1150 x 80 px

මුගාබේ, ගෙදර පල! සිම්බාබ්වේ ජන හඬ මැද ‘අප්පච්චි’ යන්න බෑ කියයි.

සිම්බාබ්වේ වැසියන් විසින් කලෙක 'අප්පච්චී' හෝ 'තාත්තා' යනුවෙන් වර නැගූ ඒකාධිපති නායක රොබට් මුගාබේ දැන් දින 4කට පෙර හමුදාව විසින් නිවාස අඩස්සියට පත් කරනු ලැබීය. සිම්බාබ්වේ හමුදා පාලනයට යටත් වූ බවට ජාත්‍යන්තර මාධ්‍යයන්හි පවා ශිර්ෂ පාඨ ලියැවුණත් නාටකය තවම අවසන් නැති සෙයකි. එහි අලුත්ම ජවනිකාව අනුව මුගාබේ දැන් නැවතත්, කිසිවක් සිදු නොවුණා සේ හැසිරෙයි. අද ඔහු හරාරේ සරසවියේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි විය. සුපුරුදු රතු පලස පවා ඔහු වෙනුවෙන් එහි එළා තිබුණේය. ඔහු මේ සරසවියේ චාන්සලර් ය.

මේ වන විට සිම්බාබ්වේ අගනුවර වන හරාරේ නුවර පුරා උද්ඝෝෂණයන් ය. ජනතාව වීදි බැස සිටිති. ‘මුගාබේ ගෙදර පල! යැයි ජනයා මොර දෙති. පුවරු අල්ගාගෙන සිටිති. අලුත්ම තත්වය අනුව මුගාබේගේ සානු පීඑෆ් පක්ෂයේ ජේ්‍යෂ්ඨයන්ට අනුව ඉදිරි පැය 48 ඇතුළත මුගාබේ ගෙදර යැවීම සඳහා හමුදා සහාය ඇතිව ඔහුට බල කළ යුතුව තිබේ.

නමුත් මුගාබේ යන පාටක් නැත. ඔහුට ලැජ්ජාවකුත් නැත.

ඇත්තෙන්ම මුගාබේ ගෙදර යන්න අකමැති බව අලුත් කතාවක් නොවේ. වයස 93 ක මුත්තෙකු වන ඔහුව දැන් සිම්බාබේ ජනතාවට දැකලාම එපා වී තිබේ. මේ ‘ජේ්‍යෂ්ඨ ඒකාධිපතියා’ සිම්බාබ්වේ රාජ්‍යය දශක හතරක් තිස්සේ පාලනය කළේ බලහත්කාරය, දූෂණය සහ විප්ලවීය වගාලංකාරවලින් යැයි ලන්ඩන් ගාඩියන් පුවත්පත සඳහන් කරයි.

අතීතයේ රොඩේෂියාව යනුවෙන් හැඳින්වූ සිම්බාබ්වේ රාජ්‍යය තුළ හැත්තෑව දශකයේ රජ කම් කරන්නට පටන් ගන්නා විට මුගාබේගේ සටන් පාඨය වුණේ සිම්බාබ්වේ පාලනය කළ සුදු සුළුතරය පරදවා ‘දේශප්‍රේමය’ දිනවීමයි. එනම් ලංකාව මෙන්ම රොඩේෂියාව ද මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිත පාලනයෙන් බේරාගැනීම හෙවත් සුද්දන්ගෙන් රට නිදහස් කර ගැනීමයි. අවසානයේ සුදු ජාතික පාලක ඉයන් ස්මිත් රටේ පාලනය, බහුතරයක් වූ කළු ජාතිකයන්ට භාර දුන්නේය. සුද්දා රට දමා ගියේය. රොඩේෂියාව සිම්බාබ්බේ ජනරජය බවට පත්විය. 1980 වසරේදී මුගාබේ රටේ ජනතාවගේ බහුතර කැමැත්තෙන් අගමැති පදවියට පත්විය. එවිට ඔහු එය හැඳින්වූයේ ‘රට ලිබරල්කරණය’ යනුවෙනි. අතීතයේ නෙල්සන් මැන්ඩෙලාගේ පසෙකින් සිටි නිසාද, කල්ලන්ගේ නායකයා වූ නිසාද ඔහුට මුලින් ජාත්‍යන්තරයෙන් විශාල පිළිගැනීමක් ලැබුණේය. ඔහු කැපී පෙනුණේ ‘මහද්වීපයේම නායකයා’ ලෙස ය. එම අර්ථයෙන් ඔහු ලෝකය කොතරම් ‘ඇන්දුවාදැයි’ කියන්නේ නම් 1981 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ද ඔහුගේ නම නිර්දේශ වුණේය. 1994 වසරේදී මහාබ්‍රිතාන්‍යයේ මහ රැජින ඔහුව බකිංහැම් මාළිගයට කැඳවා නයිට් නාමයද පුද දුන්නේය. ඒ අනුව එංගලන්තයේ සුද්දන්ට පවා ඔහුට ‘සර්’ කියන්නට සිදුවූ නමුත් වැඩි කල්නොගොස්ම, එනම් අවුරුදු 14කට පසු එම නයිට් නාමය ඔහුගෙන් ගළවන ලදී.

1987 වසරේදී මුගාබේ ජනපති පදවියට පත්විය. ඒකාධිපති බලතල ඉතා සීඝ්‍රයෙන් වැඩිකරගත් ඔහු, බලකාමය නමැති ලෝකයේ දරුණුතම උන්මත්තක රේාගයෙන් පෙළෙන්නට පටන් ගත්තේය. විසම්මුතියට ඔහු බැරල් බෝම්බ දැමුවේය. මානව හිමිකම් නමැති වචනය ඇසෙන විට පවා ඔහු කුපිත වෙන්නට පටන් ගත්තේය. නමුත් නිතර නිතර රට සවාරි ගියේය. වරක් ඔහුගේ රටේ මානව හිමිකම් ගැන විදෙස් මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කෙරුණු විට ඔහු ඉතා පැහැදිලි කැඩුණු ඉංග්‍රීසියෙන් මෙසේ කීවේය.

''I am President of MY COUNTRY! We have our own rules here. I say we are sovereign. They should not interfere with our sovereignty. THAT IS ALL!"
“මම මගේ රටේ ජනාධිපති. අපිට අපේම නීති තියෙනවා. මම කියන්නෙ අපි ස්වෛරී රටක්. ඔවුන් අපේ රටේ ස්වෛරීභාවයට බාධා කරන්න ඕනෙ නෑ. එච්චරයි!!”

මුගාබේ සිම්බාබ්වේ ජන සමාජය තුළ විවිධ බෙදීම් ඇති කළේය. එය හොඳ තුරුම්පුවකි. භින්න වූ සමාජයකට එක්සත් වන්නට බැරි ය. මුගාබේගේ අරමුණ වූයේ කිසිදු දිනෙක තමන්ට එරෙහිව එක්සත්ව නැගී නොසිටින සිම්බාබ්වේ ජන සමාජයක් නිර්මාණය කර ගැනීම ය. රාජ්‍ය යාන්ත්‍රණය යොදාගෙන ඔහු ඒ විවිධ මට්ටම්වල නියෝජිතයන් අතරින් ‘තමන්ට කඩේ යන’ කණ්ඩායමක් නිර්මාණය කර ගත්තේය. දේශපාලන විරුද්ධවාදීන් එක රැයින් විසිදහසක් පමණ සමූලඝාතනය කළ බවට ඔහුට සහ ඔහුගේ හමුදාවට නැගෙන්නේ සුළුපටු චෝදනාවක් නොවේ. මුගාබේ නිතරම පොලිසිය පාවිච්චි කළේ දේශපාලනයේ නමක් සහිත විරුද්ධවාදීන් ව මර්දනය කරන්නට ය. හඬක් නැතිවුන්ව නිහඬවම මරා දැමූ මුගාබේ, හඬක් ඇතිවුන්ට හිංසා කරමින් ‘ටික ටික මරන්නට’ පටන් ගත්තේය. 1988 දී සිම්බාබ්වේ හමුදාව, අපකීර්තිමත් පස් අවුරුදු කොංගෝ යුද්ධයට පැටළුණේය. හමුදාව එදා සිටියේ ඔහුගේ අල්ලේය. උහු නිතරම දේශප්‍රේමී ගී ගැයූහ. 2000 වසර වන විට මානව හිමිකම් උල්ලංඝනයන් නිසා විරසක වී සිටි බටහිර රටවල් සහ ජාත්‍යන්තරය සන්තෝස කිරීම සඳහා මුගාබේ අලුත් සෙල්ලමක් පටන් ගත්තේය. ඔහු ඉඩම් ප්‍රතිසංස්කරණ පනතක් ගෙනැවිත් තමන් කැමති අයට එම ඉඩම් ගොවිපොළ වගාව සඳහා බෙදා දුන්නේය. අවාසනාවකට මෙන් ඉඩම් කෑදර කම නිසා ගොවිපොළ හිමියන් බවට පත්වූවත්, ඔවුන්ගෙන් බහුතරයකට වගා අත්දැකීමක් තිබුණේ නැත. නමුත් ජාතියේ ආඩම්බරකාර අප්පච්චී, සුදු පාට රෙදි තොප්පි දමාගෙන ගොස් ගොවියන් තිරිඟු කපන අයුරු මහත් ගැම්මෙන් බලා සිටියේය. ඔහුට සහ ඔහුගේ පවුලේ අයට ද අක්කර 15,000 ක් එනම්, විශාල ගොවිපොළවල් 12 ක් මෙම ක්‍රමය යටතේ හිමිවිය.! ඒවායේ කාණු කැපුවේ සහ පැළ වැව්වේ රණවිරුවන් ය.!!

සමාන කමක් දැනේද? මදක් සිටින්න. තවම පටන් ගත්තා පමණි.

අවසානයේ මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය, මුගාබේගේ සෙසු ආර්ථික ප්‍රතිපත්තිද සමග සිම්බාබ්වේ රාජ්‍යය පෝලිම් ක්‍රමය වෙත ගෙන ගියේය. කෑම සලාක ලැබෙන තෙක් කළු ගැහැනු දරුවන් ද කිහිල්ලේ ගසාගෙන පැය ගණන් පෝලිම්වල ළතැවෙන්නට වූහ. ගෑස් පිරවුම්හල්වල ද දිගු වාහන පෝලිම් දිනපතා දැකිය හැකි විය. 2003 වසර වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සෙසු බටහිර බලවතුන් විසින් ආර්ථික සම්බාධක පැනවීම නිසා අර්බුදය තියුණු විය. සිම්බාබ්වේ රාජ්‍යය ලෝකයෙන් හුදෙකලා වෙමින් තිබුණේය. මුගාබේ එය එසේ වනවාට තව තවත් කැමැත්තෙන් පසුවිය. ඔහු නිතර කීවේ ‘එක එකාගේ සහනාධාර නැති වුණාට රටට තනිවම නැගිටින්නට බැරි කමක් නැති බව’ යි. 2008 වසර වන විට මුගාබේගේ සිම්බාබ්වේ රාජ්‍යය, ලෝකයේ ඉහළම උද්ධමනය වාර්තා කරන රට බවට පත්විය. බැලූ බැල්මට විපක්ෂය බලවත් වෙමින් සිටින බව පෙනුණත්, ලංකාවේ මෙන්ම සිම්බාබ්වේ රාජ්‍යයේ ද බහුතරය, නොමැකෙන ගොම ගතියෙන් අනූන වූ නිසා, 1990 සහ 2008 අතර කාලය තුළ මුගාබේ හතර වතාවක්ම නැවත නැවතත්, ජනාධිපති ලෙස ජනතා ඡන්දයෙන් තේරී පත්විය. 2013 වසරේ ඔහු ජනාධිපති වශයෙන් දිවුරුම් දුන්නේ 7 වැනි වතාවට ය.

මේ සියල්ල අතරවාරයේ මුගාබේගේ පුද්ගලික වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 30 දක්වා ඉහළ ගියේය. සිරිලක පහළ වූ අවසන් රජු ලෙස සැලකෙන රාජපක්ෂ රජුගේ පිරිස මෙන්ම, ඔහුද සිය වත්කම් සිය රට තබාගත්තේ නැත. ඒවා ලෝකයේ විවිධ රටවල විවිධ තැන්වල, විවිධ අයගේ නමින් තැන්පත් කළේය. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 4ක් වටිනා මන්දිරයක් මුගාබේට හොංකොං හි නිව්ටෙරිටරි ප්‍රදේශයේ ග්‍රීන් හිල්ස් හි තිබේ. එය 2013 වසරේ මිලදී ගත් බව සැලකේ. ඒ වන විට මුගාබේගේ දියණිය හොංකොං හි ඉගෙන ගනිමින් සිටියාය.

මුගාබේගේ හරාරේ අගනුවර පිහිටා තිබෙන මන්දිරය, මන්දිරයකටත් වඩා මාළිගාවක් යැයි කියන්නට පුළුවන. එහි තිබෙන ඔහුගේ නිදන ඇඳට රත්තරන් ආලේපකරලා ය. එය නිදන කාමර 25 කින් යුක්ත ය. අක්කර 44ක ඉඩමේ විශාල විල් දෙකක් ද තිබේ. චීන ක්‍රමයට නිර්මාණය කරන ලද මේ මන්දිරයේ ඩොලර් මිලියන ගණනක රේඩාර් පද්ධතියක් ක්‍රියාත්මක වේ. මුගාබේ මේ මන්දිරයේ නිවාස අඩස්සියට පත්වී සිටින්නේද සුර සැප මැද බවට සැක නැත.

 

මුගාබේට සුපිරි මෝටර් රථවාහන සම්භාරයක්ම තිබේ. ලක්ෂරි කෝච් එකක් වන අතිදැවැන්ත බස් රියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.4 කි. එතුළ නිදන කාමරයක්, සුපිරි නාන කාමරයක් පමණක් නොව සැලූනයක් පවා තිබේ.

මුගාබේගේ එකම දියණිය සතුව එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ හැමිල්ටන් මාළිගයේ කොටසක හිමිකම තිබේ. මෙම මාළිගයේ දළ වටිනාකම පවුම් මිලියන 14 කි. ලූකස් වැන් හුක් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයාටද මෙහි හිමිකම තිබේ. ලූකස් වෑන්හුක් යනු මුගාබේගේ දීර්ඝකාලීන ව්‍යාපාරික සහකරුවා ය. කෙසේ නමුත් මෙයට වසර කිහිපයකට පෙර ඔහු සිම්බාබ්වේ රාජ්‍යය හැර ගියේය.

සිම්බාබ්වේ රාජ්‍යය දියමන්තිවලින් අනූන රටකි. ඒ රටේ දියමන්ති කැණීම සහ ඒවා ජාත්‍යන්තර වෙළඳපොළට යැවීම දක්වා වන ඒකාධිකාරය හිමි රාජ්‍ය සමාගම, මුගාබේගේට අයත් ය. ගතවූ වසර කිහිපය තුළ පමණක් මෙම සමාගම යටතේ තිබෙන දියමන්ති ආකරවලින් ඩොලර් බිලියන 15 ක් පමණ වටිනා දියමන්ති සාරාගෙන තිබෙන බව කියැවේ.

මුගාබේගේ බිරිය, ඔහුට වඩා වසර 40 ක් බාල ග්‍රේස් මුගාබේ හෙවත් ‘ජාතියේ සිරිලිය’ ය. මුගාබේ පසුගිය සතියේ උප ජනපති එමර්සන් නාන්ගග්වා බලයෙන් පහකළේ ඇයට මීළඟට රටේ රජකම දෙන්නට යැයි කතාවක් තිබේ. ඇගේ වත්කම ද ඇමරිකානු ඩොලර් මිලියන 30කට අඩු නැත. ඇය පාවිච්චි කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන භාගයකට මිලදී ගත් රෝල්ස් රොයිස් රථයකි. ඇගේ ගමන් බිමන් සඳහා රන් ආලේපිත කුඩා ගුවන්යානාවක් ද තිබෙන බව කියයි. බලීටා මන්දිරය නමැති, ඩොලර් මිලියන ගණනක් වටිනා, භූගත බංකරයකින් ද සමන්විත දැවැන්ත මන්දිරයක් ද මුගාබේ සමග එක්ව ඇය විසින් මිලට ගෙන තිබේ. එය ඔහු පාවිච්චි කරන්නට සිතා සිටියේ විශ්‍රාම සුවයෙන් කල් ගෙවීමට ය.

මුගාබේ බරපතළ රත්තරන් පිස්සුවකින් පෙළෙන අයෙකි. ලංකාවේ රාජපක්ෂලා මෙන් හතර කොනේ සුර සහ මුදු දමාගෙන නොසිටියත් මුගාබේ උපන්දිනයට කපන කේක් එක පවා රත්තරන් පාට ය. සාමාන්‍යයෙන් ඔහුගේ උපන් දින සාදයක වියදම පවුම් ලක්ෂ හයහමාරකි. හියුමන් රයිට්ස් වොච් සංවිධානයට අනුව ඔහු මෙසේ රත්තරන් කේක් කන්නේ, ඔහුගේ රටේ සෑම දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙක්ම කුසගින්නේ පසුවන අතරවාරයේ ය. තවද ඔහු තමන්ගේ රුව සහිත රන් කාසි නිපදවා තිබේ. ‘කැරට් විසි දෙකේ ඒකාධිපතියා’ යනුවෙන් හඳුන්වන්නේ ද ඔහු ය.

මුගාබේ, තමන්ව ‘හිට්ලර්’ යනුවෙන් හඳුන්වනවාට ඉතා ආසා කරයි. හිට්ලර් මෙන් උඩු රැවුලේ කට් එක දමන්නට ද ඔහු ඉතාමත්ම ආස ය. වරක් මේ ගැන අසනු ලදුව ඔහු කීවේ මෙසේ ය. “මම තමයි, මේ යුගයේ හිට්ලර්. මේ හිට්ලර්ට තියෙන්නෙ එකම එක අරමුණයි. ඒක තමයි තමන්ගෙ ජාතියෙ අයට ස්වෛරී භාවය ලබාදීම. මම දහ ගුණයකින් හිට්ලර් වෙන්න ආසයි...”

රට පර සුද්දන්ගෙන් මුදාගත් බව කී ‘ලිබරේටින් හීරෝ’ හෙවත් ‘විමුක්තිදායක වීරයා’, සෙත් කවියක් යැයි මුලින් පෙනී ගිය රටේ අප්පච්චී, අවසානයේ රටට වස් කවියක් වූයේ එසේ ය.

මේ සියල්ල එකට කැටි කර ඉතා සරලව කියන්නේ නම් සිම්බාබ්වේ දේශපාලනය, ලංකාවේ බහුතර ගොම ගතිය විසින් අදටත් උත්කර්ෂයට නංවන දූපත් දේශපාලනයට දෙවැනි නැත. එය කොතරම් සමානදැයි කියන්නේ නම් මුගාබේ ගෙදර නොයන්නට හේතු කාරණා ගැන ලෝකයට ඇතිකර ගන්නට සිදුවන ප්‍රධානතම උපකල්පනයන් තුන මෙසේ ය.

  • හමුදාව විසින් ඔහුට ගෙදර යන්නට තවම හෙලිකොප්ටරයක් සපයා නැත.
  • ගමේ ගෙදර ලොකු ජනෙල් උළුවස්සක් නැත. තිබුණා නම් එදා හවසම ජනෙල් පඩියේ එල්ලී ජනතාවට ‘දේශප්‍රේමි ටෝකක්’ දෙන්නට පුළුවන් විය හැකිව තිබිණි.
  • ගමෙන් නැවත ඉල්ලුවොත් සමූපකාර ඡන්දයක් හෝ දිනන්නට නොහැකි බව මුගාබේ දනී.

නමුත් මේ සියල්ලටම වඩා ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය, මේ තරම් රටට එපා වී ඇති බවක් පෙනී ගියත් සිම්බාබ්වේ හමුදාවට පවා මුගාබේ ව ගෙදර යවන්නට මෙතරම් අසීරු ඇයි? යන්නයි. එයට පිළිතුර සලකා බැලිය යුත්තේ මුගාබේ සහ හමුදාව අතර තිබූ සහසම්බන්ධය සලකා බැලීමෙනි.

හමුදාවට සහ පොලිසියට මුගාබේ යනු තවමත් වීරයා ය. මුගාබේගේ පාලනය යටතේ සිදුවුණු තරමක් දඩයම් සිදුකෙරුණේ හමුදාව සහ පොලිසිය විසිනි. ඔහු නිසා හමුදාව ‘රණවිරුවන්’ බවට පත්විය. සිම්බාබ්වේ නිදහස් සටන මෙන්ම පරාජිත කොංගෝ යුද්ධය ද රණවිරුවන් අතර මුගාබේට තිබෙන තැන තවත් සවිමත් කළේය. අනෙක් අතට, හමුදාව විසින්ම මුගාබේගේ හරාරේ මන්දිරය අල්ලාගත්තත්, හමුදාව තුළම මුගාබේට පක්ෂපාත, මුගාබේ විසින් මනා ලෙස පුහුණු කළ ඉහළ නිලධාරීහු සිටිති. ඔවුන්ට මුගාබේ යනු ‘ජාතියේ පියා’ ය. ලංකාවේ දිනමිණ පුවත්පතට සමාන සිම්බාබ්වේ හි ආණ්ඩුවේ පත්තරය විසින් බ්‍රහස්පතින්දා, එනම් ඊයේ දිනයේ මුල් පිටුවේ පළ කර තිබූ ඡායාරූපයේ මුගාබේ සිටින්නේ හමුදා කුමන්ත්‍රණය මෙහෙයවූ බව කියන යුධ හමුදා අණ දෙන නිලධාරියා සමග සිනහ මුසු මුහුණෙනි!

හවුලේ පව් කළ විට තනියම නිවන් යන්නට බැරි ය. ඒ නිසා හමුදා පාලනයකට පවා මුගාබේ එළවා දැමීම ලෝකයට පෙනෙන තරම් පහසු නොවනු ඇත. අනෙක් අතට මුගාබේ මේ කරන්නේ හමුදාව සමග ඩීල් එකක් දැමීම පවා විය හැකිය. කොහොම නමුත් තව නොබෝ දිනකින් හමුදා නායකයා විසින්ම මුගාබේ නැවත රජ පුටුවට කැඳවාගෙන ආව ද ඔබ පුදුම නොවිය යුතුය.

මේ සියලු කරුණු අනුව මුගාබේ මේ දැන් පවා සිතමින් සිටින්නේ මේ කවි පද විය යුතුය.
රජ පුටුවේ මළත් සැපයි!

මේවා වනාහී අනාථ රටවලින් නැගෙන විරිදු සුරල් ය.

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

 

 

 

 

Top