු ඇත.” පෙරදිග ස්විට්සර්ලන්තය බවට පත්වීම කෙසේ වෙතත්, දැන් කාලාන්තරයක පටන් පවතින තත්වය අනුව අපේ අයියලාට ‘ස්විට්සර්ලන්තය’ යන්න නොව එහි අගනුවර වන ‘ජිනීවා’ යන්න ශ්‍රවණය වීම පවා, නින්දෙන් මළ පහවීමට ප්‍රමාණවත් ය.

නීතිය, ආර්ථිකය, දේශපාලනය, සිවිල් සමාජ බලවේග යනාදී මේ කුමන පැතිකඩ ඔස්සේ ගත්තත් මේ තාක් කල් ලංකාව සංවර්ධනය වී තිබෙන්නේ ‘පස්සා පැත්තට’ යැයි කියන්නට සිදුවන්නේ ඒ නිසා ය.

සැබවින්ම අප පසුවන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉලක්ක කරගෙන පමණක් නොව, සමාජයීය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉලක්ක කරගෙන ද වහාම අරගල කළ යුතු අවධියක විනා, ප්‍රති විප්ලවලින් රට නැවත මජර ගොඩට ඇද දමන අවධියක නොවේ.

මේ අනුව නීල-හරිත ආර්ථිකයට රැඩිකල් යැයි බහුතරය සිතා සිටිනා ඊනියා ප්‍රගතිගාමී දේශපාලකයන් ලබාදෙන ප්‍රතිගාමී නිර්වචන සහ විවේචන දුටු විට විගස මතක් වන උපහැරණය මෙයයි. ‘කට අරින තාක් කල් සිගාලයා ද සිංහයෙක්ය!” “අපිට කරන්නත් බෑ-අපි කරන්න දෙන්නෙත් නෑ” වැනි දෙකයි පණහේ අදහසක් නිතරම මෙවැන්නන්ගේ සිත්වල තිබේ.

එදා බුදුන් පිරිනිවන දා “මහ මහණා මළා” යැයි සුභද්‍ර භික්ෂුව අභද්‍ර වචනයෙන් කුජීත නාද කළේය. දැන් මේ රැඩිකල් මල්ලිලාට උවමනා නම් ඒ සුභද්‍රගේ අභද්‍ර වචනය ද රැඩිකල් යැ! ලිබරල් යැ! යි කියන්නට පුළුවන. උවමනා නම් එය ‘රැඩිකල් සහ ලිබරල් විභවයක්’ යැයි ද කියන්නට පුළුවන.

එනිසා සිතට ගත යුතු දෙය, මේ උදා වී තිබෙන්නේ වටිනා ලිබරල් නිමේෂයකි. අප මෙහිදී වඩා ප්‍රවේශම් විය යුතු වන්ෙන්,  ලිබරලුන් සහ රැඩිකලුන්ගේ වේශයෙන් කැණහිළුන් කෙබර කෙළිමින් සිටිනා නිසා ය. උන්ට ඇවැසි වන්නේ වටිනා නිමේෂයන් ජනතාවට හසුෙනාවන පරිදි 'මිස් කර' හැරීමයි. වටිනා නිමේෂයන්ගේ ස්වභාවය වන්නේ ද එම නිමේෂය නැවත කිසිදා උදා නොවීමයි! ඒ නිසාම ඒවා ‘මිස් කර’ නොගත යුතුය. එනිසා, විමසිල්ලෙන්...!

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

Top